2025 ජුනි 14 වන සෙනසුරාදා

කලා ලොවේ මල් - ඇගයුම් නොමැතිව නික්ම ගිය ග්‍රැමෆෝන් යුගයේ ජීවමාන සාක්ෂිය - ​ග්‍රේටා ජෙනට් ද සිල්වා

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

අලු‍ත් පරම්පරා කරළිය අත්පත් කරගන්නා විට පැරණි පරම්පරා නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයෝ ජීවිතවලින් පවා නික්ම යති. ඒත් ඔවුන්ගේ නික්ම යාම්වලදී ඔවුන්ට නිසි ගෞරවයක් ලැබේද යන්න තරමක ගැටලුවකි. ඉකුත් සතියේ සිදුවූ එවන් නික්ම යාමක් පිළිබඳ සටහනක් ලිවීමට අප තීරණය කළේ පරපුරක යුතුකම සිහි ගන්වමිනි.

මීට සති කිහිපයක් ගත වනතුරුම ග්‍රේටා ජෙනට් ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් යුගයේ ජීවමාන සාක්ෂිය වූවාය. එහෙත් දැන් තවදුරටත් ඇය අප අතර නොමැත. ඇය පැතූ ස්වර්ගය කරා ඇය නික්ම ගොසිනි. එහෙත් ඇය ගැයූ ගී පිළිබඳ මතක අතළොස්ස තවමත් ජීවමානය. “මුනි නන්දන සිරිපාද වඳිමි සමනල කන්දේ”‍ ගීතය නෑසූ කෙනෙක් අප අතර නොමැති තරම්ය. පසු කලෙක විවිධ හඬ මුසුව ගැයුණද මෙම ගීතය පළමුව ග්‍රැමෆෝන් තැටියක් වෙනුවෙන් ගායනා කළේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය.

පසුගිය ජූනි 02 දා සිදු වූ මෙම ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියගේ නික්ම යාම හුදෙකලා එකක් වූවාය. බොහෝ කලාවේදීන්ට දිවිසැරිය නිම කරන විට ලැබෙන ගෞරවය ඇය වෙත පුදන්නට ක්ෂේත්‍රයේ කිසිවකු ඉදිරිපත් නොවූ සෙයකි. ඇතැම් විට ඇගේ පරපුර කල් ඇතිවම නික්ම යාම ඊට හේතු විය හැකිය. ඇගේ නෑසිය පරපුර ඇයට සමුදුන් ගමනේදී, සංස්කෘතික අමාත්‍යවරයාගේ පණිවිඩයක් සහ මල් වඩමක් පමණක් ඇය නමින් ලැබී තිබුණි. එහෙත් මෙවන් ශිල්පිනියක් කෙරෙහි දක්වන ගෞරවය එපමණකින් නිම කළ හැකිද? අපි අද ප්‍රශ්න කර සිටිමු.

ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් යුගයේ ප්‍රථම ගායන ශිල්පිනිය ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය ලෙස විටක හඳුන්වනු ලබයි. මෙරට ග්‍රැමෆෝන් වංශ කතාවේ ඉතිරිව සිටි ජීවමාන පැරණිතම සාක්ෂිය ද ඇයම වූවාය. 1926 මැයි මස 6 වැනිදා මීගමුවේදී උපන් ලියනගේ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය ජන්මයෙන්ම මිහිරි හඬකට උරුමකම් කී තැනැත්තියක් විය. මීගමුව පුරවරයෙන් බිහිවූ කලා ශිල්පිනියන් අතර ඇය පුරෝගාමී නාමය බවට පත්වන්නේ නිතැතිණි.

කුඩා කාලයේ සිට ගැයුමට හපන්කම් කී ග්‍රේටා පාසල් ගායන තරග ජය ගනිමින් රන් පදක්කම් පවා ලබා ගත්තාය. එසේ නමුත් කාන්තාවන් සඳහා අද වන් සුව පහසු පිවිසුමක් නොතිබූ කලාවේ එදා හිණිමං බැඳීමට ඇය සමත් වූයේ හැකියාව සහ වාසනාව එක්තැන් වූ විටකය. පාසල් ගමන අතරතුර ලද ජයග්‍රහණ මෙම මාවත ඇයට විවර කර තිබේ. ඇයගේ පාසල් දස්කම් ගැන පැහැදුණු ‘ලංකා ෆිල්ම් කොම්පැණි’ හි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වූ යූ.ඩී. ප්‍රේරා මහතාගේ දිරිගැන්වීමෙන් ග්‍රේටා ජෙනට් ද සිල්වා කලා ලොවට පිවිසියාය. පළමුව කොලොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස ගිවිසුම් ගතවන විට ඇගේ වයස වයස අවුරුදු 12 ක් පමණි. ඒ අනුව 1938 දී කොලොම්බියා ලේබලය සමඟ ගිවිසුම්ගත වූ ඈ “පානා මේ කුරුලන්ගේ”‍ සහ “මෙරුන් වගේ සතර අතින්”‍ යන විරිඳු දෙක මුලින්ම තැටිගත කර තිබේ. එකී විරිඳු ශ්‍රී ලාංකික ගායිකාවක විසින් මුලින්ම ගී තැටියක තැටිගත කළ විරිඳුව ලෙස වර්තමානයේ දී හඳුන්වයි. රටක් ලෙස අප නිදහස ලබන්නටත් පූර්වේ මෙම පිවිසුම සැබවින්ම විප්ලවීය ආගමනයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව වර්තමානයේ නිදහසේ කලා ලොව විරාජමාන වන බොහෝ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනියන් වෙත පෙර මං තැනූ චරිතය ඇයම විය.

ග්‍රේටා ජෙනට් ද සිල්වා පළමුව කොලොම්බියා තැටි දෙකකට යුග ගී දෙකක් සහ කේවල ගී දෙකක් ගායනා කළාය. එදා ග්‍රේටා සමඟ යුග ගී ගැයුවේ මාස්ටර් මොහිදීන් බෙග් ය. මෙම සුසංයෝගයත් මුල් යුගයේ රසවතුන්ගේ අවධානය දිනාගත් සුසංයෝගයක් විය. ඉතිහාස වාර්තා පවසන පරිදි බෙග් මාස්ටර් පළමුව යුග ගී ගයා ඇත්තේ ග්‍රේටා මහත්මිය සමඟය. ඒ අනුව ඉතා කෙටි කලකින්ම ග්‍රේටා ජෙනට් ද සිල්වා තරුණිය ග්‍රැමෆෝන් යුගයේ දිදුලන තාරකාවක් බවට පත් වූවාය.

කොලොම්බියා ලේබලයේ ප්‍රධානම ගායිකාව බවට පත්වූ ඇය කොලොම්බියා ලේබලය යටතේ ගීත 29 ක් පමණ තැටිගත කර තිබේ. වර්තමානයේ ද ඇගේ හඬ පිළිබඳ තැටිගත සාක්ෂි සොයා ගත හැකිය. මෑතක් වනතුරුම ගුවන්විදුලියේ පැරණි රසාංග තුළ ග්‍රේටා ජෙනට් ද සිල්වා නාමය නිම්නාද දුනි. ඇය ගායනා කළ ගී අතර සරල ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා, විරිඳු හා බැති ගී ආදී විවිධ ශෛලීන්වල ගීත අඩංගුය. එය ඇගේ හැකියාව මනා කොට විද්‍යමාන කරන ගීත ගොනුවකි. කපිරිඤ්ඤා ආදී විවිධ ශෛලීන් ගැයුමෙහි පෑ දක්ෂතා නිසාම ග්‍රේටා ජෙනට් ද සිල්වා ශ්‍රී ලාංකික ගීත ඉතිහාසයේ පළමු බයිලා ගායිකාව ලෙස ද හඳුන්වනු ලබයි. එඩී ජයමාන්න සමඟ ග්‍රේටා ජෙනට් ද සිල්වා කපිරිඤ්ඤා බයිලා ගැයුමට එක්ව ඇත. පසු කලෙක බිහිවූ ඇතැම් ප්‍රකට බයිලා ගීත සඳහා මුල් ආභාෂය ලැබී ඇත්තේ ද ග්‍රේටා ජෙනට් ද සිල්වා ගී ඇසුරෙන් බව කියැවෙයි.

ග්‍රැමෆෝන් යුගයේ සුප්‍රකට ශිල්පීන් රැසක් සමඟ සමීපව නිර්මාණකරණයේ යෙදෙන්නට ග්‍රේටා ජෙනට් ද සිල්වා සමත් වූවාය. ඒ අතර ඇස්.ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක හා රුක්මණී දේවි ආදී ගායක ගායිකාවෝ වූහ. මෙම ඇසුරත් සමඟ මෙම සොඳුරු ගායන ශිල්පිනිය හට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගී ගැයීමටද අවකාශය උදා විය. එය ඇගේ ජීවිතයේ තවත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් මෙම විප්ලවීය ශිල්පිනියගේ ගී ලොව චාරිකාව එතරම් දිගු එකක් නොවූවකි. විවාහයෙන් පසු දරු පිළිසිඳ ගැනීමත් සමඟ වරු ගණන් ගතවෙන ගී තැටි පටිගත කිරීම් සඳහා ගීත ගැයීම ඇයට පහසු කාර්යයක් නොවූ බව කියැවේ. ඒ අනුව 1945 දී පමණ කෙමෙන් ඇය මෙම කලාවෙන් ඈත් වන්නට විය. එහෙත් එවක ගුවන්විදුලි වැඩසටහන් සඳහා ඇය 1950 පමණ වන තෙක්ම සම්බන්ධව සිට ඇති බව කියැවේ. කෙසේ වෙතත් ගායන ක්ෂේත්‍රයෙහි නිරත දශකයකට ආසන්න කෙටි කාලය තුළ, දශක හත අටක් තුළ නොමියෙන නිර්මාණ කිහිපයක්ම බිහි කිරීමෙහිලා ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය දැක්වූ දායකත්වය අද්විතීයයි.

“ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟු‍ලේ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනෙයි යමු නැවතී හැරමිටි පානේ”‍

අදටත් බොහෝ විට සිරිපා ගමනේදී ගැයෙන “මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ” මුල් ගැයුම ග්‍රේටා ජෙනට් ද සිල්වා නම් ශිල්පිනියගේ බව දන්නේ අතළොස්සකි.

“සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්
මායා පුතානන්
ප්‍රේම රජානන්”
ග්‍රේටා ජෙනට් ද සිල්වා සමඟ ස්ටැන්ලි මල්ලවාරච්චි ගැයූ මෙම ගීතය ද පැරණි රසාංග රසවතුන් අතර ඉතා ජනප්‍රිය ගීතයක් විය. ග්‍රේටා ජෙනට් ද සිල්වා කතෝලික කාන්තාවක් වුවද ඇය බොහෝ විට බෞද්ධ ආභාෂය සහිත ගී ගායනා කර තිබීමද සුවිශේෂීත්වයකි.

මෙම සොඳුරු ශිල්පිනියගේ තවත් ගැයුම් රැසක් පිළිබඳ තොරතුරු සිහි ගැන්විය හැකිය. “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කළුම කළුයි නුඹෙ අප්පත් කළුම කළුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පණ වැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ගුවන්විදුලි අසන්නන් අතර කලක ප්‍රකටව පැවැති ගායනා විය. එහෙත් කාලයත් සමඟ අද පරපුර වෙතින් මේ බොහෝ ගී මතකයන් ගිලිහී ගොසිනි. එනමුදු මෙම ගීත අලු‍ත් වී වෙනත් අයගේ හඬින් ඇසෙන අවස්ථා ද විරල නොවේ. එසේ නමුත් එම බොහෝ දෙනා මුල් ගැයුමට හිමි ගෞරවය ග්‍රේටා ජෙනට් ද සිල්වා නම් සිය පුරෝගාමී ශිල්පිනිය වෙත පිරිනැමීමට මැලි වේ. එය කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් පසුගියදා අප අතරින් නික්ම ගියේ සුජීවත්ව සිටි ශ්‍රී ලාංකික ගායිකාවන්ගෙන් ජ්‍යෙෂ්ඨතම ගායිකාවයි. අද වන විට මෙම ක්ෂේත්‍රයේ අක්මුල් බොහෝ දුර ඈත විහිදී ගොසිනි. එනිසාම කලා ලොව මහත් බල පරාක්‍රමයක් නිර්මාණය කර සිටින වත්මන් ගායක ගායිකාවන් වෙතින් හෝ ඇය වෙත ප්‍රමාණවත් ගෞරවයක් ලැබුණේද යන්න ගැටලු‍වකි. අතීතය පිළිබඳ උදම් අනන, අයිතිය වෙනුවෙන් හඬ නගන ක්ෂේත්‍රයක මිනිසුන්ට, සිය පුරෝගාමී චරිත මඟහැරීම සැබවින්ම කනගාටුවට කරුණකි. කෙසේ නමුදු අවසානයේ මෝක්ෂයේ නැවතත් ගී ගයා තුටු වන්නට ඇයට වරම් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු!

• චමිඳු නිසල් ද සිල්වා