සදාකාලික අසිරිමත් ස්වරයට මම අමරසිරි යැයි නම් තබමි. සිරි අසිරි අමරසිරි ගීතාවලියේ සරන සක්මන සරා අසන සවනට විඳින සිතුමට මිහිර ගෙන දෙන තැන් කොතෙක් වෙද... සමාරම්භයේ සිට තබ්ලාවට පෙම් බැඳි ඈත ඈත දුරාතීතයේ දවස් හි සිට වයලීනයට අප්‍රමාණව පෙම් කළ අතීතයේ හිඳ ළඳුනේ ගීය හා ආත්මීය ආලයකින් හුස්මක් ගත් ඒ දෛවෝපගත දවසේ හිඳ එදා මෙදා තුර අමරසිරි සක්මනේ සංධ්වනිය කොතෙක්නම් මිහිරි වෙද?
මලක් වුණේ ඇයි නුඹ මට... හන්තානට පායන සඳ... කන්‍යාවී... අහෝ තව කොතරම් නම් ගී කළුවර එකළු කළ පහන් කණු අමරසිරි ගීතාවලියේ යායෙන් යායට ගැයුණාද?
ඒ හඬ නෑසු ශාස්ත්‍රීය ගී විඳින දනන් කොහිදැයි සිතෙන තරමට අමරසිරි සහෘදයන් මුහුදෙන් එහා පිට දීප දේශයන්හිත් මුහුදෙන් වටවූ මේ බිමෙහිත් කොයිතරම්නම්ද?
මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ අංක එක හැමදාමත් සුගායනවේදී අමරසිරි පීරිස්ය. දැන හඳුනා ගැනීමට පෙර ඇත්තටම මම හිතුවේම අමරසිරි පීරිස් ආඩම්බරකාරයකු වගය. එහෙත් අපිරිමිත මිත්‍රත්වයෙන් අපේ හිත් බැඳුණු කල්හි ඔහු කොතරම් නිර්ලෝභී හිතවතෙක්දැයි සංවේදී හිතවතෙක්දැයි මම හඳුනාගතිමි. ගී ගයා ඉපැයූ වත්කම් වැය කර කෑගල්ල ප්‍රදේශයේ ඈත ගම් දනව්වක මිනිසුන් වෙනුවෙන් ඈත ගල්තලාවක පන්සලක් හදන්නට තරම් ඔහු හිත සුමට වූයේ එනිසාමය. ක්ෂේත්රයේ හිතවතුන් හෝ උදව්වක් අවැසි කාගේ හෝ අසරණකමක් දුටු මොහොතක ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද... දිය හැක්කේ රුපියල් කොපමණද... අමරසිරි පීරිස් ගායනවේදියා දෙවරක් නොසිතා නිහඬවම මනුෂ්‍යත්වයේ ද්වාරයන් ඔවුන් වෙනුවෙන් හැර දැම්මේය...
ඉතින් ආදරණීය මිනිසෙකු සේම ස්නේහසාර ස්වාමියෙකු සහ දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වූ අමරසිරි පීරිස්ගේ ජීවන ගමන් මගේ තවත් එක් පියවරක් සනිටුහන් වන මේ මොහොතේ ඒ ගැන ඔබට මම නොකියා කොහොමද?
අමරසිරි පීරිස්ගේ පුතු මාධව පීරිස් ගායකයෙකු ලෙස පියාගේ ගී මෙන්ම තමන්ගේද ගී ගයමින් මේ වෙද්දි ගායන ක්ෂේත්රයට පා තබා අහවරය... මාධවගේ දියණිය සාරා ද කුඩා වියේ සිටම ගීයට හා සංගීතයට පෙම් බඳිමින් ඉතාලියේ ජීවත් වෙමින් විශ්ව සංගීතයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් ගායන ක්ෂේත්රයේ සලකුණු තබමින් දිගු ගමනක් යාමට පෙරුම් පුරමින් හිඳින්නීය.
ඉතින් ජූනි 28 වැනිදා ඒ මාධවගෙ සහ සාරාගෙ ගී ගමනේ අපූර්ව දවසකි... ලාංකික වේදිකාවක් මත අමරසිරි පීරිස් මාධව පීරිස් හා සාරා පීරිස් එක්ව ගී ගයන පළමු අත්දැකීම අමර සිරිසර ප්‍රේක්ෂක වින්දනය උදෙසා තිළිණ වන දවස එයයි.එදින සවස 06.30ට බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අමර සිරසර දිග හැරේ.
ඉතින් ඒ දවස ගැන අමර සිරිසර යැයිනම් ලද ඒ ප්‍රසංගය ගැන මට අමරසිරි පීරිස් ගායනවේදියාණන්ගෙන් නොඅසා බැරිය.
මගේ පුතු මාධවට හොඳ හඬක් තියෙනවා... තාත්තා කෙනෙක් විදිහට මම කැමතියි මාධව මාධවම වෙලා එයාගෙ ගමනක් යනවා දකින්න... මගේ මිනිපිරී සාරාත් ගීයට සංගීතයට හුඟාක් දක්ෂයි... සාරාට භාෂා කිහිපයකින් ගී ගයන්න පුළුවන්... ඒ වගේම ඇය ජාත්‍යන්තර වශයෙන් ගායනය ඔස්සේ ජයග්‍රහණ ලද දියණියක්... ඇය විශේෂයෙන් රුක්මනී දේවියගේ ගීවලට සහ හඬට ආසයි... මම ඇයට කියන්නෙ අධ්‍යාපනය හා සමබරව මේ කටයුතුත් කරගෙන යන්න කියලා... ඒ වගේම මගේ ජීවිතයේ ආදරවන්තියක් විදිහටත් බිරිඳක් විදිහටත් මගේ දරුවන්ගෙ අම්මා විදිහටත් මගේ ජීවිතයේ සෑම මොහොතක්ම හා රැඳෙමින් මගේ ආදරණීය බිරිඳ දෙන විසල් සහයෝගයටත් මම හදවතින්ම ස්තූතියි කියනවා...
ඉතින් කී නොකී තවත් විශේෂතා සමඟින් අමර සිරිසර විඳින්න ඔබටයි මේ ආරාධනා.
• සංජීවිකා සමරතුංග
• දයාන් විතාරණ සහ අන්තර්ජාලයෙන්