2025 ජුනි 14 වන සෙනසුරාදා

අනිත් පස්දෙනා මට නායකයා කීවට අපේ යාළුකම අතරේ නායකත්වයක් නැහැ - Vibe Music

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

මලින්ද... Vibe Music කණ්ඩායමේ නායකයා. එහෙම නේද?

ඇත්තම කිව්වොත් Vibe Music කණ්ඩායමේ එහෙම නායකයෙක් නැහැ. යාළුවෝ හය දෙනෙක් එකතුවෙන් අපි මේ සංගීත කණ්ඩායම පටන් ගත්තා. රූපවාහිනී රියැලිටි තරගයකට මම කරපු ගීතයක් එක්ක යම් මිනිස්සු පිරිසක් මාව හඳුනා ගත්තා. ඒ නිසා මේ පස්දෙනා මාව නායකයා කිව්වට අපේ යාළුකම් අතරේ නායකත්වයක් නැහැ.

Vibe Music කණ්ඩායම ගොඩනැගෙන්නේ කොහොමද?

මේ සංගීත කණ්ඩායම කොවිඩ් කාලයේදී පටන් ගත්ත සංගීත කණ්ඩායමක්. අපි හයදෙනාම සංගීතය කරන යාළුවෝ හය දෙනෙක්. අපි හයදෙනා එකම කාල රාමුවක ලංකාවේ තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවල රියැලිටි තරගවලට සහභාගි වුණා. ඒකෙන් ඇති කරගත්ත මිතුරුකමත් එක්ක සින්දු නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් වගේම සංගීතයට අලු‍ත් දෙයක් කිරීමේ පොඩි ඇම්මක් ආවා. ඒකත් එක්ක අපි ගිටාර් වයමින් සින්දු කිව්වා. විවිධ අත්හදා බැලීම් කළා. ඔය අතරෙදි තමයි සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට හිතාගෙන අපි හයදෙනා එකම අරමුණකින් මේ සංගීත කණ්ඩායම පටන් ගත්තෙ.

Vibe Music... මේ නම තිබ්බෙ මොන අරමුණකින්ද?

අපිට සංගීතය ඇතුළේ වෙන කම්පනයක් හදන්න ඕනෑ වුණා. වෙනස් දෙයක් කරන්න ඕනෑ වුණා. ඒකත් එක්ක තමයි Vibe Music නමත් එක්ක මේ ගමන පටන් ගන්න අපි තීරණය කළේ.

Vibe Music... දිවයිනේ විවිධ පැතිවල එකතුවක්. එහෙම නේද?

ඔව්... අපි ලංකාවේ විවිධ පළාත්වල යාළුවෝ. මම අනුරාධපුරේ කෙනෙක්. දුල්ෂාන් මදුරංග, අහුංගල්ල. තිමිල ප්‍රමිලංක ඇල්පිටියෙන්. ධම්මික ක්‍රිෂ්ණදාස, පිළිමතලාව. සුමීර අරංගල කොට්ටාව සහ අයේෂ් පීරිස් පන්නිපිටිය. අපි හයදෙනා තමයි මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වෙන්නෙ.

සංගීත කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සිදුවෙන්නේ කොහොමද?

කොහොමටත් මාසයකට දවස් දෙක තුනක් අපි සම්පූර්ණයෙන්ම පුහුණුවීම් වෙනුවෙන් යොදා ගන්නවා. මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තවත් සාමාජිකයන් ඉන්නවා. වෙනත් රැකියාවල නිරත වෙන අයත් ඉන්නවා. අපි මොන වැඩේ තිබුණත් මාසයකට දවස් දෙකක්වත් ගීත හදන්න, පුහුණුවීම් කරන්න යොදා ගන්නවා. මේ වෙද්දි අපිට සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. හැබැයි අපි එළිමහන් ප්‍රසංග දැනට බාරගන්නේ නැහැ. ගෘහස්ථ ප්‍රසංග විතරක් බාර ගන්නවා. සංගීත කණ්ඩායමක් විදියට ලොකු ස්ථාවරයක අපි දැනට නැතත් අපි අපේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා.

Vibe Music සංගීත කණ්ඩායමටම වෙන්වුණු සංගීත භාණ්ඩ දැන් තියෙනවාද?

ඔව්... දැන්නම් ටිකෙන් ටික අපි ගත්ත සංගීත භාණ්ඩ තියෙනවා. හැබැයි මුලින්ම අපිට ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. මුල් කාලෙදි අපිට අපේම කියලා සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. අපි කුලී පදනමට ගත්ත සංගීත භාණ්ඩවලින් තමයි පුහුණුවීම් කළේ. ප්‍රසංගවලට සහභාගි වුණේ. ඒ වගේම අපිටම කියලා පටිගත කරන්න ස්ටූඩියෝවක් තිබුණේ නැහැ. ඒකත් අපි කුලී පදනම මත ගත්ත තැන්වල පටිගත කළා. එහෙම අමාරුවෙන් ආපු ගමනක් මේක. හැබැයි මේ වෙද්දි අපිටම කියලා සංගීත භාණ්ඩ වගේම අපිටම කියලා පොඩි ශබ්දාගාරයක් Vibe Music කණ්ඩායමට තියෙනවා. දැන් අපි හය දෙනාට නිවාඩුවක් ලැබුණු ගමන් එතැනදි අපේ පුහුණුවීම් කටයුතු සිදු කරනවා.

මේ වෙද්දී සංගීත කණ්ඩායම ගීත කීයක් නම් නිර්මාණය කරලා තියෙනවද?

මුලින්නම් සංගීත කණ්ඩායමක් විදියට අපි cover song නිර්මාණය කළා. විශේෂයෙන් වික්ටර් රත්නායක මහතාගේ, රෝහණ වීරසිංහ මහතාගේ, රෝහණ බැද්දගේ මහතාගේ ගීත කිහිපයකම අපි cover song කළා. ඊට පස්සේ “cover song කළා ඇති, දැන් අපේම ගීත කරන්න ඕනෑ” කියලා අපි තීරණය කළා. මේ වෙද්දි අපේම කියලා ගීත හතක් පමණ අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ හතටම හොඳ ප්‍රතිචාර මේ වෙද්දී ලැබෙමින් පවතිනවා. ඒ අනුව, මේ පාළු යාමයේ, පළවෙනි ප්‍රේමය, මෙහෙම ගෑනු, දුක දරාගෙනම සිටියා, මම බඳින්නේ නෑ, සිහින හොරා, එක කුඩයක, වැනි ගීත අපි නිර්මාණය කළා.

මේ වෙද්දි ලැබෙන ප්‍රසංග ගැන කතා කළොත්?

මේ වෙද්දි අපිට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. හැබැයි ඒ වැඩි ප්‍රසංග එළිමහන් ප්‍රසංගයි. දැනට එවැනි ප්‍රසංග අපි බාරගන්නේ නැහැ. දැනට අපි ගෘහස්ථ ප්‍රසංග බාර ගන්නවා. ඊට අමතරව අගෝස්තු 23 වැනිදා සිට අපි ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග කිහිපයක් වෙනුවෙන් සංචාරය කරනවා. Vibe Music සංගීත කණ්ඩායමට ලැබුණු මුල්ම විදෙස් සංචාරය එයයි. මුල්ම ප්‍රසංගය අගෝස්තු 23 වැනිදා මෙල්බන් නගරයේදී පැවැත්වෙනවා. සංචාරයේදී ප්‍රසංග පහක් නගර පහක අපි පවත්වනවා. ඒකට අපි පුහුණුවීම් කරනවා. ඊට අමතරව එංගලන්තයේ ප්‍රසංගයකටත් Vibe Music සංගීත කණ්ඩායමට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. ඒ වගේම Vibe Music live in concert නමින් ප්‍රසංග මාලාවක් සමඟ ලංකාවේ වටේ යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සංගීත කණ්ඩායමේ හය දෙනාටම වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන් වගේම ගීත ගායනා කරන්නත් උපරිමයෙන්ම පුළුවන්.

සංගීත කණ්ඩායමේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව අපිට මුලින්ම ලැබුණු විදෙස් ප්‍රසංගය ඉතා සාර්ථක කර ගැනීමයි. ඒ වෙනුවෙන් අපි පුහුණුවීම් කරනවා. දෙසැම්බර් මාසයේදී එංගලන්තයේ ප්‍රසංග දෙකකටත් ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කලබලයක් නැතුව, වැටෙන්නේ කැඩෙන්නේ නැතුව හය දෙනාම එකට සංගීත කණ්ඩායමක් විදිහට මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා.

• දිශානි ජයමාලි