මටත් ආසයි උමාලියේ ප්‍රංශයේ වීදි දිගේ ඇවිදින්න... මම ආසම විදිහේ කොටු කොටු ගවුමක් ඇඳගෙන අඩි උස සපත්තු දෙකක් දාගෙන සීතලට තුරුල් වෙන්න... දුඹුරු පාට කෝට් එකකුත් කරේ දමාගෙන ඇත්තමයි උමාලියේ මටත් ආසයි ප්‍රංශයේ වීදි දිග ඇවිදින්න...
උමාලිගේ පින්තූරය දැක්කම මට හිතුණා එහෙම... ඇයි උමාලි මැදින් මහේ ප්‍රංශයට ගියේ... ඉසුරු හින්දා... කවුද ඉසුරු කියන්නේ... ශේෂ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා... ඒ විතරක් ඇද්ද ඉසුරු කවුද කියලා මට කියන්න... නෑ මට තව තවත් කියන්න ඕනෑ... සිනමාවට තියෙන ආදරය සහ ආසාව හින්දම සිනමාවේ අක්ෂර හොයාගෙන ප්‍රංශයට ගිය අපේ රටේ කොල්ලෙක් තමයි ඉසුරු කියන්නේ...
එයා ඉසුරු ගුණතිලක... ප්‍රංශයේ ඉගෙන ගනිද්දි ඉසුරුට හිතුණා චිත්‍රපටයක් කරන්න. ශේෂ... ඒ තමයි ඉසුරුගේ චිත්‍රපටයේ නම... සාම්ප්‍රදායික නර්තනයට ආත්මීය ආලයකින් පෙම් කළ නැටුම් ගුරුන්නාන්සේ කෙනකුගේ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ගිය නර්තන ප්‍රේමයක පුරාවෘත්තය ප්‍රස්තුත කරගනිමින් ඉසුරුගේ සිතේ උපන් සිනමා ප්‍රේමයට තැබූ නම තමයි ශේෂ...
ඉතින් ඇයි දැන් මම ශේෂ ගැන කතා කරන්නේ...
ඇයි මම ඉසුරු නිසා උමාලි ප්‍රංශයට ගියා කියලා ඔයාට කීවේ...
උමාලි විතරක් නෙවෙයි ශේෂ ප්‍රංශයේ තිරයක් මත දිගහැරෙද්දී ඒ මංගල මොහොතට සුභාශිංශන දෝතින් දරාගෙන ශේෂ රංගනයෙන් වර්ණවත් කළ මල්කාන්ති ජයසිංහ සහ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහත් ගියා ඉතින්... අහන්න ඉතින් චන්දන ගියේ නැටුමක් අරගෙන නෙවෙයි... ශේෂ සුබරා ගුරුන්නාන්සේත් එක්ක රංගන හුස්ම ගත්තේ චන්දන හින්දයි චන්දන එදා එහෙ ගියේ...
ඉතින් ඉසුරු?
ඉතින් ඇත්තටම ඒ දවස, ඒ දවසේ ඒ මොහොත මට මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවෙන දවසක්. ප්‍රංශයේ ඒ සිනමා ශාලාවේ එදා එක අසුනක්වත් හිස් වුණේ නෑ. සිනමා අධ්‍යක්ෂවරයකුට ඊටත් වඩා සතුටක් තියෙනවද?
ඉසුරු ඇහුවේ මගෙන්... මම ලංකාවේ ඉඳන්... එයා ප්‍රංශයේ ඉඳන්... අපි කතා කළේ මහ රෑ... සමහර ප්‍රශ්නවලට උත්තර නැති වුණාම තමයි වැඩියෙන්ම ලස්සන...
ඉතින් හිස්තැනක්...
ආයෙත් ප්‍රශ්නයක්...
ශේෂ බලන්න එදා ආවේ ප්‍රංශයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විතරද?
නැහැ... ප්‍රංශ ජාතිකයන් සහ වෙනත් විදේශිකයන් ආවා. ඒක මට තවත් සතුටක්. මල්කාන්ති ආන්ටි එදා හරිම ලස්සනට සාම්ප්‍රදායික විදිහට ඔසරිය ඇඳලා හිටියා. ඉතින් ඇත්තටම ඇගේ ඒ ලස්සන සාම්ප්‍රදායික පෙනුම දැකලා ප්‍රංශ ජාතිකයන් විස්සක් විතර ආවා ශේෂ බලන්න කියලා. ඒත් ඒ වෙද්දි ප්‍රවේශ පත් සියල්ල විකිණී අවසන්. එයාලා කීවා අපි දෙගුණයක් ගෙවලා හරි ප්‍රවේශ පත්‍ර ගන්නම්, අපිට මේක බලන්න දෙන්න කියලා. ඒත් අනේ එයාලටත් බලන්න දෙන්න තිබුණානම්. හිතුණට දෙන්න විදිහක් තිබුණෙ නැති නිසා එයාලා ශේෂ නොබලම හැරී ගියා.
උමාලිට, මල්කාන්තිට, චන්දනට ලැබුණු ප්‍රංශ ආදරය කොහොමද ඉසුරු?
ඔයා විශ්වාස කරන්න... මුලින්ම උමාලි ශේෂත් එක්ක ප්‍රංශයට එනවා කියලා දැනගත්තම මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් පුදුම ප්‍රසාදයක් ආවා. උමාලි තිලකරත්න කියන්නෙ හැමදාමත් නිළියක් ලෙස තමන්ගේ ගුණාත්මක වටිනාකම රැකගත්ත නිළියක් කියන ආකල්පය සහ ඇගේ රංගනයේ විශිෂ්ටත්වය ගැන ඔවුන් තුළ තිබුණේ පුදුම ප්‍රසාදයක්. ඇත්තටම උමාලි කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනයට ආව, ඒ හින්දා මිනිසුන්ට එපා වෙච්ච නිළියකුත් නෙවෙයි. එදා ප්‍රංශයේ ශේෂ මංගල දැක්මට උමාලි ආවේ තද රතු ගවුමක් ඇඳගෙන. එදා එයා හරිම ලස්සනයි. ඇත්තටම වෙලාවකට ටිකක් සැර නපුරු නැන්දම්මගේ චරිතය කරපු මල්කාන්ති ආන්ටිට තිබුණෙත් මට හිතාගන්න බැරි තරම් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක්. ප්‍රේක්ෂකයන් මල්කාන්ති ආන්ටිව වට කරගෙන කතා කළා. පින්තූර ගත්තා. චන්දන සර්ට ලැබුණේ වෙනමම ප්‍රතිචාරයක්. චන්දන සර් තමන්ගේ නැටුම් කණ්ඩායමත් එක්ක ඕනෑ තරම් ප්‍රංශයට ඇවිත් තියෙනවනෙ. ඒ චන්දනයි ශේෂ සුබරා ගුරුන්නාන්සේ වෙච්ච චන්දනයි එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා හිතෙන තරම් ඇත්ත චන්දන සර් සහ චිත්‍රපටයේ සුබරා ගුරුන්නාන්සේ වෙච්ච චන්දන වික්‍රමසිංහ හාත්පසින්ම වෙනස් කියලා ප්‍රේක්ෂකයන්ට දැනුණා. ඒ වෙනස දැනවූ ප්‍රතිචාරයත් හරි වෙනස්. හරි උණුසුම්. හරි ආදරණීයයි.
ඉසුරු එහෙම කියද්දි ඇයි ඉසුරු එහෙම කියන්නෙ කියලා මට චන්දනගෙන් අහන්නෙ නැතුව ඉන්න බැහැ...
චන්දන වික්‍රමසිංහටයි - සුබරා ගුරුන්නාන්සේටයි ලැබුණු ප්‍රතිචාර දැනුණේ කොහොමද?
ඒ ප්‍රශ්නයට චන්දන වික්‍රමසිංහ දුන්නේ මෙහෙම උත්තරයක්.
මම නර්තනාචාර්යවරයෙක් විදිහට චිත්‍රපට ගණනාවක නර්තන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරලා තියෙනවා. හැබැයි ඉසුරු ගුණතිලක කියන තරුණයා මට අඬගැහුවම මේ චිත්‍රපටයට මේ චිත්‍රපටයේ සුබරා ගුරුන්නාන්සේගේ භූමිකාව කරන්න ඒක ලේසි වැඩක් නෙවෙයි. නර්තන ශිල්පියෙක් විදිහට 1990 ඉඳන් මම ප්‍රංශ රටේ හුඟාක් නටලා තියෙනවා. ඒත් මේ ප්‍රේක්ෂකාගාරයට මම නළුවෙක් විදිහට එන්නෙ කොහොමද කියන එක මට අමාරු සහ හරි බැරෑරුම් වැඩක්. අනිත් එක මේ චිත්‍රපටයේ මම නටපු හැඩය ඔර්ජිනල් චන්දන වික්‍රමසිංහගේ හැඩය නෙවෙයි. මගේ හැඩය වෙන හැඩයක්. ඉසුරු දැම්මෙ මාව ලොකු අමාරුවක. උඩරට නැටුම් හැඩට නටන මාව ඉසුරු තල්ලු කරනවා පාරම්පරික නර්තන ශිල්පියකුගේ හැඩතල ගන්න රඟපාන්න. ඒක හරි අමාරු වැඩක්. පාරම්පරික නර්තන ශිල්පීන් නටන හැටි මම පුංචි කාලේ දැකලා තියෙනවා. අපි පාරම්පරික නර්තන ශිල්පීන් නොවුණට ඒ ඇසුර අපේ ගුරු ඇසුරෙන් අපිට ලැබිලා තිබුණා. ඒකත් මම ටිකක් ඔළුවේ තියාගෙන ඉද්දි රවි බන්ධු විද්‍යාපති කියන ශ්‍රේෂ්ඨ නර්තන ගුරුවරයා ශේෂ නර්තන අධ්‍යක්ෂණය කරන්න ඉදිරිපත් වුණා. එතුමා තමයි චන්දනගේ හැඩය ඉසුරුත් එක්ක එකතුවෙලා වෙනස් කළේ. මේ ප්‍රේක්ෂකාගාරයට කියන්න ඕනෑ ඉසුරු සහ රවි බන්ධු සර් දෙන්නා දෙපැත්තේ. චන්දන මැද්දේ. මගේ හැඩය ‘ස්ටයිල්’ වෙද්දි එයාලා වෙනස් කරනවා. එහෙම වෙන්න බෑ ගුරුන්නාන්සේලා නටන්නෙ මෙහෙමයි කියලා රවි බන්ධු සර් කියනවා. හැමදාම නටන හැඩයට වඩා පාරම්පරික නර්තන හැඩතල ගන්න මට සිදු වුණා. ඒ හැඩතල අරගෙන මම කොහොමද රඟපාන්නෙ. ඒවට වගකියන්න වුණේ ඉසුරුට.
ඒ වගේම උමාලි කියන සුන්දර තරුණ දියණියයි මල්කාන්ති කියන සුන්දර කාන්තාවයි තමයි එතෙන්දි මට උදව් කළේ. ඒ දෙන්නටම ස්තූතියි මට රඟපාන්න සමහර දේවල් කියලා දුන්නට. චිත්‍රපටවල නළු නිළියන් නැටෙව්වට තිරය ඉස්සරහ රඟපාන එක ලේසි නෑ. ඇත්තටම Acting and Dancing කියන්නෙ හරිම අමාරු වැඩක්. ඉසුරු අරමුණු කළේ ශේෂ ඔස්සේ අපේ ඔර්ජිනල් නැටුම ලෝකයට ගෙනියන්න. මහා කලාගාරයක් වගේ වෙච්ච ප්‍රංශයේ පැරිසියේ ඉඳන් අපේ ප්‍රකෘතිමත් නර්තන කලාව ගැන එදා කතා කරන්න ලැබීමම මට සතුටක් වුණා. ඇත්ත චන්දන වික්‍රමසිංහට වේලාවකට කේන්ති යනවා. කලහකාරීයි වෙලාවකට. ඒත් සුබරා ගුරුන්නාන්සේ ඊට හාත්පසින්ම වෙනස්. ඒ වෙනසට ලැබුණු ප්‍රතිචාරත් වෙනස්. ආදරණීයයි.
ඒ තමයි චන්දනගේ උත්තරය...
(ඇත්තටම ඉසුරුගේ කතාබහ අස්සට චන්දනගේ උත්තරය දැම්මාට චන්දන එක්ක මම කතා කළේ ඊට පස්සෙ දවසක)
ප්‍රංශයේ පැරිස් නගරයේ Le Grand Rex Paris සිනමා ශාලාවේත්, ඉනික්බිති ඉතාලියේත් දිගහැරුණු සම්මානනීය වූ ශේෂ ගැන කතා කරද්දී Cineizu Production නිර්මාණය කළ ශේෂ තිර පිටපත සමන්ත කුමාර ගමගේගේ විත්තියත්, උමාලි, මල්කාන්ති, චන්දන වගේම Yohan Jays ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූ ශේෂ හි සංගීත අධ්‍යක්ෂණය ගයාත්‍රි කේමදාසගේ විත්තියත් නොලියා බැහැ.
සමාවෙන්න ශේෂ හා බැඳුණු හැම නමක්ම ඉසුරු මට කීවත් ඒ නම් ලියන්න තරම් ඉඩක් නැති වුණත් නොලියා බැහැ ඉසුරු ඒ හැම කෙනකුටම හදවතින්ම ස්තූතියි කියන්න කියූ වගනම්...
ප්‍රංශය හා බැඳුණු සිනමා ජීවිතයේ රසම මතක මතක් වෙන්නෙ කොහොමද ඉසුරු?
මම ප්‍රංශයේ දි වතාවක් ගියා ලෝකයේ තියෙන ලොකුම කෙටි චිත්‍රපට උළෙලට. සතියක් - දවස් දහයක් විතර කාලයක් තුළ එය පැවැත්වෙනවා. මටත් මගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් නිසා එයට යන්න අවස්ථාව ලැබුණා. ඒ සිනමා උළෙල පවත්වන නගරය සම්පූර්ණයෙන්ම Lockdown කරපු නගරයක් විදිහට තමයි දැනෙන්නෙ. ඒ නගරය තුළ ඉන්නෙ සම්පූර්ණයෙන්ම සිනමා කර්මාන්තයට සම්බන්ධ අය. ඒක හරිම ලොකු නගරයක්. Clermont Ferrand Festival එකේ සිතියම අපිට පොතක් විදිහට ලැබෙනවා. ඒ නගරයේ හැමතැනම තියටර්ස් තියෙනවා. ඒකේ ආසියානු චිත්‍රපට, black Films, International Films ආදී වශයෙන් හැම කාණ්ඩයකම චිත්‍රපට පෙළගස්වා තියෙනවා. කෙටි චිත්‍රපට නිසා එකවර චිත්‍රපට පහක් විතර පෙන්වනවා. ඒ වගේම රඟපෑම, අධ්‍යක්ෂණය, මේ වගේ හැමදේම Master Classes එතන තියෙනවා. ඔස්කා ඇකඩමි සම්මානලාභී අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් සහ එක් එක් අංශයන්හි ප්‍රවීණයන් තමයි ඒවා මෙහෙයවන්නෙ. ඒ වගේම අපිට බස්වලට මෙට්‍රොවලට Free card එකක් ලැබෙනවා නගරය පුරා සංචාරයට. මම දවස් පහක් එහේ හිටියා. සිනමාවට පමණක් සම්බන්ධ ලෝකයේ එක එක සංස්කෘතින්වල අය එකම තැනකදි හමුවෙන ඒ සිනමා උළෙල ඇත්තටම සුවිශේෂී අත්දැකීමක්. මේ Festival එක ඇතුළේ තියෙනවා තව Film market එකක්. ඇත්තටම ඒ අත්දැකීමේ රස වචනවලින් කියන්න බැරි තරම් ගැඹුරුයි සුන්දරයි.
ශේෂ රැගෙන ප්‍රංශයෙන් ඉතාලියට ද ගිය ඉසුරුගේ බලාපොරොත්තුව ශේෂ රැගෙන කැනඩාව ඇතුළු ලෝකයේ තවත් බොහෝ රටවල්වලට සිනමාමය යාත්‍රාවක යෙදීමයි...
ඉතින් ඒ ශේෂ මෙහෙටත් එනතුරු අපි බලාගෙන ඉන්නවා.
ඔව්... කියන්න දන්නැති චිත්‍රපට සංඛ්‍යාවක් පෝලිමේ වැලපෙන රටක අපි මෙහෙ හැදෙන චිත්‍රපට බලන්න අවුරුදු ගණන් බලාගෙන ඉන්නවා...
ඒ නිසා ශේෂ ඉක්මනින් මෙහෙට ආවත් නැතත්., ලෝකය වටේ හෝ ලාංකික සිනමාමය මුද්‍රාවත් රැගෙන යාත්‍රාවක සැරිසරන්නට ශේෂට සුබ පැතුම්!
• සංජීවිකා සමරතුංග