2025 ජුනි 21 වන සෙනසුරාදා

අපට කෙළවුණේ ඇයි? - Prem Dissanayake

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

ආහ්... ප්‍රේම්... ප්‍රේමණීය ප්‍රේම්... මම ප්‍රේම් දිසානායකට නෙවෙයි ප්‍රේම් දිසානායකගේ හදවත ඇතුළේ හුස්ම ගන්න සදාකාලික තරුණයාට, වියපත් නොවන අමුතු අපූර්ව හිතුවිලිවල අයිතිකාරයාට, ප්‍රේම් ඇතුළේ ඉන්න ප්‍රේම්ට, කිසිදා නිද්‍රාශීලී නොවූ අවධි මිනිසාට, පට්ට හිතුවක්කාරයාට, ශාන්ත හිනාව, නිවිච්ච ඇස් දෙක ඇතුළේ ඉන්න නාහෙට නාහන මුරණ්ඩු බය නැති පිරිමියාට, අල්ලක් පුරා මැහුම් පාරවල් සිය ගණනක ස්වර්ණවත් මුද්‍රාවක් තැබෙන තුරා රැයක් දවාලක් නැතුව තමන්ගේ මහන්සියෙන්ම ජීවිතය ගොඩදාගන්න වැඩ කළ කවදාවත් හොරකම් නොකළ වංචා නොකළ ප්‍රේම් දිසානායකට මම ආදරෙයි... ඉතින් ප්‍රේම පුරාණයෙන් පස්සේ ප්‍රේම් ලියපු තවත් පොතක් මගේ අතේ? පොතේ නම අපට කෙළවුණේ ඇයි? ඇත්තටම ඇයි බං අපට කෙළවුණේ? ඇත්තටම ඇයි මචං අපට කෙළවුණේ? ඇයි ඩෝ අපට කෙළවුණේ? හේතු වකාරයයි යකෝ... හැරිය ආපස්සට... කියවපිය 1948 ඉඳන් නොවෙයි ඉන් ඉස්මත්තටත් අපේ මුතුන්මිත්තන් නෙවෙයි මීමුත්තන්ගේ ඉඳන් අතීතය... කෙළවුණේ කොහොමද? කෙළ කළේ කොහොමද? ආතල් ලන්තයේ ටිකිරි මොළවලට මොන මොනවා හරි තේරෙයි...

ප්‍රේම් කියනවා පෙරවදනෙදි යකඩ දැවී ගිය තැනෙක පුළුන් හොයලා වැඩක් නෑ කියලා. විපතම සැපත වේ කියන ගොන් තියරියට මුල්තැන දුන්න දවසෙ ඉඳන් අද වෙනකම් හතර වරිගයටම හතර පැත්තෙන්ම හතර ගාතෙන් වැටෙන්නට ලෙල්ලටම කෙළවෙලා තියෙද්දි ඒ ගැන දැන දැනම එහිම ඇලී ගැලී ආතල් විඳින නරුමයන්ට මේ පොත උපහාරයක් වේවා කියලා ප්‍රේම් කියනවා... අහ... ඒ ප්‍රේම්ට හිතුණ හැටිලු... මරු ඈ... මට හිතෙන්නේ අපට කෙළවුණේ ඇයි ලියන්ට මෙච්චර ප්‍රමාද වුණාට මේ කෙළවිල්ලේ අල-මුල් හෙවිල්ල ප්‍රේම්ගේ හිතේ පැලවෙලා හුඟාක් කල්...

සිරි සිරියේ සිරි සිරි වෙන්න මෙහෙමයි පටුන ඈ... අහගනිල්ලා...

ඉගෙනීමට කෙළවීම, පවුලට කෙළවීම, රාජ්‍ය සේවයේ කෙළවීම, ලිවීමට කෙළවිල්ල, ගමනට බිමනට කෙළවීම, රූපවාහිනී කෙළවීම, සිනමාවට කෙළවීම, සංගීතයට කෙළවීම, භක්තියට කෙළවීම, පත්තරයට කෙළවීම, යුතුකමට වගකීමට කෙළවීම... කෙළ නොවුණෙ මොකටද යකෝ...

ඉතින් මිත්‍රයා සිරි ලංකාව සුරැඳි අති සෝබමාන ධාන්‍ය ධනය නෙක මල් පලතුරු සාර සුබාවට පිරි රත්තරන් පොළොවක් හිමි ඒත් අද වැඩිහරියක් යමපල්ලන්ගේ වධකයන්ගේ භූතයන්ගේ ඕපපාතිකයන්ගේ නිජබිමක් වෙච්චි මාර අපභ්‍රංශ රටේ ජරා රෙද්දවල් ඔක්කොටම සැලියුට් ගහන ලාබ සිල්ලර උන්ට බුදුන්ට දෙයියන්ට වඳින ලීලාවෙන්ම වඳින පුදන රට පකිරිඤ්ඤා දේවල් බදාගෙන ආතල් ගැනීම විලිලැජ්ජා නැතුව ඕසෙට සිදුවෙන දේෙසක සසිරිබර මෙසිරිලක හතර අතේ මරිසි දාන කලාබර කොටළුවන් කාලයක් තිස්සෙ නහුතෙට කරගෙන යන තුප්පහි අලුගුත්තේරු වැඩ හින්දා හතර ගාතෙන් වැටි වැටී හති අරින්නවත් හිනව්වක් නැති සමාජයක පිස්සු පීකුදු දොන්ත දොදොල් සයිස් ඇට්ට ඇට කිරිඤ්ඤ නොවුණේ මොනවද යකෝ... හැම හැත්තක්ම එහෙව් න්‍යායෙන් පිස්සු කෙළින මංජ මජිරි දේසෙක සංගීතයට කෙළවීම ගැන ප්‍රේම් කියනවා මෙන්න මෙහෙම...   

රට පුරා පැවැත්වෙන මේ තුට්ටු දෙකේ සංගීත ප්‍රසංගවල කෙරෙන තරමක් කෙරෙන්නේ සදාචාරයක් නැති හිපාටුවන් රිසි ලෙස එළිපිට අවල කෙළි කෙළීමය. දෙනෝ දාහක් නරඹන්නන් තුළ අන්තිම පහත් මට්ටමේ අශීලාචාර, කුප්ප, අවලම් හැඟීම් මෝදු කරවීමය. මද කිපුණු කේප්ප ගොන් නාම්බන් ලෙසින් කුලප්පු වී දඟලන, මදන විසේ ඉහට ගැසූ මෝල් කලන්තකාරයන්ගේ ඇරියස් කවර් කිරීමය. කසිප්පු, ගංජා, හෙරොයින්, අයිස් වැනි දෙපරාදු මත්ද්‍රව්‍යවලින් ෆෝම් වුණු කබ්බන්ගේ හිතේ ගතේ හිරි ඇර ගැනීමය. කා එක්ක හෝ කොක්කක් දාගෙන මදාවි පාට්වලින් කලර්ස් පෙන්වීමය. බමන මතින් මෙලෝ සිහියක් නැතිව මෙසේ පිස්සු කෙළින එවුන් එක්කෝ වලියට බරය; නැත්නම් කෙළියට බරය. මේවායේ දර්ශන දාන්නට, වැඩකිඩ දාගෙන පොරවල් වෙන්නට වලිකන ලොන්තපෝල් පිංගුත්තරයන්ට අසූචි තැවරූ බූවල්ලකින් නෙළුවත් හිත් වදින්නේ නැත. (පිටුව: 92)
අඩා - ඩා...ඩා ඇත්ත යකෝ... ප්‍රේම් මෙන්න මේ ටිකත් මරු ඈ...

ස්ටේජ් එකට නැග්ග වෙලේ පටන් මුන් කරන්නේ සින්දු කියනවා වෙනුවට වෙන වෙන පඩ ෂෝ දමමින් සිඟිති ආතල් ගන්නා එකය. අනං මනං, ආත බූත කැටයම් පෙන්වමින් “බැරිකම” වසන් කරන්නට වලිකන එකය. දිස්නෙට දිලිසෙන සරුව පිත්තල වයිරං කෑලි එල්ලාගත් කිට් එකත්, හපුතලේ කන්ද උසට ජෙල් ගා උස්සාගත් කොණ්ඩයත් පෙන්නා සොමියක් ගන්නට මේ වාහෙලා පුදුම දුකක් විඳිති. මේ අතරින් සමහර වටපඩයෝ ජිම්නාස්ටික් කෑලි දෙක තුනක් පෙන්නා හිරි ඇරගෙන නරඹන්නන්ගෙන් අත්පුඩියක් ඉල්ලති. ඒක සැර මදිනම් තව එකක් ඉල්ලති. ඉන්පසු ඉල්ලන්නේ හූවකි. නිකම් හූවක් නොව හොඳ හූවකි. කොහොමටත් මුන්ගේ සින්දු ඇහුවාම පිට්ටනියෙන් නිසැකවම එන හූව වෙනුවට සින්දුව කියන්නට කලින්ම හූවක් ඉල්ලා ගන්නේ ඇප කැන්සල් කර ගන්නේ නැතිව ගොඩින්ම ජාම බේරා ගන්නටය. (පිටුව: 100)

අපට කෙළවුණේ ඇයි පොතක් නෙවෙයි... මට දැනෙන්නේ ඒක කියවීමක්. ෂොට් එකක් දාගෙන නිදහසේ හිතන ගමන් හිත හිතා අඬ අඬා කියවන්න ඕනෑ කියවීමක්... කියවපල්ලා පොතම... (ප්‍රේම් දිසානායක - ෆාස්ට් පබ්ලිෂින්) නිකම් නෙවෙයි වදිනකම් දැනෙනකම් කියවපල්ලා... කියවනවා කියන්නේ ඩෝ අකුරු පේළි දිගේ ඇස් දෙක යවන එකට නෙවෙයි... ඒක බං වෙනම කලාවක්...

මෙම කෙළවිල්ල ගැන සිනමාවට කෙළවීම ගැන කියලා මම නවතිනවා.. ප්‍රේම්ගේ සිනමාවට කෙළවීම ගැන  කියද්දි අපට මාධ්‍යවේදීන් නිසා ලැබෙන ආරාධනා පත්‍රවලට චිත්‍රපට බලන්න ගිහින් වෙච්ච සහ ඉදිරියටත් වෙතැයි සිතෙන අලකලංචි ගැන අංශුමාත්‍රයක් හරි මට නොලියා බෑ බං... දවසක් දා ආරාධනා පත්‍රයක් ලැබිලා ගියා කියහංකෝ චිත්‍රපටයක් බලන්න... යකෝ ආරාධනා පත්‍රයක් ලැබුණනම් ඉඳගන්ට සීට් එකක් තියෙන්න එපැයි. පොර ඒ කියන්නේ චිත්‍රපටයේ මහ එකා හෝ එකාලා උගේ සෙට් ගෙනල්ලා හෝල් එකම පුරවලා... ඒත් ඉවසතෑකි... අඩා කලාවට සිනමාවට අබමල් රේණුවක දෙයක් කළේ නැති දෙකොණ පැටළුණ රෙද්දෙ අමන දේශපාලුවො එතෙන්ට වඩම්මලා උන්ගේ සිකුරුටිවලටත් ආසන වෙන් කරලා. උන් බහිරවයෝ වගේ ආසන අරක්ගෙන මාධ්‍යයටයි කලාකරුවන්ටයි එක ආසනයක් වෙන්කරලා නෑ. කලාකාරයෝ බිම ඉඳගෙන බැලුවා කියහං... අපි නම් හැරිලා ආවා... මට හිතුණෙ අපරාදේ උන් බිම ඉඳගත්තේ... පශ්චාත් බාගයේ මොළ පිහිටපු දේශපාලන අමනයෝ(තොප්පි සයිස් නම් දාගනිල්ලා ඈ)  යැයි හුදී ජනතාවගෙන් නම් ලද උන් ආසන උඩ බහිරව ලීලාවෙන් වැජඹෙද්දි කලාවේදීන් කියලා කට ඇරලා කියන්න පුළුවන් උනුත් බිම ඕයි ඒකයි දුක... අර පජාත බහිරවයෝ උඩ ඉඳන් ඉද්දි උන්ගේ කකුල් ගෑවෙන පොළවකවත් අපිට ඉඳගන්න හිතුන් නෑ... මොකද අපි හම්බ කරගෙන කන උන් මිසක් උන් වගේ හොරා කන මල යක්කු නොවෙච්ච හින්දා.. බොල බූරු පුතේ තොපිම බලාගන් කියලා අපි හැරිලා ආවා ඕයි...ඉතින්

තව දවසක් චිත්‍රපටයකට එන්ට කියලා ගියා... මෙන්න යකෝ චිත්‍රපටය පටන් ගන්න ඉස්සර උන් උන්ටම සම්මාන දීගත්තා. අධ්‍යක්ෂගේ සහ ඒ ඒ එයාලගේම තමා සම්මාන සංකල්පෙ... අධ්‍යක්ෂටත් සම්මානයක් තියෙනවා. ලජ්ජාවේ බෑ ඕයි... පට්ට ආතල් සීන් කෝන්... උන් උන්ටම සම්මානවලින් පුදාගත්තා. ඉතින් දැන් සිනමා සංස්කෘතියේ මෙහෙම එකකුත් තියෙනවා. මාධ්‍ය සෙට් එකට කොත්තු ආප්ප ෂොට් බයිට් පුදලා පබ්ලිසිටි ඉල්ලන.. ඇයි බං එහෙම... මොකුත් එපා බං බලන්න පුළුවන් හොඳ චිත්‍රපට ටිකක් හදපන්.. මචං. කොපි නැතුව ඉලව් කතා නැතුව විඳින්න පුළුවන් සිනමාවක් හදපන්... ප්ලේන්ටියක්වත් එපා අපි ලියන්නම්... අපි කතා කරන්නම්... අදටත් දෙන්න පුළුවන් පොඩි පබ්ලිසිටියක් හරි දෙන්නෙ සිනමාව මතු යම් දවසක හරි කර්මාන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා...

ඒ බං මගේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ඇඩ් එකක්...ආ

මෙන්න මේ ටික ප්‍රේම්ගෙ...

දකුණෙන් රෝන් සයිඩ් එකේ වාහන පදවා චකබ්ලාස්ට් කරගන්නා එල් බෝඩ් නාමධාරීන් ලෙසින් චිත්‍රපට නිර්මාණයට බට යථාර්ථවාදී සිනමා පකීර්ලා සහ ත්‍රාඩ රස්තියාදුකාර අවජාතක කබ්බන් ෆෝම් වීමෙන්, නවීන තාක්ෂණය පිටුදැකීමෙන් යහපත් විනෝද මාධ්‍යයක්ව පැවති සිංහල සිනමාවට කෙළවුණේ ඒ ආකාරයටය. ප්‍රේක්ෂකයන්ට විනෝදයත්, ආදර්ශයත් සපයමින් සිනමාහල්වල දින 100-200 වාර්තා පිට වාර්තා පිහිටවූ නිර්මාණකරුවන් බයිස්කෝප්කාරයන් ලෙස අවඥාවෙන් හෙළා දකිමින්, සිනමාවේ තෝන් ලණුව අතට ගෙන අයාලේ ගොස් නන්නත්තාරව මඤ්ඤං කර දැමූ පාපය, ලේ පිපාසිත මිනීමරු පාදඩ මස් වැද්දන් විසින් සිනමා ශාලාවලට කරන ලද විනාශයේ ශාපය සහ නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගැනීමට පසුබෑම යන සියල්ලෙන්ම ඔත්පලව මර ඇඳේ සිටින සිංහල සිනමාවට යළිත් වසන්තය උදා කරවීම දැන් නම් සක්කරයාගේ පුතා වයිමාටවත් බැරි බව සක් සුදක් සේ පැහැදිලිය. (පිටුව: 90)
දැන් සැපද අහන්නෑ බං...

මට හිතෙන්නෙ මේ අපභ්‍රංස නිවැරදි කරන්ට දත කකා වැළලෙනවට වඩා මේ මළ දේශයෙන් තොලොංචි වෙන එක පට්ට සැපක්...

සැපයයි සුවයයි කෙසේ වෙතත් දැනෙන්න හුස්මක් ගන්න වෙන විදිහක් නෑ ඩා...

• සංජීවිකා සමරතුංග