2025 ජුනි 07 වන සෙනසුරාදා

දෙව් දුවකගේ හිත රිදවපු මිනිස්සුත් මේ රටේ හිටියා...

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

උපුල්... වසර ගණනාවක් තිස්සේ ඔබට මාලිනී ෆොන්සේකා මහත්මියව ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ දැන හැඳුනුම්කම ඇතිවුණේ කොහොමද?

මාලිනී අක්කව මට හඳුනා ගන්න අවස්ථාව ලැබුණේ මගේ ලොකු අම්මා නිසයි. මගේ ලොකු අම්මා ප්‍රවීණ නිළියක් වුණු උදුලා දාබරේ මහත්මියයි. ඇය නිසා අපේ නුගේගොඩ ගෙදරට ඒ කාලේ නිතරම නළු නිළියන් ආවා. ඒ කාලේ මගේ ලොකුඅම්මා අතිශය ජනප්‍රිය නිළියක්. මාලිනී අක්කා අපේ ලොකුඅම්මා එක්ක සැමී කියන චිත්‍රපටයේ රඟපෑවා. ඒ කාලේ “නළු නිළි සංගමය”‍ කියලා සංගමයක් තිබුණා. ඒකෙ සභාපති තනතුර මාලිනී ෆොන්සේකා මහත්මිය දැරුවා. ඒ නිසාවෙන් නිරන්තරයෙන් ඒ රැස්වීම්වලට යද්දි ලොකුඅම්මා මාවත් එක්කගෙන ගියා. එතකොට මම ගොඩක් පොඩියි. මට තාම මතකයි ඒ කාලේ මාලිනී අක්කා හරිම ලස්සනයි. ඉතින් ඉස්සරහ මේසේ වාඩිවෙලා මාලිනී අක්කා සංගමය මෙහෙයවද්දී ලොකුඅම්මා ළඟින් වාඩිවෙලා මම මාලිනී අක්කා දිහා බලාගෙන හිටියා. ටිකෙන් ටික මාලිනී අක්කා එක්ක මම කතා කළා. ලොකුඅම්මා නිසා හඳුනාගත්ත හැඳුනුම්කම මාලිනි අක්කා මිය යන තුරාවට පැවතුණා.

කලාවේදිනියන් අතරේ ඇය අතිශය සුවිශේෂී කෙනෙක්. මනුස්සකම්වලින් පිරුණු කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම් කොහොමද?

ඇත්ත. ඇය හරිම සංවේදී මානුෂීය හදවතක් තිබුණු කෙනෙක්. ලොකුඅම්මාගේ මාර්ගයෙන් ඩී.බී. නිහාල්සිංහ ඔස්සේ මටත් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මාලිනී අක්කා ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. මාලිනී අක්කාගේ ගෙදරට කවුරු හරි ආවොත් ඇය හරිම සුහදශීලීව පිළිගත්තා. ඔවුන්ට සංග්‍රහ කළා. ඒ ආපු කෙනාට කුමක් හෝ උදව්වක් අවශ්‍ය නම් ඒක ඇයට කරන්න පුළුවන්නම් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඇය ඒ උදව්ව කළා. කාලයක් මාලිනී අක්කා නාවල පාසල් පටුමඟේ පදිංචි වෙලා හිටියා. මම දවසක් මාලිනී අක්කාගේ ගෙදරට ගියා. එදා මාලිනී අක්කා හරිම සිනාමුසු මුහුණින් සුරංගනාවියක් වගේ එළියට ආපු හැටි අදටත් මට මතකයි. ඇය හරිම නිහතමානී කලාකාරියක්. අද මේ ක්ෂේත්‍රයට එන නළු නිළියන් බොහොමයකට නැත්තෙමත් ඒකමයි. මාලිනී අක්කා අලු‍තින් අද ක්ෂේත්‍රයට ආ කෙනකුට පවා බොහොම ආදරයෙන් කතා කළා. මේ රටේ පහළ වුණු නිහතමානීකම උතුරා ගිය, ආදරය විතරක් බෙදපු, ආදරණීයම චරිතය ඇයයි.

උදුලා දාබරේ නම් කලාකාවේදිනිය මාර්ගයෙන් හඳුනාගත්ත මාලිනී ෆොන්සේකාව පසුකාලීනව කලාවත් සමඟ ළඟින්ම ඇසුරු කරන්න ඔබට අවස්ථාව ලැබුණා. ඔබ පිළිබඳව ඇගේ හිතේ තිබුණු පැහැදීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මම ඩී.බී. නිහාල් සිංහ මහතාගෙන් මුලින්ම කලාවට අත්පොත් තැබුවා. ඊට පස්සේ සහාය කැමරා ශිල්පියෙක්, කැමරා ශිල්පියෙක් වුණා. පසු කාලේදී මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ කාලයේ මාලිනී අක්කාගේ මාදිවෙල ගෙදර ගිහින් කිහිප වතාවක්ම පුවත්පත් සාකච්ඡා පැවැත්වුවා. එයා ගොඩක් සතුටු වුණා. මම අක්කාගේ පුවත්පත් කවර බොහොමයක් කළා. ඒ හැමදේම අක්කා හරියට අගය කළා. අද බොහෝ නවකයන් තුළ නැත්තෙත් ඒකමයි. තමන්ගේ පුවත්පත් සාකච්ඡාවක් හෝ කවරයක් ගත්ත කෙනෙක්ට ස්තූති කරන්න අද බොහෝ නවකයන් දන්නේ නැහැ. ඒත් ප්‍රවීණයෙක් වුණු, නිහතමානී වුණු මාලිනී අක්කා ළඟ ඒ හොඳ ගතිගුණ මිය යන තුරාවට තිබුණා. ඒ විතරක් නෙවෙයි. මාලිනී අක්කා ඡායාරූප ගන්න ආපු රසික රසිකාවියන් එක්ක ඇගේ අපූරු හිනාවත් එක්කම ඇගේ කිසිම වෙනසක් නැතුව ඡායාරූප ගත්තා. ඇගේ රසිකාවියන්ට හරියට ආදරය කළා. මාලිනී අක්කා කිසිම කෙනකුට වළ කපපු කෙනෙක් නෙවෙයි. එයා වගේම තව කෙනෙක් ජනප්‍රිය වෙනවට ඇය ආසා කළා. අක්කා දශක හයකට වැඩි කාලයක් සිනමාවේ බැබළුණු නිළියයි. එකිනෙකට වෙනස් චරිත හරි අපූරුවට රඟපෑ ඇය තරම් වාසනාවන්ත නිළියක් ඉතිහාසයේ ඉඳලා නැහැ. අක්කාට එයාගේ රසික රසිකාවියන් පුදුමාකාර විදිහට ආදරය කළා. අක්කාගේ දේහයට අවසාන ගෞරවය දක්වන්න හොරණ පැත්තෙ ඉඳන් කාන්තාවන් දෙදෙනෙක් ආවා. ඔවුන්ගේ අතේ ලොකු මල් මාලයක් තිබුණා. හොරණ වැවට ඔවුන්ම ගිහින් ඔවුන්ගේම අතින් ඒ මල් මාලය ගොතලයි අරගෙන ඇවිත් තිබුණේ. ඒ තරමටම මාලිනී අක්කා මිනිසුන්ගේ ආදරය දිනා ගත්තා. රසික රසිකාවියන් නිළි රැජනටත් වඩා මාලිනී අක්කව “දෙව්දුව”‍ කියලයි හැඳින්වුවේ. මට මාලිනී අක්කා අතිශය උතුම් කෙනෙක්. ඇයට මම එදත් ආදරෙයි. අදටත් ආදරෙයි. හෙටත් ආදරෙයි.

මාලිනී ෆොන්සේකාගේ අසනීපයත් එක්ක උපුල්ට නිතර ඇයට ළං වෙන්න අවස්ථාව ලැබුණද? ඇගේ අසනීප තත්වයත් එක්ක ඇය එයට මුහුණ දුන් හැටි ඔබ දකින්න ඇති?

ඔව්... මට ඇයට තවත් කිට්ටු වෙන්න අවස්ථාව ලැබුණා. මාලිනී අක්කා කියන්නෙත් අති සංවේදී කාන්තාවක්. ඇය ලෙඩ වුණාට පස්සේ ඇයව බලාගන්න චන්දික නානායක්කාර පුදුමාකාර කැපවීමක් කළා. චන්දික කියන ඒ සුවිශේෂී චරිතය නොහිටින්න මාලිනී ෆොන්සේකා මහත්මිය මැරිලා ගොඩක් කල්. ඒක තමයි ඇත්ත. මාලිනී අක්කට පිළිකාව ඇතිවෙලා මුලින්ම ඇයව වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ පිළිකා ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතායි. ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම අක්කාව සුවපත් කළා. හැබැයි අක්කාට බෙහෙත් විශාල ප්‍රමාණයක් බොන්න සිදු වුණා. ඒකයි අක්කාගේ ඇඟ ඇතුළේ වකුගඩුවලට හානි සිදු වුණේ. මට තාම මතකයි දවසක් ඇගේ ගෙදර ඉඳිද්දී ඇය “උපුල් මට කැරකැවිල්ලක් වගේ”‍ කියලා මම ඉක්මනට වෛද්‍යවරයකුට කතා කළා. කතා කරපු වෛද්‍යවරයා ඇයට බෙහෙත් වෙනස් කරලා දුන්නා. අසනීප වුණාට පස්සේ ඇය බොහොම චුට්ටයි කෑම කෑවේ. අක්කා පුදුමාකාර විදියට පරිස්සම් වුණා. ඇය ජීවිතයට ගොඩක් ආසා කළ කෙනෙක්. ඒ නිසා තව කාලයක් ජීවත් වෙන්න ඇයට ඕනෑ වුණා. අක්කා සතුන්ට හරියට ආදරය කළා. ගෙදර පූසෝ බල්ලො පිරිලා හිටියා. නිලූකා කියන හරිම අහිංසක කාන්තාවක් ඇයව හරි ආදරයෙන් හොඳට බලා ගත්තා. ඒ වගේම ඇගේ පවුලේ ඥාතීන් ඇයව හොඳින් බලා ගත්තා. මාලිනී අක්කාගේ හොඳම මිතුරිය වුණේ රේඛා වික්‍රමසිංහයි. අක්කා අසනීපයට රට යද්දී එයා වියදම් කරගෙන අක්කා එක්ක තනියට ගියා. ඒ මිතුරුකම මාරයි. ඒ වගේම දවස් ගාණක් නිල්හාන් සෙනෙවිරත්න අක්කා ළඟ නිදි මරාගෙන හිටියා. ඇය මිය යන්න පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එයාව බලා ගත්තාට විශේෂ ස්තූතියක් කරන්න කිව්වා. ඔවුන් එදා ඇයට අවසාන ගෞරවය දක්වන්න ආපු මොහොතේදී මම ඒ ගැන ඔවුන්ට කිව්වා. මාලිනී අක්කා කියන්නේ කාගේවත් අත පල්ලෙන් වැටුණු කෙනෙක් නෙවෙයි. කොච්චර දරාගත්තත් ඇයට රෝගය නිසා වේදනාව දැනුණා. ඇය යකඩ ගැහැනියක්. නමුත් ඇය දුකට ඇඬුවා. වේදනාවෙන් මිරිකුණා. ඒ වේදනාව ඇයට දරාගන්න බැරි වුණා.

අවසන් කාලයේදී ඇයව පුදුමාකාර විදියට පරිස්සම් කරන්න සිදුවුණා නේද?

ඔව්... ඇයට විසබීජ ඇතුළු වෙන්න හොඳ නැහැ. ජයන්ත ධර්මදාස මහතා, සංගීතා වීරරත්න, මහත්මිය, ෂෙරීන් කුමාරතුංග මහත්මිය ඇතුළු සියෙස්ටා පදනමේ බොහෝ දෙනා ඇයට ගොඩක් ආදරය කළා. අවසන් කාලයේදී ඔවුන් අක්කාට යෝධ හයියක් වුණා. අක්කාගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ වෙද්දි ඇය හිටියේ අසනීපයෙන්. හැබැයි ඔය තරම් දෙයක් සංවිධානය වෙලා තියෙනවා කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. මාලනී අක්කා ඒ උත්සවයට පෙර දිනයේ මට ඇමතුමක් දුන්නා. “උපුල් මට කතා කරන්න අමාරුයි. උඹ හෙට එනවා නේද?” කියලා මගෙන් ඇහුවා. ෂෙරීන් අක්කත් මට කතා කළා. හැබැයි එක්තරා වැඩක් නිසා මට එදා යන්න බැරි වුණා. දවස් තුනකට පස්සේ නැවතත් අක්කා මට කතා කළා. “ඇයි උඹ ආවෙ නැත්තේ?” කියලා මගෙන් ඇහුවා. එදා තමයි අක්කා එක්ක මම කතා කරපු අන්තිම දවස වුණේ. චන්දික මල්ලි අක්කාව හරියට පරිස්සම් කළා. ඇයට විසබීජ යන්න හොඳ නැති නිසා ගෙදර වෙනමම කාමරයක් අක්කා වෙනුවෙන් වෙන් කරලා ඒකෙ රෝහලක තියෙන සුව පහසු ඇඳන් සවි කරලා, වායු සමීකරණ සවි කරලා, සම්පූර්ණයෙන්ම රෝහල් සුපිරි කාමරයක් වගේ හැදුවා. චන්දික මල්ලි අක්කාව මලක් වගේ බලා ගත්තා. නිලූකා, අක්කාව පුදුම විදියට පරිස්සම් කළා. හැබැයි මේ රටේ අක්කාගේ හිත රිද්දවපු මිනිස්සු හිටියා. සමහර සිදුවීම් නිසා අක්කා ගොඩක් හිතින් වැටුණා. සමහර වෙලාවට මාලිනී අක්කා එයාගේ හිත රිදවපු අයට පවා උදව් කරලා තියෙනවා. ඇය නැති වෙද්දී කාටවත් ළඟ ඉන්න බැරි වුණා. හැබැයි ඇය ළඟ දහවල් කාලයේදී බොහෝ දෙනා හිටියා. පාන්දර මට ඇගේ වියෝව ගැන පණිවුඩය ලැබුණා. ඒ මොහොතේ එක පෙළට මට ඒ අතීතය මතක් වුණා. ඉස්සෙල්ලාම මම දැකපු මාලිනී අක්කා සහ අවසාන වතාවට මම දැකපු මාලිනී අක්කා මට මැවිලා පෙනුණා. ඇය වගේ කෙනෙක්ව ඇසුරු කරන්න, ඒ ආශිර්වාදය ලබන්න මම වාසනාවන්ත වුණා. කිසිම කෙනෙක් මාලිනී අක්කාට සම කරන්න බැහැ. ඇය වෙනුවෙන් ආදේශ කරන්න කිසිම කෙනෙක් නැහැ. ඇය වගේ නිළියක් මේ සිංහල සිනමාවේ ආයෙත් පහළ වෙන්නෙත් නැහැ.

• දිශානි ජයමාලි