2025 මැයි 24 වන සෙනසුරාදා

ලූෂන් අයියා කෙනෙක්ට කිට්ටුවෙන්නෙ ගති පැවතුම් හඳුනා ගත්තට පස්සෙ....

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

ලූෂන් බුලත්සිංහල හා මිත්‍රත්වය ඇතිවුණේ කොහොමද?

මම 70 වැනි දශකයේ ළමා පිටියේ ළමා ශිල්පිනියක් විදියට ගුවන්විදුලියට යනකොට ලූෂන් අයියව දැකගන්න ලැබුණා. ඒ වෙද්දි එතුමා ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයෙක්, නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කළා. නමුත් ලූෂන් අයියා හා මිත්‍රත්වයක් ගොඩනැගෙන්නේ අබේ (අබේවර්ධන බාලසූරිය) මාර්ගයෙන්. 1982 වසරේදී රූපවාහිනිය අපේ රටට ආවත් එක්කම මුල්ම සාමාජිකයන් දහ දෙනා අතරට අබේ රූපවාහිනියට ඇතුළත් වුණා. ලූෂන් අයියත් රූපවාහිනියට සම්බන්ධ වුණා. ඉතින් රූපවාහිනියට සම්බන්ධ වුණාට පස්සේ ඔවුන් තුළ තිබුණු මිත්‍රත්වය වැඩි වුණා. ඒ මාර්ගයෙන් මගේ මිත්‍රත්වයත් වැඩි වුණා. ඉතින් 70 වැනි දශකයේ දැන හඳුනාගෙන සිටියාට 80 දශකයේදී තමයි ඒ මිත්‍රත්වය වැඩි වුණේ. ලූෂන් අයියාගේ නිර්මාණ අබේ “නන්දන වින්දන”‍ වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කළා. ලූෂන් අයියගේ බිරිඳ, අනුලා අක්කා (අනුලා බුලත්සිංහල) සහ ජැක්සන් ඇන්තනීගේ නාට්‍ය කොටස් නන්දන වින්දන තුළින් ඉදිරිපත් කළා. ඒ ඔස්සේ ඒ මිත්‍රත්වය කිට්ටු සම්බන්ධයක් දක්වා වැඩි වුණා.

මිත්‍රයෙක් විදිහට ඔහුව දැනෙන්නේ කොහොමද?

ලූෂන් අයියා මිතුරු ඇසුර පවත්වන්නේ හුඟාක් අයව හඳුනාගෙනයි. කෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබුණට පස්සේ ඔහු ඒ ගති පැවතුම් හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන තමයි ලූෂන් අයියා ඒ අයට කිට්ටු වෙන්නෙ. යාළුවො ගොඩක් අය ඉන්නවා කියලනම් මම දන්නේ නැහැ. නමුත් ඒ කාලේ ගුවන්විදුලියේ, රූපවාහිනියේ වැඩ කරන කාලේ ඔහු හා පිරිසක් හිටියා. ඒ අතරින් මට හිතෙන විදියට ඔහුත් සමඟ ඉතාම කිට්ටු ඇසුරක් පවත්වපු කිහිප දෙනෙක් හිටියා. අබේ එයින් එක්කෙනෙක්. අබේට ලූෂන් අයියා “කොල්ලෝ”‍ කියලා කතා කරන්න පුළුවන් තරමට කිට්ටු වුණා. ඒ තරම් සමීප ඇසුරක් අබේත් ලූෂන් අයියත් අතර තිබුණා. ඒ ඔස්සේ ඔහු අබේට බොහෝ ගීත රචනා කරලා දුන්නා.

ලූෂන් බුලත්සිංහල තුළ ඔබ දකින කැමතිම ගුණාංග මොනවාද?

ලූෂන් අයියා කෙළින් කතා කරන මනුස්සයෙක්. ඔහුට ඍජු ගති පැවතුම් තිබුණා. අබේ වගේම ලූෂන් අයියත් වාසියට නැමෙන කෙනෙක් නෙවෙයි. ඔහුගේ ගති පැවතුම් ඔහු ඉදිරියට අරගෙන ගියා. හරි සංයමයකින් හැම දෙයක්ම කරන කෙනෙක්. ඔහු තුළ තැන්පත් ගති පැවතුම් මම දකිනවා. බොහෝ ඇසූ පිරූ කෙනෙක් හැටියට මම ඔහුව දකිනවා. ඔහු තුළ තියෙන සාහිත්‍යමය දැනුම අති විශාලයි. ඔහු හරියට පුස්තකාලයක් වගෙයි. ඒ තරමට ඔහුගේ සාහිත්‍යමය දැනුම විශාලයි. ඔහුගේ උගත්කමට, නිරහංකාරකමට හා ඍජු ගති පැවතුම්වලට මම ගොඩක් ප්‍රිය කළා.

ඔහු රචනා කළ ගීතවලින් ආසම ගීත මොනවද? ඒවාට කැමති වෙන්න හේතු මොනවද?

මගෙයි අබේගෙයි ගීත ලැයිස්තුවෙන් ගීත දහයක් පහළොවක් පමණ ලූෂන් ලියලා තියෙනවා. ඒවායින් එතුමා මට රචනා කළ,

“මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ”
ගීතයට මම ගොඩක් කැමතියි. ඒ වගේම,
“මිණි මිණි පොදේ ළා  අඳුරේ
තෙමි තෙමි ගිය දා
ඉඳහිට අදත් සිහි වෙනවා
සිරිපොද දැකලා”
ගීතය ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඒ ගීතයේ තිබුණු සාහිත්‍යමය වටිනාකමයි. ඒ වගේම අබේට ලියපු,
“සැරසිලි ගොක්කුල පෝරුව අයිනේ
පයට හැපී පුන්කලස බිඳිලා
පණිවිඩයක් ඇවිදින් මඟුල් දා
දෙබරෙට ගැසුවා සේ”
ගීතයත් ඒ කාලේ හරියට ජනප්‍රිය වුණා. කපුගේ අයියාගේ සහ ලූෂන් අයියාගේ සුසංයෝගයෙන් බිහි වූ ඉතාම ලස්සන ප්‍රේම ගීත අපේ ගීත කලාවට දායාද කරලා තියෙනවා. මාලනී අක්කා (මාලනී බුලත්සිංහල) සහ කපුගේ අයියා (ගුණදාස කපුගේ) ගායනා කරන
“දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි”
ගීතය එදා වගේම අදටත් හරි ජනප්‍රිය ගීතයක්.

මතක පොත ලියද්දී ලූෂන්ට ලොකු සහයෝගයක් දුන්න කෙනෙක් නේද ඔබ... ඒ පොත කියවද්දී දැනුණු හැඟීම කොහොමද?

ඒක ටික කලකට උඩදී ලියවුණු නිර්මාණයක්. මට ඔහුව සුභාවිත ගීතයට අගනා මෙහෙවරක් කළ කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔහු ගීත රචකයෙක්, කවියෙක්, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්, නළුවෙක්. මේ හැම භූමිකාවක්ම ඔහු අපූරුවට ස්පර්ශ කළා. ඒ හැම දෙයක්ම අභිබවා සුභාවිත ගීතයට ඔහු කළ මෙහෙවර අපූරුයි. ලූෂන් අයියටම ආවේණික වූ, අනන්‍ය වූ ශෛලියක් තිබුණා. ඔහු නිර්මාණශීලී පද රචනා කරන නිර්මාණවේදියෙක්. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, ජීවිතය දෙස බලන උපේක්ෂාව, ඒ ශාන්ත රිද්මය ඔහුගේ ජීවිතය තුළිනුත්, ඔහුගේ නිර්මාණ තුළිනුත් අපිට ඉස්මතුවෙලා පෙනෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වය ගැන ඔහු ගොඩක් ගීත ලියලා තියෙනවා.

ඔහුට, ඔහුගේ නිර්මාණවලට මේ රටෙන් නිසි ඇගයීමක්, වටිනාකමක් හිමිවූ බව ඔබ විශ්වාස කරනවද?

ඔහු නාට්‍ය නිෂ්පාදකවරයෙක් හැටියට බොහෝ දුරක් ගියා. ඔහුගේ නාට්‍ය අදටත් වේදිකාගත වෙනවා. නාට්‍ය නිෂ්පාදකවරයෙක් විදියට ඔහුව ඇගයීමට ලක්වුවත් ගීත රචනා පැත්තෙන් ඒ ලැබුණු ඇගයීම අඩුයි කියලයි මට හිතෙන්නෙ. ඔහු තුළ තියෙන සාහිත්‍යමය වටිනාකම මීට වඩා අපේ රසිකයන්ට මතක් කර දිය යුතු කියලයි මටනම් හිතෙන්නෙ. ගීතය ඉස්මතු වුණාට ඒ ගීතයේ පද රචකයා හා සංගීතඥයා ගැන බොහෝ විට සඳහන් කරන්නේ නැහැ. ඔහු අති ජනප්‍රිය ගීත රචනා තියෙනවා. ඔහු බොහෝ විට සැබෑ අත්දැකීම් පදනම් කරගෙන ගීත ලියුවා. නමුත් ඒ ගීත රචකයෙක් විදිහට ඔහුට නිසි ඇගයීමක් හිමිවෙලා නැහැ කියලයි මට හිතෙන්නෙ.

• දිශානි ජයමාලි