2025 ජුනි 14 වන සෙනසුරාදා

නර්තනයෙන් තොර ජීවිතයක්වත් - හුස්මක්වත් මට නෑ...

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

අහන්න නිලාන්...

ඉතින්... මේ මහේ 18 වැනිදා හවස හතේ කණිසම සනිටුහන් වෙද්දී ලොවීනාගේ ආදර කතාව (The Hidden Love story of Mount Lavinia) ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දිගහැරෙන තත්ත්පරයට පෙරාතුව ඈත ලඩාක් හි සීතල සොඳුරු කඳු නිම්න සරා ඇවිද යන්නට මට අවැසිමය. අහන්න නිලාන් ඉන් එහාත් ඉන් මෙහාත් මතක නිම්න සරා ඔබ හා ඇවිද යන්නට ඉතින් මට අවැසිමය.

දෑස වසා විඳිනු රිසි මතක මනරම් නොවේද? ජීවිතයේ මොන අහුමුලලක රැඳී තිබුණත්... මේ විශ්වයේ ආශ්චර්යවත්ම විස්මිතම සුන්දරම රසාර්ථසාර ශාස්ත්‍රීය රස මංජරියන්ගෙන් අස්වැද්දුණු මහ පොළොවක් වූ ඉන්දියානු මහ පොළොවේ ආස්වාදනීය මිනිසුන් අස තම රංග සෞන්දර්යන්හි භාව ලීල රිද්ම රේඛා විදාහල ඒ දවස් අතීත සන්තකයට තිළිණ කළ මතක පුරාණයේ හැම අංශුමාත්‍රයක්ම ස්නේහයෙන් සිඹින්නට ඉඳින් මම රිසි වෙමි. ඈත ඈත නිලට නිලේ දිලිසෙන කඳුය. සීත මීදුම් දම් පාට හැන්දෑවන් මත පැතිරෙන සීතල දවස්ය. කුරුඳු, එනසාල්, කරාබු නැටි රස සුවඳ පදමට එක්කළ දුම් දමන රස තේ ය. ජීවිතය හා රුදුරුම අරගලයන්හි නිරත වුවත් හුස්මක් වැටෙන නිසා ජීවත්වෙන මිනිසුන්ගෙන් නොව හුස්මක් ගන්නා බව දැනෙන ජීවිත සොයා යන කලාවේ සාර සුභාවිත රිද්ම සරට පෙම් බඳින ප්‍රේමණීය මිනිසුන්ගෙන් සුසැඳි අපූරු ගම්බිම්ය. කලාවෙහි රස සාර දෙවුර දරා හිඳින ගුරුවරුන් ගුරු දෙවිවරුන් සේ සලකා වඳින පුදන සෞන්දර්යාත්මක මිනිසුන් පය ගසා හිඳින චමත්කාරවත් ගම් බිම්ය.

ලඩාක් යනු නිලාන්ගේ රංග සුවිසැරියේ එක් නවාතැන්පොළක් පමණි. ඒත් ඒ නවාතැන්පොළේ හැම මතක මාත්‍රයක්ම නිසැකවම සොඳුරු වග මම දනිමි.

ඒක එහෙමද නිලාන්?

ඔව්... ඒක එහෙමමයි. ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව (International Yoga Festival MIMC Ladhak India) ලඩාක් හි පැවති යෝගා සංවත්සර උළෙලට අපි ගියා අපේ නර්තන උරුමයත් අරගෙන. ඇත්තටම ලඩාක් සංචාරය ඇතුළුව අපි නර්තන අංග කිහිපයක් රැගෙන ඉන්දියානු සංචාරයන්ට සහභාගි වුණා. ඇත්තටම ඉන්දියාව කියන්නෙ අපූර්ව විදිහට කලාවන්ගේ මූලයන් ඉපදුණු රත්තරන් පොළොවක්. කලාවේදීන්ට ඔවුන් දක්වන්නේ පුදුමාකාර ආදරයක් සහ ගෞරවයක්. නිලාන් සහාබ් කියලා හරි ළෙන්ගතුකමින් ඔවුන් මට ආමන්ත්‍රණය කළා. වරක් අපි ප්‍රසංගය ආරම්භ කරන්න ලෑස්තිවෙලා ඉන්නවා' ශාලාවේ හුඟාක් අසුන් හිස්. අපට පොඩි තැතිගැන්මකුත් තිබුණා. ඒත් හිතාගන්න බැරි පුදුමයක් දැනුණේ ප්‍රසංගය පටන් ගන්න මිනිත්තු කිහිපයක් තිබියදී මුළු ශාලාවම පිරී ගියා. ඒ වගේම ඔවුන් ප්‍රසංගයක් නරඹද්දි එය විඳින ආකාරයත් හරිම ආස්වාදනීයයි. ඒ ගම්වැසියන්ගේ ගෙවල්වල දොරටු අපට ඇරෙන්න වෙන හේතුවක් ඕනෑ නෑ. කලාවේදියෙක් කියන මුද්‍රාව අපි දරා හිඳිනවනම් අප ගැන තවත් සාක්ෂියක් ඔවුන් ඉල්ලන්නෙ නෑ.. පරදේසක්කාරයන් වුණත් ඔවුන් කලාවත් එක්ක හුස්ම ගන්න මිනිසුන්ව විශ්වාස කරනවා. ඔවුන්ට හැකි උපරිම ආදරය සත්කාරය ඔවුන් අපට පිරිනමනවා. ඒ පිරිනැමීම හරිම භක්තිමත්. ගොවියෙක් වුණත් කම්කරුවෙක් වුණත් රංග ශාලාවට පැමිණීමෙන් පසු ඔහු හෝ ඇය වින්දනීය ප්‍රේක්ෂකයෙක්. කලාව හා දැහැන්ගත වෙන කිසිදු තත්ත්පරයක් මඟ නොහරින්නට තරම් ඔවුන් කලාව කෙරෙහි භක්තිමත්. ඉතින් ඉන්දියානු භූමියේ නර්තනය හා කලාව සමඟ යා වෙච්ච අපේ හැම මතකයක්ම හරිම සුන්දරයි හරිම ආදරණීයයි...

ඒ වදන් අස නිලාන් මලිගස්පේ හුදෙක් පුවත්පත් කලාවේදියකු ලෙස නිර්වචනය කරන්නට මට කිසිදු විටෙක සිත් නොවේ. නර්තනයට සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ආත්මීය ආලයකින් බැඳුණු ප්‍රේමාන්විත මිනිසකු යනු ජීවිතයේ ඕනෑම අසීරු කාර්තුවක් දරාගත හැකි දෙවියන්ගේ ආශිර්වාද ලද්දෙක් ලෙස නිර්වචනය කරන්නට මට සිත් වේ. ඉඳින් නර්තනයට පෙම් බැඳි මිනිසකු නර්තනවේදියකුම මිස අන් කිසිවකුත් නොවේ. නර්තනයේ ශාස්ත්‍රීය රේඛා නිර්ලෝභීව පරපුරෙන් පරපුරට දායාද කරන්නන් ගුරු දෙවිවරුන් මිස අන් කිසිවකුත් නොවේ.

නිලාන් නිර්මාණශීලී නර්තන සහ නාට්‍ය ඇකඩමිය අරඹා මේ ගෙවී යන්නේ 31 වැනි වසර වුවත් නර්තනය හා නාට්‍ය සමඟ ඔහුගේ හුස්ම යාවී මේ ගෙවී යන්නේ 41 වැනි වසරයි. එදා මෙදා තුර මේ නර්තන ගුරුතුමාගේ මඟ සලකුණු අනුව යමින් නර්තනවේදයේ කිරුළු පළන් සිසු සිසුවියන් සිය දහසකි. හතළිස් එක් වසරක් පුරා ශාස්ත්‍රීය චමත්කාරයක් දෙවුර දරාගෙන සපැමිණි ගමනේ හැම තැනකම පිපුණේ සුගන්ධවත් කුසුම් පමණක් නොවන වග අපි ඉඳුරාම දනිමු. එහෙත් යටිපතුල් සීරී ලේ ගලන ඇසිල්ලක වුවත් ඒ වේදනාවන් සුවයක් වෙසින් විඳගන්නා මිනිසකුට දිනෙක ජීවන නිම්නයෙන් නිම්නයට දිලිසෙන දෙපයින් ඇවිද යා හැකිය. හදගැස්මෙහි රිද්මය කඳුළකට යා වුණත්, සිනහවකට යා වුණත් ජීවිතය ස්නෙහ සිතින් සෙනසුනක හිඳුවා ප්‍රාර්ථනා පහන් දල්වාලිය හැකිය.

දේශීය හා ජාත්‍යන්තර තලයන්හි බැලේ නර්තනය ප්‍රමුඛ නර්තනවේදයන්හි සහ රංග කලාවන්හි න්‍යායාත්මක සහ ප්‍රායෝගික ඥානයන් ප්‍රගුණ කළ නිලාන්ගේ කලාත්මක හදගැස්ම හා යා වූ මතක පුරාණයේ පරිච්ඡේද පෙරළද්දී කුංච නාද, තරණ සීගිරි, ගුරු ගීතය වැනි ඔපෙරාවන්ද අපේ කාලේ පටාචාරව, හොරා අංකල්, අයිස්ක්‍රීම්, රන් දෝනි, අග පිපි මල්, යක්ෂ දේශය, ජුදාස් වැනි සිනමා රූපකාරකයන්ද මෝසම් රැල්ල, ඇහිපිල්ලමක් යට, කිරුළි, හිරු තනිවෙලා වැනි විසූක දස්සනයන්ද, වංශාධිපති, ඔයා දොර අරින්න, මම ඉපදුණේ ඊයේ නොවේ, සිකුරා වැනි වේදිකා නාට්‍යමය දිගහැරුම් පහළොවක සංවිධිතයක්ද හමුවේ. එපමණක්ද නැත. තම්බපණ්ණි (කුවේණි සහ විජය) ලයනල් වෙන්ඩ්ට් රඟහල ආලෝකවත් කළේ තම රංගායතනයේ 21 වැනි සංවත්සරය නිමිත්තෙනි.

බැලේ නර්තන ප්‍රාසාංගිකමය තිළිණයන්ද ඒ මතක පරිච්ඡේද සන්තකයේය. දෙස් විදෙස් රංග යාත්‍රාවන් ඔස්සේ තම රංගමය ධාරිතාවන් ප්‍රක්ෂේපණය කළ නිලාන් චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරයන් එක්වූ ඉසව්ව වී නම් ඒ ඉසව්වේ සියක් දහසක් ඉසියුම්ම මතක ශේෂ නිදන් කරලූ රංගේන්ද්‍රවරයෙකි. නර්තනය, නාට්‍ය කලාව හා සබැඳි ආදරවේදයක් නිමවනු පිණිස රන් දහදිය විසල් මාත්‍රා වැගිරූ කලාවේදියෙකි. එහෙයින් ඔහු ආ මඟෙහි පියවර සිය දහසකි. බැතිත් පෙමින් සනිටුහන් කර තැබූ මුද්‍රාවන් සිය දහසකි. හතළිස් එක් වසරක් රංග සුවිසැරියේදී ඔහුට මුණගැසුණු චරිත බොහොමයකි. ඉන්දියාව, නේපාලය, මැලේසියාව, ඉතාලිය ආදී රටවල් හා යා වූ මතකයන්ද ඒ රංග සුවිසැරියේම අභිමානවත් රුවන්මය වටිනාකම් එක් කරයි.

නර්තනය හා කලාව මම දකින්නේ ලෞකිකත්වය තුළ නිර්වාණයේ ද්වාරය විවර කර ගැනීම ලෙසය. යෝගාත්මක සුවයක් රැඳි භාවනාවක් ලෙසය. ඉතින් නර්තනය හා කලාව ඔබ නිර්වචනය තරන්නේ කෙලෙසකදැයි මම නිලාන්ගෙන් විමසීමි.

ඇත්තටම නර්තනය කියන්නේ භාවනාවක්. නර්තනය වගේම කලාවේ හැම ශානරයක්ම මම දකින්නේ භාවනාවක් විදිහට. නර්තනය ගත්තොත් නර්තනය කියන්නේ භෞතිකව අත්පා ශරීරය තුළින් භාව ලීලා, රංග ලීලා, නර්තන ලීලා එළි දැක්වීමකට පමණක් නෙවෙයි. එය ආධ්‍යාත්මික හා භෞතිකමය චලනයක සුසංයෝගයක්. ඇඟෙන් විතරක් කෙනෙක් නටද්දි කවදාවත් ආධ්‍යාත්මික ශික්ෂණයක් උපදින්නෙ නෑ. එය දැහැන්ගත වීමක් වෙන්නෙ නෑ. ඇත්තටම කලාව කියන්නෙ කෙනෙක් නිවාලන සුවයක්. දෙවියන් හා ආධ්‍යාත්මිකව සහ සංකල්පනාත්මකව යා විය හැකි මාර්ගයක්. ඒ මාර්ගයේ නිවැරදි ලෙස ගමන් කරන කෙනකුට හමුවන භෞතික සහ ආධ්‍යාත්මික වටිනාකම්හි වපසරිය සුවිශාලයි. එය වචනවලින් කියා නිම කළ නොහැකි නිර්වචනය කළ නොහැකි දෙයක්. ඇත්තටම නර්තනය හා කලාව කෙරේ ලේ බැඳීමකින් බැඳුණු කෙනෙකුට කවදාවත් එය අත්හරින්න බෑ. එය පුදුමාකාර විස්මිත බැඳීමක්.

එහෙත් නර්තනය හා කලාව ඔබ කීව ලෙස අර්ථකථනය කරගත නොහැකි, එය තවත් එක් ව්‍යාපාරික මෙවලමක් පමණක් බවට පත් කරගත් මානසික දුප්පතුන් හිඟ නැති රටක අපි විඳින අත්දැකීම් අපි දකින දසුන් කටුකයි. නිලාන්ට තියෙනවද උත්තරයක්?

ඔව් ඇත්තටම ඒ කටුක බව, ඒ වේදනාව මමත් විඳිනවා. මටත් දැනෙනවා. ඒ මම නර්තනයට හා කලාවට හදවතින්ම ආදරය කරන හින්දා. එයින් තොර ජීවිතයක්, එයින් තොර හුස්මක් මට නෑ කියලා මට හිතෙන හින්දා, මට දැනෙන හින්දා. ජීවත් වෙන්න මුදල් අවශ්‍ය බව ඇත්ත. එහෙත් ජීවිතයේ සමස්තය කියන්නෙ මුදල් නෙවෙයි. ජීවිතයේ සමස්තය මුදල් තුළට ලඝු කරන හැම තත්ත්පරයකම අපට අහිමි වෙන්නෙ ජීවිතයේ වටිනාකම සහ ජීවිතයේ වින්දනීය අවකාශයන්. කලාව කියන්නේ හුදෙක් ඉපයීම් මාර්ගයක් බවට පමණක් පත්කර ගත්තොත් මට හිතෙන්නේ, මම විශ්වාස කරන්නේ කලාව තුළින් කලාව ගිලිහෙනවා. කලාව තුළින් කලාව අතුරුදන් වෙනවා. ඒ හිස්තැන නිර්මාණය කරන්නෙම මහා ඛේදවාචකයක්.

ලොවීනාගේ ආදර කතාව (The Hidden Love story of Mount Lavinia) මේ මස 18 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාව ආලෝකවත් කරලනුයේ නර්තනය හා කලාව කෙරෙහි එවන් ආදරවේදයක මහිමයක් දරා හිඳින නිලාන්ගේ නර්තන සහ රංග ඇකඩමියේ තිස් එක් වැනි සංවත්සරය නිමිත්තෙනි.

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය. ඉඳින් නිලාන් ස්නේහයන් ඒ තත්ත්පරයේ නෙලාගනු ලබන්නේ ඒ මඟ දෙපස පිපෙන තවත් එක් කුසුමක් පමණකි.

ආශිර්වාදයේ අනුහසද මුහු වූ පොළොවක තවත් නර්තනයේ - රංගනයේ සුවඳ කුසුම් විකසිත වේවා! ඒ ඔබ වෙනුවෙන් මහද ප්‍රාර්ථනයයි.

• සංජීවිකා සමරතුංග