2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

ඉතින් ඒ එදා... මතක මනරම් ඉතින්...

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

ළා රත්තරන් පාට ඉර එළිය පොළොව සිපගත්ත චමත්කාරවත් ඇසිල්ලේ දුටු-සතුටු සිත් ඇති දරුවන් එක්ක මම.
අහන්න...

ඒ දවසට මම මේ තත්ත්පරයේත් ආදරෙයි. ජීවිතය කියන්නෙම තත්ත්පර සමුදායක සමුච්චයකට. ඔයා දන්නවද? මට මතක් වුණේ ඛලීල් ජිබ්රාන්ව... මම ආදරෙයි ඛලීල්ට... ඇයි දන්නවද? එයා ලියපු පොත් පිටු අස්සේ මම පුංචි දැරිවියක් කාලේ ඉඳන් හුස්ම ගත්ත හින්දා. සැර වචනවලට රිදෙන කාටවත් නොපෙනෙන මගේ හිතේ අහුමුළු එයා පොත් පිටු අස්සේ ඉඳගෙන ඉසියුම්ම සීරුවෙන් පිරිමදින හින්දා...
ඛලීල් ජිබ්රාන් දවසක් මෙහෙම ලියුවා.

දරුවන්ට ආදරය කරන්න. එහෙත් ඔබගේ සිහින, බලාපොරොත්තු, ආකල්ප සහ අභිලාෂ දරුවන්ට නොදෙන්න... මක් නිසාද යත් දරුවන්ට දරුවන්ගේම සිහින, බලාපොරොත්තු ආකල්ප සහ අභිලාෂ ඇති හෙයිනි. 

ඉතින් ඒ සියල්ල මම ඔයාට සිහිපත් කළේ මගේ ජීවිතයේ මට හමුවූ ආදරණීයම ගුරුතුමාත් ළඟ රැඳුණු බිමක ඉඳගෙන. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්... ඒ තමයි මගේ ආදරණීයම ගුරුතුමා. ඉතින් ලක්මාලි ගුරුතුමිය, නිල්මිණි ලක්මාලි සේනානායක නැටුම් ගුරුතුමියගේ සෙනෙහස් ඕවිල්ලේ නර්තනයේ රංග ලීලා උගනින ලක්මාලි කලායතනයේ දරුවන් එදා කැස්බෑව වලව්ව බිමට ආවේ ලක්මාලි රංගායතනය තුන්වැනි වරටත් පැවැත්වූ අවුරුදු උත්සවයේ රසසාර චමත්කාරය විඳගන්න...

අහන්නකෝ ඉතින්... අවුරුදු උත්සවයක් තමයි. ඒත් අවුරුදු උත්සවයක්ම නෙවෙයි. එරබදු මල් පිපිලා අවුරු උත්සවය හැඩවත් කළේ කෙළි සෙල්ලම්, සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා විතරක්ම නෙවෙයි. වයන තාල අනුව රඟන රංගලීලා ඒ දවසට ගෙනාවේ අමුතු ලස්සනක්. කවර ලෙසකින් ඉපදුණත්, කවර කිරකින් හැදී වැඩුණත් දරුවන් කියන්නෙ දරුවන්... රෙදි හැට්ට ඔසරි ඇඳගෙන පුංචිම දරුවන් නටද්දි අනේ ඇත්තමයි හිතුණේ නෑ මට මොහොතකටවත් ඇස් දෙක අහකට ගන්න...

ඉතින් ලක්මාලි ගුරුතුමියගේ ආදරණීය ආරාධනය පිළි අරගෙන එදා එරබදු මල් පිපිලා සුවඳට තවත් සුවඳක් එකතු කරන්න එදා ඒවි යැයි මම නොහිතුව, ඒත් මම දන්න, දන්නෙ කොහොමද ඇහුවොත් කලාවත් එක්ක අපේ හිත් යා වෙන තැනකදි මට හමුවුණ... ඔහ්... මම මෙතෙක් ‘සිංහයෙක්’ බව නොදැන සිටි රසවතෙක් වෙච්ච හිතව​ෙතකුත් ඇවිත් හිටියා... දන්නා තරමටම නාඳුනන බැඳීම් හමුවීම් හිතවත්කම් එහෙම නොවේද ඉතින් එහෙම හිතුණා මටත්...

එදා පුංචි හිත් තුටු කරන්න පොත් කට්ටල දරුවන්ට ත්‍යාග ලෙස තිළිණ කිරීමේ වගකීම් දෙවුර දරාගෙන තියෙන්නේ හෝකන්දර සිංහ සමාජය කියලා මම දැනගත්තේ ඒ මොහොතේ... ඉතින් ඇත්තටම හෝකන්දර සිංහ සමාජය ගැන මට නොලියා ඉන්න නොහිතෙන්නේ මනුෂ්‍යත්වය වචනවලින් නෙවෙයි සත්ක්‍රියාවන්ගෙන් මේ යැයි කියන්න මෙතෙක් හෝකන්දර සිංහ සමාජය කළ මහා මෙහෙවර සහ කරන මහා මෙහෙවර ගැන සිංහ සමන් සහ සිංහ මනෝජ් ද සිල්වා මම අහපු ප්‍රශ්නවලට උත්තර විදිහට කියද්දි. මේ ලෝකයේ පුළුවන් හැම මනුස්සයෙක්ම සිංහ සමාජයක සිංහයෙක් වෙනවනම් මේ ලෝකය කොයි තරම්නම් සුවදායී මනරම් තෝතැන්නක් වෙයිද කියලා ඉතින් හිතුණා මට. ජාති ආගම් පන්ති කුල භේදවලින් වියුක්තව මනුෂ්‍යත්වය සහ ආදරය සංකල්පය කරගත් මානුෂිය මෙහෙවර සහ සත්කාරය සිහිනය කරගත් සිංහයන්ගේ හදවත් ලස්සන වගට සාක්ෂි සනිටුහන් කරමින් හෝකන්දර සිංහ සමාජයේ සභාපති සිංහ මනෝජ් ද සිල්වා සහ චිත්‍රපට නිෂ්පාදක කලාවේදී සිංහ සමන් අලංකාර ඇතුළු සිංහ සාමාජික පිරිසක් එදා දරුවන් වෙනුවෙන් පොත් කට්ටලය බැගින් ත්‍යාග පිරිනමන්නට දුන් අනගි දායකත්වය ඒ පුංචි හිත් තවත් සතුටින් පිරෙව්වා... මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් ගුරුතුමත් ඒ සත්කාරයට දායකත්වය දුන් හැටිත් සොඳුරුයි... ඒ වගකීම දෙවුර දරාගත් සිංහ සමන් අලංකාරට මමත් ස්තූතියි කියන්නෙ දරුවන්ට දුන් සතුට වෙනුවෙන්...

හොරණ අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශක සරෝජා කන්නන්ගර ගුරුතුමිය, සංස්කෘතික නිලධාරිනී ලලිනි එස්. පේමසිරි, ප්‍රවීණ ගායිකා රූපා ඉන්දුමතී, ප්‍රවීණ රංගන ශිල්පිනී නිලංගනී පෙරේරා, චරන කත්‍රිආරච්චි හිතවතාණන්, කැස්බෑව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති නන්ද උඩුවල, මේ ආදී සම්භාවනීයන්ගේ සුසංයෝගයෙන් වර්ණවත් වූ ඒ දවසට ආව ආරාධිතයෙක්ගේ නමක් ලියන්නට නොහැකි වුණානම් ඒ ලක්මාලි ගුරුතුමියගේ වරදින් නෙවෙයි... මගේ වරදින්. ඉතින් සමා කරනු මැන එහෙම වුණානම්.

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය... ඉතින් සතුට හිත රැඳුණු මතකයත් කොයි තරම් නම් සොඳුරුද හිතවත...

• සංජීවිකා සමරතුංග