හේෂාන්... මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනා කරන, ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන “මා” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ගිය අවුරුද්දේ අග භාගයේදී මම ඩුබායි රටේ ඉඳිද්දී ඉරේෂ් ලොකුබණ්ඩාර මහතාගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. ඒ මට ඔවුන් විසින් නිර්මාණය කරන අලුත් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා අහලයි. ඒ ටෙලිනාට්‍ය තිර රචනා කළේ මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතායි. ඔහු තමයි මගේ ගැන අධ්‍යක්ෂවරයාට කියලා තිබුණේ. මීට පෙර මහේෂ් මහතා ලියූ මම රඟපෑ “සිහින” චරිතයටත් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසා මෙවරත් ලැබෙන චරිතය ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම ඉරේෂ් ලොකුබණ්ඩාර කියන අධ්‍යක්ෂවරයා ගැනත් මට ලොකු පැහැදීමක් තිබුණා. ඔහු එක තැන නොරැඳී, අලුත් මාවත් සොයාගෙන යන තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිෂ්පාදක නිශාන්ත ප්‍රදීප් මහතාවත් මතක් කළ යුතුමයි. මගේ චරිතය බාරගන්න තිර රචක, අධ්‍යක්ෂ සහ නිෂ්පාදක යන තුන්දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.
“මා” ටෙලිනාට්‍යයේ ඔබ චරිත දෙකක් රඟපානවා. මේක අභියෝගයක් නේද?
ඔව්... ඇත්තටම ඒක අභියෝගයක් තමයි. මම ඒකට කැමතියි. මේ ටෙලිනාට්‍යයේ මම රඟපාන තේජාන් සහ මිනෙත් කියන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒ නිසා ඒ අභියෝගය මම කොහොම බාරගත්තාද කියලා බලන්න ප්‍රේක්ෂකයන්ට බාර කරනවා.
නිරන්තරයෙන් නිර්මාණවලට දායක නොවෙන්න හේතුව මොකක්ද?
නිර්මාණයක් බාරගනිද්දී මම ඒ නිර්මාණයේ ප්‍රමිතිය ගැන වැඩිපුර හිතනවා. ඒ වගේම මම වැඩ කරද්දි මම කරන පිළිවෙත් ටිකක් තියෙනවා. මේක වැරදියට හිතන්න එපා. සමහරු හිතයි මෙහෙම කියද්දී මම මුදල් ගැන වැඩිපුර හිතනවා කියලා. නිර්මාණයක් කරද්දි ඒක ‘ටීම් වර්ක්’ එකක්. ඒ වගේම වෙලාවට වැඩ කිරීම, විනය, කැපවීම, වෘත්තිමයභාවය රැක ගැනීම, මේ හැම දෙයක්ම නිර්මාණයක් තුළ තියෙන්න ඕනෑ. ඒ හැමදේම මම නිර්මාණයකදී නිෂ්පාදන කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ප්‍රතිපත්ති තියෙන නිර්මාණ විතරයි මම බාරගන්නෙ. මේ ක්ෂේත්‍රය රැකගත යුත්තේ අපිමයි. මේ දේවල් මම සලකා බලන්නේ මට විතරක් ප්‍රතිඵල භුක්ති විඳින්න නෙවෙයි. කලාකරුවෙක් විදිහට වෘත්තිමයභාවය ඉහළින්ම රැකෙන ක්ෂේත්‍රයක් විදිහට මේ ක්ෂේත්‍රය රැක ගැනීමට මටත් පොදු වගකීමක් තියෙනවා.
“මා” ටෙලිනාට්‍යයේ ඔබ රඟපාන චරිතය සහ ඒ ටෙලිනාට්‍ය ගැන ඔබගේ අදහස කියමු?
ජීවිතයේ පළමු වතාවටයි මම ද්විත්ව චරිතයක් රඟපාන නිර්මාණයක් බාරගත්තෙ. මගේ හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකි චරිත දෙකක් ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් දෙනා කියන දෙයක් තමයි “මේ තමයි ඔයාට ලැබිලා තියෙන හොඳම අවස්ථාව” කියලා. “මා” කියන්නෙ කුතුහලය උපරිමයෙන්ම තියෙන, එඩිතර චරිතවලින් සමන්විත, පළමු ප්‍රේමයේ මතකයන් එක්ක ආදරයේ සුන්දරත්වය දිගහැරෙන, ඊළඟ මොහොතේ මොනවද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයන්ට ලොකු කුතුහලයක් ඉතුරු කරන ලස්සන ටෙලිනාට්‍යයක්.
හේෂාන් පහුගිය දවස්වල දකින්න නොලැබුණේ අසනීප තත්ත්වයක් නිසා කියලයි ආරංචි වුණේ. දැන් කොහොමද?
ඔව්... ගිය වසරේ මුල් කාලයේදී ඇතිවුණු සයටිකා නම් රෝගී තත්ත්වය නිසා මම මාස පහක් පමණ ගොඩක් දුක් වින්දා. ඒ වේදනාකාරී තත්ත්වය නිසා මම නිර්මාණ කිසිම දෙයක් බාරගත්තේ නැහැ. දැන් නම් සුවයි.
නිර්මාණයකට දායක වෙද්දී හේෂාන් තෝරා බේරා ගැනීමක් සිදු කරනවද?
ඔව්... මම තේරීමක් කරනවා. ආරාධනා ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. මම එහෙම ලැබුණු ගොඩක් අවස්ථා අත්හැරියා. ඒකට හේතු වුණේ අර මම මුලින් සඳහන් කළා වගේ මට ඒවායේ කිසි ප්‍රමිතියක් නැහැ කියලා හැඟුණු නිසයි. අනිත් දේ තමයි මම ගොඩක් කාලය දුන්නේ නිරූපණ ක්ෂේත්‍රයට සහ සංචාරය කරන්න. ඒ නිසා මම තෝරා බේරා ගැනීමක් අනුව තමයි චරිතවලට දායක වෙන්නෙ.
නිර්මාණයකට දායක වෙද්දී ඒ චරිතය සම්බන්ධයෙන් පෙර සූදානමක් සිදු කරනවද?
අනිවාර්‌යෙන්ම කරනවා. මම වැඩක් බාරගත්තොත් ඒකට මගේ සියයට සියයක්ම දායකත්වය ලබා දෙනවා. ඒක මම කියනවට වඩා මම දායක වුණු නිර්මාණවල අධ්‍යක්ෂවරුන් හොඳින්ම දන්නවා. චරිතයක් බාරගත්තත් මම ඒ චරිතය ගැන ලොකු අධ්‍යනයක් කරනවා. සමාජයේ ඒ චරිතය හා ජීවත් වුණු මිනිසුන් ගැන සොයා බලනවා. පිටපත කිහිප වතාවක්ම කියවනවා. අධ්‍යක්ෂවරයා එක්ක, තිර රචක එක්ක කිහිප වතාවක්ම ඒ චරිතය ගැන කතා කළාට පස්සේ තමයි මම ඒ චරිතයට එකතු වෙන්නෙ.
“මා” ටෙලිනාට්‍ය නිසා අද ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දී මගේ චරිත ගැන අගය කරලා මට දුරකථන ඇමතුම් වගේම කෙටි පණිවුඩ ලැබෙනවා. යූටියුබ් එකේ යන කොටස්වලට ලැබෙන comments මම කියවනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මගේ අසනීප තත්ත්වයේදී මගේ ගැන හොයා බලපු, මට ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරපු ආදරණීය රසික රසිකාවියන්ට තෑග්ගක් තමයි මිනෙත් සහ තේජාන් කියන්නෙ.
සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ලැබුණා. සිරි දළදාගමනය චිත්‍රපටයේ දන්ත කුමරුගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටයේ නන්ද කුමරුගේ චරිතය රඟපාන්නත් අවස්ථාව ලැබුණා. සිරි දළදාගමනය චිත්‍රපටයෙන් පස්සේ එවැනි චරිත කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත් එක වගේ චරිත නිසා මම ඒවා බාරගත්තේ නැහැ.
දැකපු හීනයක් හැබෑවීමක්ද?
ඇත්තටම ඔව්. රංගනයට තිබුණු ආසාව නිසාම තමයි මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නිරූපණ ශිල්පියෙක් විදියට වැඩ කරගෙන යන අතරතුරේදී පුංචි කාලේ ඉඳන්ම මම ආසාවෙන් හිටපු විලාසිතා සහ විලාසිතා නිර්මාණ ශිල්පය පෙන්නන්න නිරූපණ ක්ෂේත්‍රය හොඳම තෝතැන්නක් කියලා මට තේරුණා. ඒ නිසා රංගන ශිල්පියාට වඩා නිරූපණ ශිල්පියාට මම ආදරය කරන්න පටන් ගත්තා. ඔය අතරෙදි රංගනයට වගේම නිවේදනයටත් මට අවස්ථාව ලැබුණා. හැබැයි අදටත් බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහටයි.
රංගනයට අමතරව ඔබ වෙනත් ව්‍යාපාරික කටයුත්තක නිරත වෙනවා නේද?
ඔව්... මගේ නමින් පවත්වාගෙන යන warning by HM ඇඟලුම් ව්‍යාපාරය ඔස්සේ මම ව්‍යාපාර ක්ෂේත්‍රයෙත් රැඳිලා ඉන්නවා.
මේ දිනවල පෙම්වතෙක් කියලයි ආරංචිය?
නෑ... ඒ ආරංචිය නම් වැරදියි. ප්‍රේමයකට දෙන්න තරම් කාලයක් මේ දවස්වල මට නැහැ. මේ දවස්වල මගේ වැඩි කාලයක් යොදලා තියෙන්නේ මගේ ව්‍යාපාරික කටයුතුවලට වගේම රංගන කටයුතුවලටයි. ප්‍රේමයේදී අනිත් කෙනාටත් කාලය සහ අවධානය ලබා දිය යුතු වෙනවා. වැඩ නිසා ඒක මගඟහැරෙනවා නම් ඒක ඇයට කරන අසාධාරණයක්.
හේෂාන්... ඉදිරි බලාපොරොත්තු මොනවාද?
රංගනය පැත්තෙන් ගත්තොත් මෝටර් බයිසිකල්, මෝටර් රථ ආශ්‍රිත ක්‍රියාදාම ඇතුළත් නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම වාණිජ ධාරාවේ ටෙලිනාට්‍යයක හෝ සිනමා පටයක පෙම්වතාගේ චරිතයකින් ඉදිරියට යන්නත් කැමැත්තෙන් ඉන්නවා. ලක්ෂ ගණනක හිත්වල ප්‍රේමණීය බව දැනෙන්න රඟපානවා කියන්නෙත් වෙනම කලාවක්. ඒක ලේසි නැහැ. හැමෝටම සාර්ථකව කරන්නත් බැහැ. ඇත්තටම ඒක අභියෝගයක්. ඒ අතරේ ව්‍යාපාරික කටයුතුත් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතුත් සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අපිට කියන්න හේෂාන් මනුල කියන්නේ ඔබ හිතන විදිහට කවුද?
මම මෝස්තර නිරූපණ ශිල්පියෙක්. රංගන ශිල්පියෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. වෙලාවට වැඩ කරන, බාරගත්ත වැඩේ වෙනුවෙන් සියයට සියයක්ම කැපවෙන, වෘත්තිමයභාවය ඉහළින්ම රකින, හැමෝම එක්කම සුහදව වැඩ කරන, කෙළින් කතා කරන බොහොම සරල මනුස්සයෙක්.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ