මතකය කොතරම් සොඳුරුද හිතවත...
ලූෂන් බුලත්සිංහලගේ මතක මා අසය. දවාහළු කළ නොහැකි ඒ මතක සුවිසැරිය සරා සක්මන අමුතුම චමත්කාරයකි. චමත්කාරය යනු සියලු සෞන්දර්යයන්ගේ හරය එක්වූ තෝතැන්න වී නම් මහා අපූර්ව වූ රසාස්වාදයක මා ගිල්ල වූ ඒ මතක සරාගය ද ළය ලෙයෙහි සංවේදීම ස්වර තන්තු පවා සොඳුරු ප්රකම්පනයකින් කළඹවාලයි.
අහන්න...
ජීවිතයට පසුවදනක් මිස පෙරවදනක් ලියා තැබිය හැකිදැයි මම තවම නොදන්නෙමි. එක්කෝ ඒ වග මම තවමත් උගනිමින් සිටින්නෙමි.
“යකෝ මිනිහෙක් තමන්ගෙ ජීවිත කතාව ලියන්නේ ඒ මිනිහට වෙන ලියන්න කිසිම දෙයක් නැතිවුණාම විතරයි.”
මා නොදන්නා අතීතයේ එක්තරා දවසක ලූෂන් බුලත්සිංහලට එසේ කියා තිබුණේ ඔහුගේ හිතවතෙකි. ඉතින් දැන් ලූෂන් මතක ලියා අවසන්ය. ඇයි ලූෂන් මතක ලියුවේ ලියන්න වෙන කිසිම දෙයක් එයාට දැන් නැති හින්දද... කවුරුන් හෝ එසේ ඇසුවත් මටනම් සිතෙන්නේම උල්පත් කිසිදා නොසිඳෙන වග පමණි. මතුපිටින් පෙනෙන්නට සිඳී ගියත් රහසේම වෑහෙන දිය බිංදුවක් හෝ උල්පත් හැර නොයන වග මම විශ්වාස කරමි. එහෙත් හිස්තැන් තනිකම් සහ තනිවීම් මිනිසුන් අමුතු නිදහස් මිනිසුන් බවට පරිවර්තනය කරද්දී තනිවීම් තුළ තනිවීමම මිස හිස්තැන් තුළ හිස්තැන්ම මිස අන් කිසිවක් නොසොයන මිනිසුන් දාර්ශනික වෙසින් ලෝකය කියවමින් හිඳින වග මම විශ්වාස කරමි. එනයින් ලූෂන්ට ලියන්නට කිසිවක්ම නොවුණු තැන දවාහළු කළ නොහැකි මතක සමඟ ඔව් ආදරණීයම ප්‍රේමණීයම හුස්මක් ගනිමින් තත්ත්පර අසංඛ්යක ජීවන ආදරවේදයක රිදුණු සැනසුණු තැන් සියල්ල පිරිසිඳ අකුරු තුළට වත් කරන්නට ඇතැයි මට සිතේ.
සෙත් කවක් වී ගැයෙනු පිණිසම ජීවිතය සුභාවිතයක් කරගත් මිනිසුන්ට ජීවිතයත් ලෝකයත් පෙනෙන්නේ නවමු අමුතු සහ අරුම දිශානතීන් ඔස්සේ යැයි මට සිතේ. ලූෂන්ගේ මතක පුරාණය නිහඬවම සාක්ෂි සපයන්නේද එවන් හෘද සාක්ෂියක් සහිත මිනිසකු පිළිබඳවය.
එතරම්ම අවංකව, එතරම්ම නිර්ලෝභීව, එතරම්ම හෘද සාක්ෂියට අවනතව ජීවන යටගියාවේ මතක සමුදායන් අකුරු කරන්නට හැකි තැනක හිත කොයිතරම් නිදහස් දැයි මම හඟිමි.
මතක මට තිළිණ වන්නේ මගේ ආදරණීයම මිත්‍රයෙකු නිසාය. සැබවින්ම හඳුනන තරමටම නාඳුනන මගේ ආදරණීයකු වූ ලූෂන් බුලත්සිංහල රසවතාණන් මා හඳුනන තරමටම හඳුනාගන්නේ මට මගේ ජීවිතයේ හමු වූ තවත් එක් සොඳුරුතම මිත්‍රයකු නිසාය. කලාව හා ආත්මීය ආලයකින් බැඳුණු මා කැමතිම ඒ මිත්‍රයා සමන් අලංකාරය.
ඉතින් මතක මා අතට පත් වූ එක්තරා හැන්දෑවක මට මතක අත්හරින්නට නොසිතුණෙන් රැය ගෙවී පහන් වන ඇසිල්ලේ මම මතක අතර සැරිසැරීම අහවර කළෙමි.
ගැහැනියකට පමණක් නොව තම ජීවිතය හා බැඳුණු ආදරණීයයන් වෙත පමණක් නොව තමන්ට ආදරයෙන් මෙන්ම අනාදරයෙන්ද බැඳුණු සමස්ත මානව සංහතිය විෂයෙහි ආදරවන්තයකු ආලවන්තයකු හා ප්‍රේමවන්තයකු විය හැකිනම් මිනිසකුට, ඒ හදවත තුළ ගැල්වී ඇත්තේ දිව්‍යමය ප්‍රේමයම මිස අන් කවරක් දැයි මට සිතේ. මතක පිටු අතර මට හමුවන ලූෂන් යනු ඇත්තටම අමුතුම මිනිසෙකි. අමුතු පිරිමි පපුවක් සන්තක අමුතු පිරිමියෙකි.
ඒ අමුතු පිරිමි පපුව තුළ ජීවත් නොවුණේ කවුරුන්දැයි මම මේ මොහොතේත් ඔව් මේ මොහොතේත් සිතමින් සිටිමි. අපිරිමිත කලාවේදියකුගේ වටිනාකම දකින්නට කියවන්නට සහ රැකගන්නට හැකි රටක ලූෂන් ඉපදුණානම් කලාවේදියකු ලෙස භූමිකාවන් රැසක අප්‍රමාණ ප්‍රතිභාවක් පෑ ඒ අමුතු මිනිසා අද සිටින්නේ කොතැනකදැයි මට සිතාගන්නටවත් නොහැකිය. ඒ අප්රමාණිකයා කලාව වෙනුවෙන් කරන්නට තිබූ මෙහෙවරේ වපසරිය මට මෙතෙකැයි මෙපමණකැයි නිර්ණය කළ නොහැකි තරම්ය. ඒත් කුමක්දෝ අවාසනාවකට ඒ සොඳුරුතමයා ඉපදී තිබුණේ කලාවට ඔච්චම් කරන ප්‍රතිභාපූර්ණ අමුතු මිනිසුන්ට සරදම් කරන උන් අඩුවක් නැතුව වෙසෙන මුඩු පොළොවකය. අහෝ එය එසේ නොවීනම් රතු හැට්ටකාරි, පිපුණු මලේ රුව, කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය, මිනිසා බලා සිටියි, පීනාවී රන් මාලු, සෙවණැලි නොමැකේනම්, සිංහල ඔපෙරා, වෙස්මූණ ගලවන්න, එළිසෙබත්, ළිං මැඬි, මන්නඩියා, නොනිවෙන ගිනි, තාරාවෝ ඉගිලෙති, පාරාදීසේ පාරක් නෑ, සෝමාගේ සිහිනය, එක මවකගේ දරුවෝ, තාරා දේවි, පලා යෑම, සිඟිති කඳුළු, කෝන්තරේ, ගම්මැද්දේ රබන් සුරල්, භවතු සබ්බ මංගලම්, අකුරට යන වෙලාවේ, යතුරු ලේඛිකාවක්, උතුරු සුළඟ, සමන්තා, කාහල නාදය, මැඩෝනා වත ආදී ලූෂන් නිර්මාණකරණයෙහි නාමාවලිය මට සිතාගන්නටවත් බැරි අනන්ත දුරකට විහිදී යනු ඇත. එහෙත් අහේතුකව තහනම් තහංචි මැද
වෙරක “සිරගත” කරන ලද ලූෂන් බුලත්සිංහල නම් සංවාදී චින්තන යාත්‍රිකයා සම්මුති මරණයට පෙර මරා දමන්නට තැත් දැරූ අමනයන් නොසිටින්නට අසීමාන්තික රස සාර නිර්මාණ නිම්නයක අද අපත් සරනු ඇත.
පරිච්ඡේද අනූ තුනකින් සංයුක්ත මතක ඇරඹුම සනිටුහන් වන්නේ ජීවන අරගලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි යන පරිච්ඡේදයෙනි. මතක නිමා වන්නේ සැනසුම් සත් සතියෙනි. ජීවිතයේ අනේක සැනසුම්, අනේක රිදුම්, අනේක ප්‍රතික්ෂේප වීම් හිමිවීම් සහ අහිමිවීම් සියල්ල අතරෙහි ජීවිතයටම පෙම් බඳින, ජීවිතය අක්ෂරයෙන් අක්ෂරය කියවා ගන්නට යත්න දැරූ කිසිදු මොහොතක ආධ්‍යාත්මිකව නිර්ධනයෙක් නොවුණ එහෙත් කරුමයට නොව මෙවන් පොළොවක ඉපදුණු අහේතුවට භෞතිකව නිර්ධනයෙක් වුණු මිනිසකුගේ හෘද සාක්ෂියක් ඒ මහා පුස්තකයේ පරිච්ඡේද අනූ තුනක් පුරා මට හමුවිය.
ජීවිතය සහ ආදරය කිසිදා නිර්වචනය කළ නොහැකි සත්තාවන් වග මම විශ්වාස කරමි. එනු පිණිස සිහිලැල් පවන් සහ චණ්ඩ මාරුත ජීවිතයේ ද්වාරයන් හැර දැමූ ධෛර්යවන්තයන්ගේ සොහොන් කොත් පවා දිනෙක ලෝකයට මහා පුස්තක බවට පරිවර්තනය වන වග මම විශ්වාස කරමි. මරණය කිසිදා විශ්වාස නොකරන මම භෞතිකව සිරුර හැර යන මේ සංසාර සැරිසැරීමට නමක් තවමත් සොයමින් සිටිමි. අරුත් පසිඳිය නොහැකි, නිර්වචනය කළ නොහැකි ලෝකයේ පවත්නා බොහෝ දේ අතර නිරන්තර සැරිසරන මිනිසකුට ජීවිතය සහ ලෝකය යනු කිසිදා අධ්‍යනය කර ගවේෂණය කර සමාප්ත කළ නොහැකි අනන්තයක්ම පමණි.
ජීවිත සංචාරය මතක කන්දරාවකින් පුරවාගෙන සසර සඳගිර ඇවිද යන හැම මාවත්හිම සුවඳ මල් නොපිපුණත් රිදෙන යටිපතුල්, උල් ඇනී ලේ ගලන යටිපතුල් දරාගෙන දිලිසෙන දෙපයින් මේ මහ පොළොව තුළ ඇවිද යන මිනිසුන් විරල ලෝකයක
ලූෂන් බුලත්සිංහල...
ඔබ කවුදැයි කියන්නට, ඔබ කවුදැයි කියවන්නට, ඔබ කවුදැයි නිර්වචනය කරන්නට මම තවමත් නොදන්නෙමි. එසේ නොමැති නම් මම තවමත් උගනිමින් සිටිමි.
මා දන්නා එකම දෙය
කියන්නට බොහෝ දේ මිස
අසන්නට කිසිම දෙයක් මට ඔබෙන් නැති වග පමණි... ඉතින්
හිතවතාණෙනි....
රසවතාණෙනි...
සුලවතාණෙනි...
අනාරාධිතවම ඔය සුන්දර පිරිමි පපුවට මම ගැහැනියක වෙසින් නොව මනුසත් කුලයේ මනුෂ්‍ය අනුවක් ලෙසින් ආදරය කරමින් සිටිමි... ඔව් මේ තත්ත්පරයේත් කිසිවක්ම ආපසු නොඉල්ලමින් නිර්ලෝභීවම මම ඔබට ආදරය කරමින් සිටිමි.
• සංජීවිකා සමරතුංග