මැදින් බෙදා පීරූ හිසෙහි රොද පටන් ගන්නා තැනින් දැමූ පෙනෙන නොපෙනෙන කවාකාර නැම්ම ආහ්... කොයිතරම්නම් සුන්දරදැයි මට සිතේ. කතා කරන ඒ විසල් ඇස් මත ඒ අමුතු බැල්ම තවරාලූයේ කවුරුන්දැයි මම නොඅසමි... ඒ හැඟීම් සිත්තම් කරන භාවාත්මක කැඩපතක් වන් මුහුණක් ලබන්නට තරම් ඇය වාසනාවන්ත වූ නිසාමය. කන් පෙති සරසාලූ තෝඩු අග පබලු දැනී නොදැනෙන ස්වරයෙන් සැලෙන්නේ ඉසියුම්ම පවන් රැල්ලකටය. රැලි තබා සීරුවට සැකසූ ඔසරි පොටකට වඩා ගැහැනු පපුවක තුඩු අගිසි නොපෙනෙන වෙසින් වසාලූ එහෙන් මෙහෙන් රැලි එක් කළ ඒ අතීත ඔසරි පොටට මගේ හිත කොහොමත් කැමතිය. අග්ගිස්ස රැලි කෙරූ මදක් පිම්බුණු හැට්ටයේ අත් දෙකත් රවුම් කරත් දිග නෙරියත් ශාස්ත්‍රීය රසාස්වාදයක මා නිමග්න කරලූ වළල්ල සහ නෙරිය ඇරඹුම ඇති තැනින් ගවසාලූ හවඩියත් මට චිත්රයකි. ඒ සේයාරුවම මට චිත්රයකි.
ඒ චිත්රයේ හිඳිනා රුවැත්තිය දශක හතරක් මුළුල්ලේ වේදිකා සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක ලෙස ආදරණීය සම්මානනීය ප්‍රේක්ෂක වත්කම් සමුදායක් ඉපැයූ සොඳුරු නිළියකි. යශෝධා විමලධර්ම ඇය වන්නීය. යශෝධාත්, චමල්ක, ශවීන්, මලීෂ හා දිලුම් නැවතත්... නැවත නැවතත්... ඔව් නැවත නැවතත් බලන්නට සිත්වෙන වෙසින් සරසාලූ ඒ සේයාරුව සිනමා පටයකදැයි සිතෙන තරමට සිනමාරූපීය. කලාත්මකය. ශාස්ත්‍රීය චමත්කාරයක් වූ ඒ සේයාරුවේ ඇඳුම් ආයිත්තම් එතරම් ලස්සනය. ඒ මෝස්තරකාර ඇඳුම් ආභරණ තවත් නම් කෙනෙකුට නිර්මාණය කළ හැකිදැයි මට හිතෙන තරමට හිතුවිලි ඉපැද්දවූ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී නිල්හාන් සෙනෙවිරත්නගේය. මෝස්තර කලාවේත් වර්ණ තේරූම් සහ වර්ණ සම්මිශ්රණයේත් අලංකාරම මුද්‍රාවක් වූ නිල්හාන් සෙනෙවිරත්නගේ මෝස්තරයන්හි සෞන්දර්යාත්මක අලංකෘත චමත්කාරය මෙතෙකැයි මෙපමණකැයි නිර්වචනය කරන්නට මම නොදනිමි....
ආදරණීය නිල්හාන්... ඒ මෝස්තර නිමැවුම් ඒ තරම්ම සුන්දරය.
යශෝධා... නිල්හාන්ගේ මෝස්තර ආභරණ ඒවායෙහි වර්ණ හා ගැලපුම් එදා සැරසුණු ඔසරිය වර්ණ පින්තූර ගැන ඔයාට මේ මම කතා කරන මොහොතේ දැනෙන හිතුවිල්ල මොකක්ද?
මට නිල්හාන් ගැන කියන්න ඕනෑ. මම ක්ෂේත්රයට ආව මුල් කාලයේ ඉඳන්ම මාව ලස්සනටම සරසන්න ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරපු කෙනෙක් තමයි නිල්හාන්. නිල්හාන්ගේ මෝස්තර, වර්ණ සංයෝජනය, එයාගේ ආභරණ තේරීම්වල තියෙන්නේ හරිම වෙනස් නිල්හාන්ටම අනන්‍ය දෙයක්. ඒ වර්ණ මෝස්තර දිහා බලාගෙන පුදුම වින්දනයක් විඳින්න පුළුවන්. ඇත්තටම නිල්හාන් කියන්නේ නිල්හාන්ම විතරයි... නිල්හාන්ගේ මෝස්තරවලින් මවන්නේ චරිත... ඒ ඇඳුම් ඇන්දමත් හිතට අමුත්තක් දැනෙනවා. මේ පින්තූර දැකලා හුගාක් අය මගෙන් ඇහුවේ චිත්‍රපටයක්ද කියලා. ඒ ප්‍රතිචාර හරිම ආනන්දනීයයි.
වසර 15 කට විතර පසු නිල්හාන්ගේ ඇඳුමින් සැරසුණු යශෝධා සහ චමල්ක, ශවීන්, මලීෂ හා දිලුම් හැඩ කළේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ධනුෂ්ක කුමාර්ය.
ඉතින් ඊළඟට...
ඔව් ඉතින් ඊළඟට ඒ හැඩ කළ මෝස්තරකාර රුවැත්තියත් මෝස්තරකාර ඉලන්දාරින් හතර දෙනාත් චිත්‍රයක් වන් සේයාරූහි සටහන් කළේ Studio U අයිතිකාරයා කුෂාන්ත හේවාපතිරණය.
මංගල ඡායාරූප ශිල්පියෙක් ලෙසත් ප්‍රශංසනීය ජනප්‍රියත්වය ලද කුෂාන්තගේ ක්ෂේත්රීය ආගමනයට විසිපස් වසරක් ඉක්මවයි.
ඉතින් කුෂාන්ත...
නිල්හාන්ගේ මෝස්තරවල අසිරිය මම වින්දේ සංගීතා වීරරත්නගේ Photo shoot එකෙන්. ඇත්තටම මම ආසයි නිල්හාන්ගේ මේ ලස්සන මෝස්තර නැවත නැවතත් පින්තූරවලට එකතු කරන්න. ඇත්තටම පින්තූරයක් කියන්නේ කැමරාවක් ‘ක්ලික්’ කරන එකට නෙවෙයි. ඒක ආධ්‍යාත්මික කලාවක්. හැඟීම් ආලෝක ධාරාවක් තුළට ඉසියුම්ම වේශයකින් හසුකර ගැනීමක්. ඈත යුගයකට මාව අරන් ගිය දවසක් එදා මේ පින්තූර ගත්ත දවස...
එය එහෙමමය...
රැචිර කහඳ... මේ මෝස්තරකාර රැහේ හිසකෙස් විලාසිතා සැකසූයේ ප්‍රවීණ නිර්මාණවේදී රැචිර කහඳය.
මම නිල්හාන්ව හඳුනගත් අවුරුදු විස්සක විතර ඉඳන්, නිල්හාන්ට තියෙන්නේ පුදුම ඇහැක්. පුදුම සංවේදී ලස්සන හදවතක්. මානුෂීය හදවතක්. ඒ නිසාම වෙන්න ඇති නිල්හාන්ට මෙච්චර ලස්සනට වර්ණ ගලපන්න සහ මෝස්තර මවන්න පුළුවන්. එයාගේ වර්ණ මෝස්තර ආභරණවල අමුතු සුන්දර ගුප්ත ගතියක් තියෙනවා. නිල්හාන්ගෙ නම නැති තැනක වුණත් නිල්හාන් නිර්මාණය කළ මෝස්තරයක් මේක නිල්හාන්ගේ කියලා කියන්න පුළුවන් තරම් අනන්‍යතාවක් තියෙනවා. ඒ වර්ණ ඇහැට හරි ප්‍රියයි.
දැහැනක් හා සමානයි. නිල්හාන් කියන්නෙ නිල්හාන්ට විතරමයි. යශෝධාව මම දන්නෙත් හුඟාක් කාලෙක ඉඳන්. ඇය සමඟ කටයුතු කිරීම හරිම පහසුයි. මට රුචී කියලා හරි ළෙන්ගතුකමින් කතා කරන්නේ. ඉතින් ලස්සන දවසක් එදා. මම මගේ ජීවිතයේ ගෙවපු ලස්සන දවසක්.
චමල්ක ලක්රුවන් සහ දිලුම් වචන ඔස්සේ බෙදාගත්තේද ඒ සතුටය. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාගේ සිනමාරූපකාරක ඔස්සේ සිනමාමය ප්‍රවේශය ලද චමල්කගේ බලාපොරොත්තුව කලාවත් තෝරා බේරාගත් මෝස්තර නිරූපණයත්ය. එය කදිමය.
ඉතින් ඒ සියලු කතාබහ අවසන කතා නොකර කොහොමද නිල්හාන්ට...
ඇත්තටම සතුට වචනවලින් නිර්වචනය කරන්න බැරි දවස් තියෙනවා. මම මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා, යශෝධා, මේ ආදී වශයෙන් ඒ පරපුරේ නිළියන්ගේ නළුවන්ගේ සිට අද දක්වා හුඟාක් කලා ශිල්පීන්ට ඇඳුම් නිර්මාණය කළා. හැබැයි කොයිතරම් වැඩ ලැබුණත් මම වැඩ කළේ තෝරා බේරාගෙන. මට දැන් දැනෙනවා හරිම නිරහංකාර ආඩම්බර හිතුවිල්ලක්. මට ආදේශකයක් නැහැ කියලා හිතෙන තරමට එදා මෙදා තුර ලැබෙන ප්‍රතිචාර නිල්හාන් නිල්හාන්මයි කියලා මටම තේරුම් කරලා දෙනවා වගේ මට දැනෙනවා.
ඔව් නිල්හාන් නිල්හාන්මය... එය සදාතනිකව මෝස්තර කලාවේත් වර්ණ කලාවේත් නිල්වන් මුද්‍රාවකි. ඉතින් චිත්‍රයක් වන් සේයාරුවේ සියලු අයිතිකාරයන්ට ස්තූතියි හදවතින්ම...
• සංජීවිකා සමරතුංග
• කුෂාන්ත හේවාපතිරණ