දෙව්ලොව සාදය නිමවන ලකුණු නැත. සමන් ද සිල්වා ද එහි කැඳවා ඇත. පෙළින් පෙළ සාදය රසවත් කරන්නට පැමිණි සුනිල් පෙරේරා, රොනී ලීජ්, නිහාල් නෙල්සන් සොඳුරු කලාවේදීන් සමන් ද සිල්වා වැළඳගත් සෙයකි.
ශ්‍රී ලාංකික වේග රිද්ම කලාවේ අනන්‍ය හඬ පෞරුෂයකට හිමිකම් කී සමන් ද සිල්වා නම් සොඳුරු කලාවේදියා නික්ම යන කනිසමේ අනුස්මරණීය සටහනක් ලියා තැබීම යුතුකමකි. දේශය – හදසර අපි ඒ යුතුකම ඉටු කරමු. සමන් ද සිල්වා යන නාමය නාඳුනන රසවතකු මේ ලක් පොළොව මත නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පරම්පරා ගණනාවක හදවත් අතරින් හමා ගිය වේග රිද්ම ගී මාධූර්ය සමඟ ඔහුගේ නමය බැඳී තිබුණි.
වෘත්තීය භූමිකාව තුළ සමන් ද සිල්වා යනු ගායන ශිල්පියකු සංගීතවේදියකු, සංගීත කණ්ඩායම් හිමිකරුවකු මෙන්ම දක්ෂ සංවිධායකවරයකු ද වූ බව සිහිපත් කළ යුතුය. එනමුදු මෙම සියලු වෘත්තීය භූමිකා පරයා යන මනුෂ්‍යත්වයක් ඔහු හද දරා සිටි බව සත්‍යයකි. ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේ ප්‍රාසාංගික කලාව සමඟින් සැරිසැරූ සමන් ද සිල්වා හට හිතවත්හු බොහෝ වූහ. සෑම ගමකම නගරයකම ඔහු හඳුනන මිනිසෙක් සිටියේය. එසේම ඔහු වටා නිතැතින්ම ළයෙන් ළය බැඳුණු කලණ මිතුරු පිරිසක් ද සිටියහ. එසේම ආදරණීය කැදැල්ලක් ඔහු සතු විය. මේ සොඳුරු කලාවේදියාගේ නික්ම යාම පිළිබඳ මෙතරම් සාංකාවක් රට තුළ නිර්මාණය වන්නට මෙම සියලු දෙනාම හේතු වූහ.
ඉඳින් දැන් සමන් ද සිල්වාගේ දිවි සැරිය පිළිබඳ මතක ද අවදි කළ යුතු මොහොතක් උදා වී තිබේ. සමන් උපන්නේ 1956 වසරේ බදුල්ල පස්සර දීය. එහෙත් ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ පානදුර සුමංගල විද්‍යාලයෙනි. පසුව සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. පාසල් වියේ සිටම සංගීතය සමඟ වූ ආත්මීය ගනුදෙනුව මේ සොඳුරු මිනිසා විසින් අරඹා තිබුණි. ඔහු අප අතරින් සමුගන්නා විට 69 වන වියේ පසුවූයේය.
යොවුන් වියේදීම සමන් ද සිල්වා කණ්ඩායම් සංගීතයට අත්පොත් තබා තිබුණි. එය වූ කලී කණ්ඩායම් සංගීතයේ ස්වර්ණමය යුගය වූ බැවින් සමන් වැනි තරුණයන්ගේ ආගමනයේ අපූර්වත්වයක් වූයේය. සමන් ද සිල්වා විසින් පළමුව නිර්මාණය කරගනු ලැබූ සංගීත කණ්ඩායම බවට පත් වූයේ “පීපල්ස් නෙස්ට් ඩූ” නම් සංගීත කණ්ඩායමයි. සංචාරක හෝටල්වල ගීත ගායනය සිදු කරමින් වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට මෙම සංගීත කණ්ඩායම ඔහුට මහත් සේ උපකාරී වූ බව පෙනී යයි.
එහෙත් සමන් ද සිල්වා නම් සොඳුරු හදැති මිනිසාගේ සංගීත දිවියේ සුවිශේෂීම සංධිස්ථානය බවට පත්වූයේ “සමන් ඇන්ඩ් ද ක්ලෑන්” සංගීත කණ්ඩායම නිර්මාණය කිරීමයි. මෙරට කණ්ඩායම් සංගීතයේ නොමැකෙන නමක් තැබූ මෙම සංගීත කණ්ඩායම සමඟ සමන් ද සිල්වා නම් ගී පෞරුෂය ශ්‍රී ලාංකික ගී වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියැවීය. පසුව සමන් ද සිල්වා සංගීත කණ්ඩායම් කිහිපයකම හිමිකරුවෙක් බවට පත් විය.
සමන් ද සිල්වා නම් සොඳුරු ගායකයා විසින් ගයා ඇති ගීත සංඛ්‍යාව 900 ක් පමණ වන බව කියැවේ. ඒ අතරින් නිති මතකයට නැංවෙන ගීත රැසකි. ඒ අතරින් ‘පුංචි කුරුළු කූඩුවේ අපි ඉන්නවා පාඩුවේ’, ‘නියරේ පියනගනා’, ‘සන්තෝෂ වෙන්න ති වෙන්න එන්න මිත්‍රයා’, ‘තණනිල්ල දිගේ ඇදිලා යනවා’, ‘සුරූපි විරූපී’, වැනි ගීත ගොන්නක් සමන් විසින් හෙළ ගී ක්ෂේත්රයට තිළිණ කරනු ලැබීය.
ශ්‍රී ලාංකික බයිලා සංගීත වංශකථාව තුළ සමන් ද සිල්වා නාමය ද රන් අකුරින් ලියැවිය යුතුය. තමන්ටම අනන්‍ය හඬ පෞරුෂයකින් ඔහු ගැයූ රස වෑහෙන ගීත ලාංකික බයිලා කලාව තවත් පොහොසත් කළේය. ජීවමාන ලෝකයෙන් සමුගෙන ගිය ද මතු මතු ද ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සමන් ද සිල්වා නාමය ජීවමාන වනුයේ එබැවිනි. මදු සාදයක වුව, නෑසියම් මිතුරන් එක් වී යන දුරු ගමනක වුව, කාන්සිය නිවා රසවත් වන්නට සමන් සභාවට කැඳවීමට සැමදා අපට සිදුවනු ඇත. මන්ද යත් ඔහු ගැයූ වේග රිද්ම ගී බොහොමයක් එතරම් තදින් ජන හදවත් ස්පර්ශ කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, දේශ දේශාන්තර පුරා ඇවිද යමින් ශ්‍රී ලාංකික සංගීතය ලොව පුරා විසිරි පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට රසවිඳින්නට සමන් ද සිල්වා දැක්වූ දායකත්වය ද අමතක කළ නොහැක. ඔහු ලොව පුරා බොහෝ රටවල්වල සංගීත සංචාරයේ නිරත වූ කලාවේදියෙකි. එම නිසාම සමන් හට මෙරට පමණක් නොව එපිට ද බොහෝ මිතුරෝ වූහ.
හුදෙක් ගායකයකු ලෙස පමණක් සමන් ද සිල්වා පිළිබඳ ලියා තැබිය නොහැකිය. සමන් යනු සමාජීය වශයෙන් මිනිසුන් සමඟ තදින් බැඳී සිටි මිනිසෙකි. උස්මිටිකම්වලින් තොරව සියල්ලන් සමඟ බැඳුණු සමන් පාසල පන්සල පල්ලිය පමණක් නොව, සංගම් සමිති ආදී බොහෝ තැනක ක්‍රියාකාරී සමාජ සේවකයෙක් බවට පත්ව සිටියේය. දුර බැහැර පෙදෙස්වල සිටින හිතවතුන් සේම, දෛනික ජීවිතයේ තමන් අවට සිටි මිනිසුන් ද සිය ගැටලු සමන් ද සිල්වා සමඟ බෙදා ගැනීමට මැලි නොවූහ. අද ද සමන්ගේ මිතුරන් පවසන පරිදි ඊට හේතුව වූයේ ඔහු එම ගැටලුවලට කෙසේ හෝ විසඳුමක් ලබා දීමට දැරූ උත්සාහයයි.
වරක් සමන් ද සිල්වා කළ අපූරු ක්‍රියාවක් පසුගියදා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙක් සිහිපත් කළහ. ඒ සුනාමි ව්‍යසනය සිදුවූ 2004 - 2005 වසරයි. මෙම වකවානුවේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංසදයේ සභාපති ධුරය දරනු ලැබුවේ සමන් ද සිල්වා විසිනි. තමන්ගේ අසල්වැසි හිතවතුන් සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ සමන් ද සිල්වාට, මාළු වෙළෙන්දන්ගෙන් දැනගැනීමට ලැබුණේ මිනිසුන් සුනාමිය හේතුවෙන් ආහාර වේල සඳහා මසුන් එක්කර ගැනීම අඩු කර ඇති බවකි. ඒ අනුව දහස් සංඛ්‍යාත ධීවරයන් ඇතුළු වෙළෙඳ ප්‍රජාව පීඩාවට පත් වී සිටින බව සමන් ද සිල්වාට ඔහුගෙන් දැන ගැනීමට ලැබුණි.
අනතුරුව මේ පිළිබඳව අප සොඳුරු කලාවේදියා සොයා බලන්නට පටන් ගැනීමත් සමගින් බොහෝ ධීවරයන්ගේ දුක් ගැනවිල්ල ඔහු හමුවට පැමිණ තිබිණි. ඒ අනුව එම වකවානුවේ කොළඹ නගරය තුළම ස්ථාපිතව පැවැති ප්‍රධාන වෙළෙඳ සංකීර්ණයට තවත් ගායක ගායිකාවන්, නළු නිළියන් පිරිසක් කැටුව පැමිණි සමන් ද සිල්වා මාධ්‍ය අනුග්‍රහය ද සහිතව, වෙළෙඳ සංකීර්ණයේම බත් මාළු පිස රටට පෙනෙන්නට ආහාරයට ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කඩා වැටෙන ධීවර කර්මාන්තයේ හිතවතුන් ආරක්ෂා කිරීමටය. එසේම මිනිසුන් තුළ මත්ස්‍ය ආහාර පිළිබඳ නැවතත් විශ්වාසය වඩවන්නටය. අද ද ඔහුගේ හිතවතුන් පවසන පරිදි ඉඳුරාම එය ඔහුට සිදු කරනු හැකි විය.
සමන් ද සිල්වා සම්බන්ධ වූ සමාජ සත්කාර වැඩසටහන් මෙතෙකැයි කියා ලියා නිම කළ නොහැකිය. සුනාමි සමයේදී විපතට පත්වූවන්ට ආධාර බෙදීමටත්, ඔවුන්ගේ දුක වේදනාව තුනී කිරීමටත් ගායක ගායිකා සංගමය කැටුව යාමට සමන් කටයුතු කළේය. දුර බැහැර ප්‍රදේශවල මිනිසුන්ගේ ගැහැට මඟහරවා ගන්නට තම සබඳතා භාවිත කරමින් නොයෙක් වර ඔහු උපකාර කර තිබේ. මෙම අපූරු සමාජ ජීවිතය නිසාවෙන්ම සමන් ද සිල්වාගේ පසෙකින් දේශපාලන සබඳතා ද පැවති බව නොරහසකි.
කෙසේ නමුත් සමන් ද සිල්වා නම් සොඳුරු කලාවේදියා මුදල හෝ බලය මතින් හිස උදුම්මාගත්, ඒ මත හඹා ගොස් පිරිහුණු මිනිසෙක් නොවීය. සැබෑ මානව ප්‍රේමී කලාවේදියකු ලෙස ඔහු අප හමුවේ සිය මතකය ඉතිරි කර ගොස් තිබේ. මතු මතුත් මේ පොළොවේ සෑම සාදයකම ඔහු ජීවමාන වනු ඇත. එසේම දෙව්ලොව සාදය දැන් ඉතින් තවත් රසවත් වනු ඇත.
සමන් ද සිල්වා සොඳුරු කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව!
• චමිඳු නිසල්
• අන්තර්ජාලයෙන්