උදම් නොවූ සුදම් රැජන නික්ම ගොසිණි. හෙළ සිනමාවේ නිළි රැජන නම් විරුදාවලිය හිස මත රුවා උදම් නොවූ ඈ සහෘද කලාකරුවන් වෙත සේම සිය රසික රසිකාවියන් වෙතද බෙදූ ප්‍රේමය අපරිමිතය. රූපණය විෂයෙහි මාලිනියගේ ප්‍රතිභාව අගයනු රිසින් නේක විධ සම්මාන ඇය නමින් පිදිනි. එහෙත් මාලිනියගේ මානව ප්‍රේමය පිළිබඳ ඇගයුම් අල්පය. මේ සටහන මාලිනිය ලොව වෙත පතළ කළ අපරිමිත ප්‍රේමය නමිනි.
ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ නොබෙදුණු කිරුළක් මාලිනී ෆොන්සේකා නම් සොඳුරු සිතැත්තිය සතුය. නළු පෞරුෂයන් කිහිපයක් විසින් විටින් සිනමාවේ කිරුළ බෙදාගත් බව අපි දනිමු. එහෙත් ස්වර්ණමය ඊරාව පුරාවටම සිනමාවේ කිරුළු පළන් එකම රාජිනිය මාලිනිය විය. මෙම වකවානුවේ ඇය වටා එක්වූ සිවිල් බලය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීම පහසු නැත. අසිරිමත් රූපශ්රියකින් යුතු වූ සිනමාවේ රාජිනියට, මෙම කුඩා දිවයිනේ කළ නොහැක්කක් නොතිබෙන්නට ඇත. එහෙත් ඉඳුරාම රංග කාර්යය පමණක්ම සිදු කළ ඇය වෙනත් මගක් තෝරා නොගත්තාය.
එහෙත් ඇය කිරුළු පැළඳ සිටි එම යුගයේ සිනමාව ඔස්සේ ලද ජනප්‍රියත්වය දේශපාලනික, ආර්ථික, සාමාජීය ආයෝජනයක් බවට පත්කර ගැනීමට බොහෝ දෙනෙක් උත්සුක වූහ. එවන් වටපිටාවක් තුළින් දේශපාලනය මෙන්ම වාසි තකා කෙරෙන වෙනත් ප්‍රයෝගයන්ගෙන්ද වෙන් වී සිටීමට මාලිනී දැරූ තැත වෙසෙසින්ම අගය කළ යුතුය. දේශපාලනික මතවාද, අදහස් නොතිබෙන කෙනෙකු නොමැති තරම්ය. ඇතැම් තැන්හිදී මෙවන් ප්‍රතිරූපයක් සහිත අයකුට පූර්ණ වශයෙන් දේශපාලනයෙන් වියුක්තව සිටීමට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. එහෙත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි 70-80 දශකවලදී මාලිනිය සිය දේශපාලන අභිලාෂයන් ප්‍රකට කිරීමට ඉදිරිපත් නොවීය.
සැබවින්ම මාලිනියගේ දේශපාලනික ආගමනය සිදු වූයේ, ඉතා මෑත අතීතයේදීය. ඒ 2010 වසරේය. එම ආගමනය තුළ ද අසීමාන්තික දේශපාලනික පෙනී සිටීමක් හෝ සිය ජනප්‍රියත්වය දේශපාලනය උදෙසා භාවිත කිරීමක් ඇය කෙරෙන් ප්‍රකට නොවුණි. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇයට අවස්ථාව ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් බව සිහිපත් කළ යුතුය. එය ද දේශපාලනික තිළිණයක් නොව, ගෞරවයක් වශයෙන් ලබා දුන් පත්වීමක් බව සඳහන් කිරීම වරදක් නොවෙයි.
හෙළ සිනමාවේ නිළියන්ගේ ඇතැම් භාවිතයන් පිළිබඳව පොදු සමාජ ආකල්පය එතරම් යහපත් නොවෙයි. ක්ෂේත්රය තුළ ඊර්ෂ්‍යාව, කුහකත්වය ප්‍රකට කළ චරිත මෙන්ම, සිය සහෘද කලාකරුවන්ට මෙන්ම රසිකයන්ටද ගරු නොකළ උදම් වූ චරිත ද අපමණ සිටියහ. එහෙත් එවන් උදම් බවක් කිසි දිනක මාලිනිය වෙතින් ප්‍රකට නොවුණි. රිදී තිරය මත පමණක් නොව, සැබෑ ලෝකයේද ලොව ඇති සුන්දරම සිනහවෙන් ඇය ලොව සනසාලීය. බොහෝ විට ඇගේ වදන් සන්සුන් ප්‍රේමණීය හැඩයක් ගත්තේය. කිසිවකු රිදවනු රිසි නොවූ ඈ රිදුණු බිඳුණු සිත් සුවපත් කරන්නියක් වූවාය.
සිනමා ක්ෂේත්රයේ සහෘද කලාකරුවන්ගේ දෙනෙත් මත රැඳුණු කඳුළු කැට ඇය සමුගත් දිනයේ ඇගේ ප්‍රේමණීය බවට සාක්ෂියක් විය. ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව කරමින් නවකයන්ට දිරි දෙමින් සිංහල සිනමාව තුළ ඇය ප්‍රකට කර තිබුණේ මව් ගුණයයි. කිසි විටෙක උඩඟු බවින් තොරව සියල්ලන් කෙරෙහිම අපරිමිත සෙනෙහසකින් ඇය කටයුතු කළ බව කීමට, ශ්‍රී ලාංකික කලාවේ කලාකරුවෝ කලාකාරියෝ සිය ගණනක් ඉදිරිපත් වූහ. කිසි විටෙක කිසිවකුගේ හිත රිදවනු නොරිසි වූ ඇය, වදනින් සිත් සුවපත් කරන්නියක්ම වූවාය.
මුල් යුගයේ සිනමා නිර්මාණයක් අතරතුර අනෝජා වීරසිංහ මුහුණ පෑ සිදුවීමක් පිළිබඳ ඇය කී කතාවක්, ඊට කදිම නිදසුනක් ලෙස උපුටා දැක්විය හැකිය.
“මාලිනී අක්කාට තිබුණු ගෞරවයටයි බයටයි මට ඒ වචන කියවුණේ අධි රංගනයකුත් එක්ක. කැමරාව පිටුපස හිටපු හැමෝටම බකස් ගාලා හිනා ගියා. මට ලැජ්ජාවේ බැහැ. හැබැයි මාලිනී අක්කා විතරක් හිනා වුණේ නැහැ. ඇය මාව පැත්තකට එක්කගෙන ගියා.
වේදිකා නාට්‍ය කරලා තියෙනවාද?
ඇය මගේ අතින් අල්ලලා ඇහුවා.
ඔව්.
වේදිකා නාට්‍ය වගේ නොවේ. කැමරාව ඉස්සරහ සියුම්ව රඟපාන්න ඕනෑ.
එහෙම කියූ ඇය මට දෙබස් කියන්න ඕනෑ විදිහ පවා කිව්වා. එහෙම බලනකොට ඇය තමා මගේ පළමු ගුරුවරිය. බැරි වෙලාවත් මාලිනී අක්කා මට වරදිද්දී හිනා වුණානම් අනෝජා වීරසිංහ කියන නිළිය අද නැහැ.”
මේ සැබවින්ම එක් සිදුවීමක් පමණි. සිනමාව හා සබැඳි චරිත රැසක් ඇය පිළිබඳ මෙවන් සිදුවීම් අපමණ සඳහන් කර තිබේ. ඇය කෙරෙන් පතළ නිහතමානීත්වය, කරුණාව, ආදරය, සිය සිනමා ජීවිතයේ සාර්ථකත්වයට හේතු වූ බව කියන නළු නිළියන් බොහෝය.
නිළි රැජනකට දෛවය විසින්ම පමුණුවන රිදවුම් මාලිනිය දරා සිටි බව අමුතුවෙන් නොකිව මනාය. අසීමාන්තික ප්‍රේමයකට උරුමකම් කී ඇය, ඇය සෙවූ ප්‍රේමයට උරුමකම් කීවාද යන්න දන්නේ ඇයම පමණි. එහෙත් සිනමාවේ කඳුළු මුතු ලෙසින් දුටු ලොවට එම තතු සදාතනික රහසක් විය.
වරක් ප්‍රකට සිනමා අධ්යක්ෂවරයෙක් මෙන්ම කැමරා ශිල්පියෙක් වූ විලියම් හොලම්ස් මෙවන් කතාවක් පවසා තිබුණි.
“මාලිනීත් එයාගෙ දේශපාලන ගමනට කැමැත්තක් දැක්වූයේ නෑ. මාලිනී දන්නවා විජය වගේ හිත හොඳ මිනිහෙක්ට මේ ජරා දේශපාලනයෙදි වරදක් වන බව. සමහර විට විජය මාලිනීව විවාහ කරගත්තා නම් කවදාවත් විජය ඔය විදිහට අකාලේ මැරෙන්නෙ නෑ. දේශපාලන ගමන නිසා අපට විජය නැති වුණා.”
එහෙත් ඇය නික්ම ගිය පසු, ඇගේ දිවිසැරිය දෙස බලා හිඳින්නෙක්ට පිහි තුඩු මත ඇවිද ඇගේ හැඟුමන් අල්පමාත්රයක් හෝ අවබෝධ කරගත හැකිය. කතා කරන මේ ප්‍රේමය පිළිබඳ වරක් ඈ කී කතාවකින් එහි සියුම් රිදුමන් පිළිබඳ අවබෝධයක් අප හට ලැබේ.
“ඒත් අපි දෙන්නා අතර සිද්ධ වුණු පෞද්ගලික සිද්ධි මට කවදාවත් එළිපිට කතා කරන්න බෑනෙ. විජය අද ජීවතුන් අතර නෑ. ඒ නිසා මම ඒ කාලේත් ඔය ගැන මාධ්‍යයට කියන්න කැමති වුණේ නෑ. අනික විජයට ආදරය කරන දස දහස් ගණනක් අදත් ඉන්නවා. විජය මට නොගැලපුණාට ඒ දස දහස් ගණනක විජයගේ රසිකයන්ට ඒක අදාළ වෙන්නේ නෑනෙ. මම යමක් කිව්වොත් ඒක පැහැදිලි කරන්න විජයට අවස්ථාවකුත් නෑ. ඒ ඔහු අද නැති නිසා. ඒ නිසා මම ඒ ගැන කතා කරන එක විජයට කරන අසාධාරණයක්.”
සිංහල සිනමාවේ නිළි රැජන මිනිස්සුන්ට පමණක් නොව සතුන්ටද අපරිමිත සෙනෙහසක් දැක්වූවාය. ඒ අතරින් පූසන් ඇයගේ ප්‍රියතමයෝ වූහ. ඇය සුරතලුන් සමඟ ඇගේ ජීවිතයේ තනිකම මකා ගනිමින් සුන්දර සැඳෑ සමයක් ගත කර තිබුණි.
මාලිනිය විසල් පවුලකට උරුමකම් කී තැනැත්තියකි. එහෙත් කිසි දිනක පවුල තුළ ඇය රැජනක් මෙන් කටයුතු නොකළාය. මාලිනියගේ නිසල සිරුර චිතකය වෙත රැගෙන යන මොහොතේ ඇගේ ඥාති දියණිය වූ සමනලිය කී කතාව ඊට සාක්ෂි සපයයි.
“නැන්දා කිසිම දවසක ගෙදර සාලෙ ඇවිල්ලා නතරවෙන කෙනෙක් වුණේ නෑ. ඇය කුස්සිය දක්වාම ගියා...” සිය පවුල වෙනුවෙන් කළ හැකි උපරිමය කරන්නට මාලිනිය උත්සාහ ගත් බව ඇය නික්ම යන දා කියැවිණි. මාලිනිය සිංහල සිනමාවේ නිළි රැජන වීමම එමම පවුලට ගෞරවය මෙන්ම වාසනාව ද රැගෙන ආවේය.
මාලිනිය දිවි අඹරට සමුදී නික්ම ගියද, තිරය මත ඇය තවමත් ජීවමානය. සිංහල සිනමාව පවතින තාක් කල් මාලිනී ෆොන්සේකා නම් නිළි රැජනට හිමි කිරුල, වෙනත් නිළියකගේ හිස රඳවන්නට පහසු නොවනු ඇත. මන්ද ඒ තරම්ම ඇය රූපණය විෂයේ මෙන්ම, මිනිසුන් අතර ද ගොඩනගා ඇත්තේ ප්‍රේමණීය අධිරාජ්‍යයකි.
• චමිඳු නිසල්