2025 මැයි 17 වන සෙනසුරාදා

මට ඕනෑ වුණේ අමුගතිය වෙනස් කරන්න - Oshan Yapa Amarasekara

 2025 මැයි 17 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 31

මනස්කාන්ත සොඳුරු රූ දසුන් මෙන්ම හද සලිත කරවන භයංකාර රූ දසුන් ද නෙත ගැටීම ලෝක ස්වභාවය වූ කල, එකී රූපයන්ට භාවමය හුස්මක් දෙන්නේ ඔහුය. නමින් ඔෂාන් යාපා අමරසේකර වන මේ සැබෑ දක්ෂයා ලාංකික සිනමාවේ මෙන්ම ඉන්දීය සිනමාවේද අපූරු රූප මවන්නෙකි. අද හදසර කතාබහ ‘ප්‍රොස්තටික් මේකප්’ මගින් කලා ලෝකයේ වැඩ පෙන්වන ඔෂාන් යාපා අමරසේකර සමඟයි.

ඔෂාන් ගැන වචන කිහිපයක් කතා කරමු?

මගේ නම ඔෂාන් යාපා අමරසේකර. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා ගෞරව උපාධියක් හදාරලා තියෙනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරමින් ඉන්නවා. මේ වෙනකොට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනය, රත්මලාන විශ්වවිද්‍යාලය විද්‍යායතනය, කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය, මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය, යාපනය විශ්වවිද්‍යාල විද්‍යායතනය යන ඒවායේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ‘ප්‍රොස්තටික් මේකප් ආටිස්ට්’ කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම ඉන්දියාවෙත් වැඩ කරනවා. ඉන්දියාවේ නිෂ්පාදන ආයතනයක් එක්ක චිත්‍රපටයක වැඩ කටයුතු සිදු කළා. මෑතකදී කොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඉන්දියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ සම්බන්ධතා එක්ක ඒ වැඩ ටිකත් කරගෙන යනවා.

ඇත්තටම මොකක්ද මේ ‘ප්‍රොස්තටික් මේකප්’ කියන්නෙ?

‘ප්‍රොස්තටික් මේකප්’ කියන දේ කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. මෙහෙම කියමුකො. චිත්‍රපටයක් ගත්තොත් චිත්‍රපටයේ පිටපතක් තියෙනවනෙ. මේ පිටපත කියන්නේ සාහිත්‍ය වචන ටිකක් විතරයි. චිත්‍රපටයේ කතාව ඉස්සරහට අරගෙන යන්නේ චිත්‍රපටයේ ඉන්න චරිත. ඕනෑම චරිතයකට ‘කැරැක්ටර් ප්‍රොෆයිල්’ එකක් තියෙනවා. මේ ‘කැරැක්ටර් ප්‍රොෆයිල්’ එකේ කායික විද්‍යාත්මක ලක්ෂණ, සමාජ විද්‍යාත්මක ලක්ෂණ, මනෝ විද්‍යාත්මක ලක්ෂණ වශයෙන් ලක්ෂණ තුනක් තියෙනවා. එක චරිතයකින් මේ ලක්ෂණ තුනම අපිට හඳුනාගන්න පුළුවන්. පිටපතේ තියෙන චරිතවලට අනුව ඒ ලක්ෂණ තියෙන නළු නිළියන් අපිට හම්බවෙනවා. එතකොට අපි මුලින්ම බලන්නේ ඒ නළුවගේ හෝ නිළියගේ බාහිර රූපකාය චරිතයත් එක්ක ගැලපෙනවද කියලා. ඒ චරිතයට අදාළ ‘කැරැක්ටර් ප්‍රොෆයිල්’ එකේ තියෙනවා එයා මොනවගේ චරිතයක්ද කියලා. ඒ කියන්නේ එයාගේ උස, මහත, එයා මොනවගේ චරිතයක්ද, එයාගේ හමේ වර්ණය, රැවුල, කොණ්ඩය වගේ දේවල්. එතකොට අපි මේ ‘කැරැක්ටර් ප්‍රොෆයිල්’ එකත් එක්ක බලනවා අපිට ඉන්න නළුවාගේ හෝ නිළියගේ තියෙන අඩුපාඩු මොනවාද කියලා. චරිතයට අවශ්‍ය අංග ලක්ෂණ රංගන ශිල්පියා සතුව නැතිනම් අපිට සිද්ධ වෙනවා ඔහුව චරිතයට ගැලපෙන විදිහට මේකප් කරන්න. සාමාන්‍ය මේකප් කිරීමකදී සිදුවන්නේ සම මත පින්තාරු කිරීමක්. සමහර දර්ශන තියෙනවා, සම මත පින්තාරු කරලා විතරක් චරිතයේ චරිත ලක්ෂණ ගන්න බැරි අවස්ථා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඇසිඩ් ගහන දර්ශනයක් තියෙනවා කියලා. සම පිළිස්සෙන දර්ශනයක්. දැන් කැමරාව සහ තාක්ෂණය දියුණුයි. අපිට චිත්‍රපටය පේන්නේ සම්පූර්ණ දත්ත සහිතව. ඒ නිසා තවදුරටත් ඒ වගේ දර්ශනයක් සම මත පින්තාරු කරලා විතරක් සාර්ථක කරගන්න අමාරුයි. එවැනි අවස්ථාවකදී අපිට සිද්ධ වෙනවා සම මත ගොඩනැගීමක් කරන්න. සම මත ගොඩනැගීමේ කලාවට තමයි අපි ‘ප්‍රොස්තටික් මේකප්’ එකක් කියලා කියන්නෙ. මෙහිදී අපි පිටතින් වෙනම ස්ථරයක් හදලා ඒක සමට බද්ධ කරනවා.
‘ප්‍රොස්තටික් මේකප්’ කියන වචනයේ තේරුම කෘත්‍රිම කියන එක. මේක බද්ධ අංග රචනය කියලත් හඳුන්වනවා. මේ කලාවම, විශේෂ ප්‍රයෝග අංග රචනය කියලත් හඳුන්වනවා. ‘ප්‍රොස්තටික් මේකප්’වලත් ‘ෆ්ලැට් මෝල්ඩ්’ (Flat Mold) සහ ‘ත්‍රීඩී මෝල්ඩ්’ (3D Mold) කියලා කොටස් දෙකක් තියෙනවා. ‘ෆ්ලැට් මෝල්ඩ්’ එකේ, ‘ෆ්ලැට්’ පැත්ත සමට සම්බන්ධ කරලා අනිත් පැත්තේ තමයි අවශ්‍යය අංගය ගොඩනගන්නෙ. 3D Mold යොදාගන්නේ පිටසක්වල ජීවියෙක් හෝ සත්ව මුහුණක් ගොඩනගන විට රංගන ශිල්පියාගේ සම්පූර්ණ මුහුණම ආවරණය කිරීමට.

ඔබ මේ කලාවට යොමුවුණු ආකාරය ගැන කතා කළොත්?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ප්‍රතිබිම්බ කලාව සම්බන්ධ උපාධියක් තමයි හැදෑරුවේ. ප්‍රතිබිම්බ කලාව ගත්තාම ඡායාරූපකරණය, සිනමාව සහ රූපවාහිනිය යන ක්ෂේත්‍රවලින් මම විශේෂවේදී උපාධිය සඳහා හැදෑරීම් සිදු කළා. ඒ කාලයේ මට ‘ප්‍රොස්තටික් මේකප්’ ගැන ලොකු ආසාවක් තිබුණා. ඒ කාලයේ යූටියුබ් වැඩසටහන් බලලා, ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන පොඩි පොඩි නිර්මාණ සිදු කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ගයාන් මධුසංක මාර්ගයෙන් මම ලංකාවේ තියෙන ‘ෆිල්ම් ටීම්’ කියන නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වුණා. මම 2018 වසරේ ඔවුන්ගේ The Good Karma Hospital කියන රූපවාහිනී කතා මාලාවේ වැඩ කරන්න සම්බන්ධ වුණා. මම මුලින්ම සම්බන්ධ වුණේ කලා අංශයට. නමුත් පසුව මාව ‘ප්‍රොස්තටිත් මේකප්’ අංශයට යොමුකෙරුවා. ඒ කාලයේ එංගලන්ත ජාතික ‘ප්‍රොස්තටික් මේකප්’ ශිල්පියෙක් වෙන ඩේටි ටෝන් කියලා කෙනෙක් ලංකාවට ආවා. මම ‘ප්‍රොස්තටික් මේකප්’ අංශයට සම්බන්ධ වුණාම ඔහු මේ සම්බන්ධව ගැඹුරින් මාව පුහුණු කළා. ඔහු නැවත පිටත් වෙන්න කලින් මේ විෂය මට සම්පූර්ණයෙන්ම උගන්වලා මෙහි තියෙන අමුද්‍රව්‍ය ඇතුළු හැමදේම ගැන අවබෝධයක් ලබා දුන්නා. එතුමා online මාර්ගයෙන් තවමත් මට උගන්වනවා. මේ විදිහටයි මම ‘ප්‍රොස්තටික් කලාව’ සම්බන්ධ නිවැරදි අධ්‍යාපනයක් ලබා ගත්තෙ.

‘ප්‍රොස්තටික් මේකප්’ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ගැනත් කතා කරමු. මේවා මිනිස් සිරුරට ආසාත්මිකතා ඇති කරන්නේ නැද්ද?

ආසාත්මිකතාවයක් වෙනවානම් වෙන්නේ යොදා ගන්නා අමුද්‍රව්‍ය කල් ඉකුත් වෙලා තිබුණොත් විතරයි. නැතිනම් ඒවා සමට හානිකර වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ලෝකයේ භාවිත කරන ආරක්ෂිතම අමුද්‍රව්‍ය තමයි සිලිකන්. ඒක ලංකාවේ අපි දන්න, පාවිච්චි කරන සිලිකන් එක නෙවෙයි. මේකප්වලටම හදපු ප්‍රමිතියෙන් වැඩි වෙනම සිලිකන් එකක් තියෙනවා. අපි ඒවා විදේශයන්ගෙන් ආනයනය කරනවා. ප්‍රොස්තටික් මේකප්වලට ප්‍රධාන වශයෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය පහක් තියෙනවා. පළවෙනි දේ තමයි සිලිකන්. ඊට පස්සේ ලේටෙක්ස්. ලේටෙක්ස් කියන්නේ රබර් කිරි. නමුත් ගැටලු‍ව තියෙන්නේ ලංකාවේ රබර් කිරි කොච්චර තිබුණත් සෞඛ්‍යාරක්ෂිත වර්ගයක් හොයාගන්න නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා, සෞඛ්‍යාරක්ෂිත ලේටෙක්ස් විදේශවලින් ආනයනය කරන්න. අනිත් ගැටලු‍ව තමයි ඇතැම් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට ලේටෙක්ස් ආසාත්මික වෙන්න පුළුවන්. කසන්න, පලු‍ දාන්න පුළුවන්. එතකොට අපි ලේටෙක්ස් පාවිච්චි කරන්න කලින් එයාලගෙන් අහනවා ආසාත්මිකතා තියෙනවාද කියලා. නැත්නම් ආසාත්මිකතාවයක් ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව යොදාගන්නා අමුද්‍රව්‍ය තමයි වැක්ස්, බොන්ඩෝ සහ එස්.එෆ්.එක්ස්. ජෙලටින්. මේ අමුද්‍රව්‍ය තමයි ප්‍රධාන වශයෙන් ප්‍රොස්තටික් මේකප් සඳහා යොදාගන්නෙ. හැබැයි මේ අමුද්‍රව්‍ය පහ තිබුණා කියලා විතරක් අපිට ප්‍රොස්තටික් කරන්න බැහැ. මේ සඳහා අවශ්‍ය කරන ගම් වර්ග, වර්ණක වගේ තව ගොඩක් දේවල් තියෙනවා.

වඩාත් ප්‍රසිද්ධ වුණු She Devil Birdyගැනත් කතා කරමු?

She Devil Birdy කියන චරිතාංග අංගරචනය අපි නිර්මාණය කළේ රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යාලයේ 2021 වසර විලේපනවේදය (Cosmetology) හදාරන සිසුන්ගේ ප්‍රයෝගික ක්‍රියාකාරකමක් විදිහටයි. ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි She Devil Birdy ජනතාව අතරට අරන් ගියේ. ඇත්තටම මේ නිර්මාණයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මේ නිර්මාණයට රූපවාහිනී නාලිකා, රේඩියෝ නාලිකා සහ පුවත්පත්වලින් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නා. මම දැකපු පොදු කාරණයක් තමයි ලංකාවේ චිත්‍රපට ගොඩක් අමුයි. ඔක්කොම නෙවෙයි. ඒ අතර හොඳ නිර්මාණත් තියෙනවා. නමුත් ඇතැම් චරිත මට දැනෙන්නේ හරිම අමු චරිත විදිහට. ඒ කියන්නේ චිත්‍රපටයේ චරිතයට වැඩිය වැඩිපුර මතු වෙන්නේ ඒ රංගන ශිල්පියාගේ පෞද්ගලික චරිතය. ඇත්තටම She Devil Birdy ඇතුළු අපේ සියලු‍ම නිර්මාණවල අරමුණ වුණේ අලු‍ත් අලු‍ත් චරිත නිර්මාණය කරලා සමාජයට දෙන එක. අපිට පුළුවන් මේ වගේ චරිත අපේ සිනමාවට ගේන්න. ගොඩක් ෆැන්ටසි චිත්‍රපට තියෙනවා. හොල්මන් චිත්‍රපට තියෙනවා. ඇත්තටම අපිට ඕනෑ වුණේ ලංකාවේ චරිතවල අමු ගතියට වෙනසක් අරන් එන්න. අපි මේ වගේ චරිත දහ තුනක් පමණ මේ වන විට නිර්මාණය කරලා තියෙනවා.

මේ දවස්වල ඔෂාන් සිනමා පටයක ‘ප්‍රොස්තටික් මේකප් ආටිස්ට්’ විදිහට කටයුතු කරනවා. ඒ ගැන කතා කරමු?

මෙහෙමයි. මම ලංකාවේ චිත්‍රපට කිහිපයකම ‘ප්‍රොස්තටික් මේකප් ආටිස්ට්’ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණු චිත්‍රපටය තමයි විය සිදුරු. මෑතකදීම කරපු චිත්‍රපටය තමයි අහස් ගැබ යට. අහස් ගැබ යට, ඉන්දික වික්‍රමආරච්චිගේ අධ්‍යක්ෂණයක්. මනෝජා ෆර්නෑන්ඩු සහ ජගත් චමිල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙහි ප්‍රධාන වශයෙන් ප්‍රොස්තටික් මේකප් තමයි යොදාගන්නෙ. ප්‍රධාන නිළියගේ චරිතයේ තියෙනවා තුවාලයක්. ඒ තුවාලය තමයි ඒ චරිතයේ සංකේතය. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. පසුගිය දිනවල කළුතර තමයි මෙහි රූගත කිරීම සිදුවුණේ. මේ වසර අවසානය වෙනකොට චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය උදෙසා නිකුත් කරන්න නිෂ්පාදකවරයා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ ලංකාවේ පළමු වරට කලාකරුවන් දෙදෙනකු යොදාගෙන කාටූන් චරිත දෙකකට පණ දෙනවා. ඒ අත්දැකීම සහ ලැබුණු ප්‍රතිචාර ගැනත් මතක් කරමු?

ප්‍රොස්තටික් මේකප්වලින් කාටූන් චරිත දෙකක් නිර්මාණය කරපු පළමු අවස්ථාව තමයි හැලයා සහ සීදේවි නිර්මාණය කරපු අවස්ථාව. මේක ‘මියුසික් වීඩියෝ’ එකක්. මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තේ පියත් රාජපක්ෂ. මට සිංදුවත් එවලා පියත්ගේ අදහසුත් එකතු කරගෙන තමයි හැලයා සහ සීදේවි නිර්මාණය කළේ. සින්දුව ඇහුවට පස්සේ මටත් ආසා හිතුණා. මම කිව්වා, පියත් මේක නිකම් කරනවට වැඩිය මේ වගේ කාටූන් චරිත දෙකක් අනුව කළොත් මේක සෑහෙන්න ජනතාව අතරට යයි සහ ලංකාවේ අමුතුම වැඩක් වෙයි කියලා. මේකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම හිතනවා මගේ කාර්යභාරය මම හරියටම ඉටු කළා කියලා. සාමාන්‍යයෙන් සිලිකන් ගන්නකොට සමේ තරමටම මෘදු කරලා තමයි යොදාගන්නෙ. අපි මේ මුහුණු දෙක හැදුවේ සිලිකන් එක මෘදු කරන්නේ නැතිව ඝන තත්වයෙන්මයි. එක මුහුණක් කිලෝ එකහමාරක් විතර බරයි. මේකෙ බර වැටෙන්නේ කලාකරුවාගේ ඇහිබැමිවලට සහ නහයට. පියත්ගේ මේකප් එක දාන්න පැය හයක් විතර ගියා. සඳනිටත් පැය හතරක් විතර ගියා මේකප් එක දාන්න. මේක දාගෙන ඉන්නකොට කෑමට බීමටත් අපහසුයි. මොකද කිඹුලගේ හොම්බ දිගයිනෙ. බටයක් දාලා බීම වර්ග බොන ගමන් තමයි එදා රූගත කිරීම් සිදු කළේ.

• මංගලා පවිත්‍රානි