2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

අප්පා අවුරුදු ඔළු කරකුට්ටං!

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

අවුරුද්ද කියන වචනයට තියෙන එක්තරා අර්ථයක් තමයි “අව්ව රුදුවෙන කාලය”‍ කියන පැහැදිලි කිරීම. ඒත් ඇත්තටම අව්ව විතරක්ම නෙවෙයි, ගොඩක් දෙනෙක්ට අවුරුද්ද කියන්නේ සතුටකට වඩා රුදුරු හැඟීම් දැනෙන කාලයක්.
“වසන්තයේ මල් හැමතැනම පිපිලා. ගොවියෝ අස්වනු නෙලලා, අතමිට සරුසාර කරගෙන. ළමා ළපටි සතුටින් කෙළි සෙල්ලම් කරනවා. වැඩිහිටියොත් සාම්ප්‍රදායික කෙළි සෙල්ලම්වල නිරත වෙනවා. ගම හාමිනේලා, ගම මහගෙලා, කුමාරිලා, මැණිකෙලා පිටි කොටනවා, අවුරුදු කැවිලි හදනවා. තව පැත්තකින් තෙල් වළං ළිපේ තියලා. පොඩි එවුන් කැවුම් ගෙඩියක් කන්න බලාගෙන වටේ කැරකෙනවා. අත්අම්මලා රබන් සුරල් වයනවා.”‍

ඇත්තටම අතීතයේ අවුරුද්ද ගැන මේ විදියට දිග ලස්සන වර්ණනාවක් කරගෙන යන්න බැරිකමක් නැහැ. ඒත් ඇත්තම කතාව තමයි තවදුරටත් ඔය කියන අවුරුද්ද අපිට උරුම දෙයක් නෙවෙයි.

රාජ්‍ය සේවකයෝ ලබන මාසෙ පඩිය කලින්ම අරගෙන. සමහරුන්ට බෝනස් එකට කීයක් හරි හම්බවෙලා. එක්කෝ සමහරු ‘ෆෙස්ස්ටිවල් ලෝන්’ එක ගහලා. ඔය දෙක තුනම නැති අය කොහෙන් හරි අතමාරුවක් කරගෙන. ඔය මුකුත්ම නැති අයගේ ඔළුව තෝන්තු වෙලා මේ වෙනකොට සියදිවි නසාගන්නත් හිතිලා. කොහොමින් කොහොම හරි ඒ හැමෝම අලු‍ත් අවුරුද්දට ලෑස්ති වෙනවා.

“අපිට නැතත් පොඩි එවුන්ට ඇඳුමක් අරන් දෙන්න ඕනෑ. කාර්යාලයට අලු‍ත් ඇඳුමක් අවුරුද්දෙන් පස්සේ ඇඳගෙන ගියේ නැත්නම් වස ලැජ්ජාවයි. පොඩි එක්කෙනාගේ ‘නර්සිරි’ එකේ අවුරුදු උත්සවය, ලොකු එක්කෙනාගේ ඉස්කෝලෙයි, දහම් පාසලෙයි අවුරුදු උත්සවය. ඔය හැම එකටම කීයක් හරි දෙන්න ඕනෑ. අඩු ගාණේ කැවිලි ටිකක් හරි හදාගෙන යන්න ඕනෑ. ඒ විතරක්ද, චාරිත්‍ර මඟහරින්න බෑ. ගෙදර කිරි උතුරවලා චාරිත්‍ර ටික හරියට කරන්න ඕනෑ.”‍

තවදුරටත් අවුරුද්දට පිපෙන රතු පාට එරබදු මල් ගැනවත්, වත්ත පහළ කෑගහන කොහා ගැනවත් හිතන්න වෙලාවක් අපේ මිනිස්සුන්ට නැහැ. අතමිට හිඟ කාලෙට අවුරුද්ද කියන්නේ බොහොම රුදුරු අත්දැකීමක්. විශේෂයෙන්ම මේ වගේ ආර්ථික අහේනියක් තියෙන කාලයක අලු‍ත් අවුරුද්ද කියලා පරිවර්තනය වෙන මාධ්‍ය සංදර්ශනය මිනිස්සුන්ගේ ජීවිත කාබාසිනියා කරලා දානවා.

තිත්ත වුණත් ඇත්ත කියන්න වෙනවා. මොකද මේ කතාව කවුරු හරි, කවදා හරි ප්‍රසිද්ධියේ කියන්නම ඕනෑ කතාවක්. ඇත්තටම තවදුරටත් අලු‍ත් අවුරුද්දේ සතුට තියෙන්නේ අපේ ගෙවල්වල නෙවෙයි, රෙදි කඩවලයි, රූපවාහිනී ආයතනවලයි, අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන් කරන ලොකු ලොකු සමාගම්වලයි විතරයි. ඇත්තටම එයාලට නම් අවුරුදු. මේ බක්මහ ඉවර වෙනකොට ඒගොල්ලන්ට අවුරුදු කාලයේදී විශාල ලාබයක් හොයාගන්න පුළුවන්. ඒත් මේ රටේ බහුතරයක් ලබන මාසේ ජීවත් වෙන විදිහ ගැන තාම හිතලා නෑ.

“අවුරුද්දට ගෙදර කට්ටියම ‘ෂොපින්’ එක්කගෙන නොගිහින් බැහැ. යන්නම වෙනවා. ලොකු ලොකු පෝලිම්වල හිටියත් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අරන් දෙන්න ඕනෑ. සමහර වෙලාවට යන ගාණ හිතාගන්න බැහැ. මේවාට සල්ලි හොයාගත්ත විදිහ ගෙදර අයවත් දන්නේ නෑ.”‍

සමහර මහත්වරුන්ගෙන් මේ වගේ මැසිවිලි ඕනෑ තරම් මේ කාලේ අහන්න ලැබෙනවා. පෝලිම්වල ඉඳලා රෙදි කඩවලට ගියාට කමක් නැහැ කියමුකෝ. පහුගිය දවසේ කුරුණෑගල පැත්තේ ලොකු රෙදි කඩයක් සම්ප්‍රදායේ ආපදාවට ලක්වෙලා තියෙනවා අපි දැක්කා. අවුරුදු චූන් එක කොච්චර වැඩිවෙලා තියෙනවද කියලා කියන්නේ, සමහර කඩ ඉස්සරහ පෝලිම කිලෝමීටර් ගාණක්. මේ පෝලිම් දැක්කම සමහරු කියනවා ඔය මිනිස්සුන්ට සල්ලි නැහැ කිව්වට ඕනෑ තරම් තියෙන්නේ කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි.

අපේ රටේ මිනිස්සුන්ට ඔය කියන තරම් සල්ලි නෑ. රැල්ල පස්සෙ යන්න උවමනාව නම් ඕනෑවට වඩා වැඩියෙන් තියෙනවා. මේ රැලි හදලා තියෙන්නේ චිරාගත සම්ප්‍රදායානුකූලව අපේ රටේ ජීවත් වුණු රාජ රාජ මහමාත්‍යවරුවත්, හෙළයේ වියතුත් පඬිවරුන්වත් නෙවෙයි. බහුතරයක් මාධ්‍ය බාසුන්නැහැලයි, මාර්කටින් මහත්වරුයි, හූරං කන්න බලාගෙන ඉන්න මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයනුයි එකතු වෙලා.

අවුරුද්දට ගෙවල් දොරවල් අස්කරනවා කියලා කියන්නේ තවත් මහ කරදරයක්. අවිඥානිකවම මේ කාලයට තීන්ත ටිකක් ගාන්න ඕනෑ, මේ කාලයට ගෙවල් දොරවල් අස්පස් කරගන්න ඕනෑ කියලා හැඟීමක් අපේ රටේ මිනිස්සුන්ට ඇතිවෙනවා. අවුරුද්දේ ඕනෑම කාලයක ඕනෑම විදිහට ඒ වැඩේ කරගන්න පුළුවන් වුණත් අවුරුද්ද කියලා කියන්නේ ඒ සඳහා නිවාඩු පාඩුව, නිදහස තියෙන කාලයක්. එහෙම තමයි තවමත් අපි හිතන්නෙ. ඇත්තටම ඒ කතාවත් දැන් ගොඩක් වෙනස් වෙලා. අවුරුද්දට ගෙවල් දොරවල් අලු‍ත් කරනවා කියලා කියන්නෙම, අවුරුදු වියදම් වැඩිවෙලා ණය තුරුස් වැඩි වෙන වැඩක්.

ඒවා විතරකුත් නෙවෙයි, ජ්‍යොතිෂවේදීන් කියන මහත්වරු මේ දවස්වල මාධ්‍ය තුළත් බොහොම කාර්යබහුලයිනෙ. අවුරුදු පලාඵල රටටම කියනවා. අපේ සම්ප්‍රදායට අනුව නම් කොහෙන් ආපු අවුරුදු පලාඵලයක්ද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මිනිස්සුන්ගේ ඔළු කරකුට්ටන් වෙලා යන අවුරුදු පලාඵල තමයි මෙයාලගෙන් අහන්න ලැබෙන්නෙ. ගොඩක් වෙලාවට මෙයාලා පලාඵල කියන්නේ ග්‍රහයෝ දිහා බලනවා වෙනුවට රටේ ආර්ථිකය දේශපාලනය දිහා හරහට බලලා.

අනාවැකි කිව්වට කමක් නෑ කියමුකෝ. මේගොල්ලෝ අවුරුදු නැකැත්වලටත් ගහමරා ගන්න පටන් ගන්නවා. ගිය අවුරුද්දේ නැකැත් ජාති දෙකක් තිබුණා. මොන නැකැත ගන්නද කියලා හිතාගන්න බැරුව මිනිස්සු හිටියේ අනාථ වෙලා. නැකැත කියලා කියන්නේ හරිම අපූරු වටිනා සාම්ප්‍රදායික අංගයක්. ඒක තුළ තියෙන අර්ථය සහ වටිනාකම පිළිබඳව අපි මොකුත් කියන්නේ නෑ. ඒ සාම්ප්‍රදායික වටිනාකම් අනාගතයට සුරක්ෂිත වෙන්න ඕනෑ. නමුත් ඒක වෙන්න ඕනෑ මේ ග්‍රහ මුදලාලිලාගේ උවමනා එපාකම් අනුව නෙවෙයි.

අනිත් පැත්තෙන් අවුරුද්දේ දැන් අලු‍ත්ම නැකැත තමයි සූදු කෙළීමේ නැකැත. ගම්වල ගොඩක් වෙලාවට බූරුපිටි හොඳටම නැගලා යන්නේ මේ කාලයට. ගමේ අවුරුද්ද කුඹුරු බඩවැටිවල සතුට උතුරා යන එකක් වෙන්නේ නැහැ. බූරුපිටිය දහස් ගණනක් මිනිස්සු පරදින, කැට පොළේ ඇනකොටා ගන්න එකක් බවට මේ වෙනකොට පත්වෙලා ඉවරයි. ශ්‍රී ලංකාවේ පොලිසියෙන් ඇහුවොත් කියයි ලංකාවේ අවුරුදු කාලයට තියෙන බූරු පොළවල්වලයි කැට පොළවල්වලයි තරම. සමහර බූරුපොළවල් රුපියල් කෝටි ගණන් හුවමාරු වෙන තැන්. ලක්ෂ විසි තිස් ගණන්වල කැට පොළොවල් ඕනෑ තරම් රට වටේ තියෙනවා.

මේ බූරු පොළවල්වල, මේ කැට පොළවල්වල තරගයට සූදු කෙළින්නේ පිරිමි විතරක් නෙවෙයි. ගැහැනුත් ඕනෑ තරම් ඉන්නවා. අවුරුදු කෙළි සෙල්ලම් සම්ප්‍රදාය කවදද අපිට සූදුව අවුරුද්ද වෙනුවෙන් හඳුන්වලා දුන්නෙ? ටීවී එකේ අවුරුදු කාලයට විතරක් පේන්න එන, සම්ප්‍රදාය ගැන මහ ලොකු කතා කියන මහත්වරු මේවා පැහැදිලි කරන්නේ නැහැ. අං කෙළියේ, ඔළිඳ කෙළියේ, පංච කෙළියේ ඉතිහාසය ගැන නම් එයාලා ලොකු ලොකු කතාන්දර කියනවා. ඒත් මේ බූරු කෙළියේ කතාව කියන්න කෙනෙක් නෑ. දන්න එවුන් බයයි. නොදන්න එවුන් මෝඩයි. ඒ නිසා ඔක්කොම ගොළුයි.

අනිත් පැත්තෙන් අවුරුදු මාසය පුරාවටම එන අලු‍ත් අවුරුදු උත්සව. අවුරුද්දෙම මහන්සිවෙලා වැඩ කරලා, දුක් විඳලා නිසා අවුරුදු උත්සවයකට ගිහිල්ලා විනෝද වෙන එකේ වරදක් නැහැ. එතැන ඇත්තටම විනෝදයක් තියෙනවා. කොහොම වුණත් සම්ප්‍රදාය හරියටම ආරක්ෂා කරන, අවුරුදු ජන ක්‍රීඩා කියලා කරන මරු ක්‍රීඩා ටිකක් නම් මේ දවස්වල අවුරුදු උත්සවවල දැකගන්න පුළුවන්. සම්ප්‍රදාය ඒවායේ හරි හරියට ආරක්ෂා වෙනවා කියලා පේන්න තියෙනවා. රූපවාහිනී අවුරුදු උත්සවවලත් තත්ත්වය ඕකම තමයි. එයාලා වෙළෙඳ සන්නාම කිහිපයක් එකතු කරගෙන කෝටි ගාණක් අවුරුදු උත්සවයෙන් හම්බ කරන්න තමයි ඔය මගඩිය කරන්නෙ.

අවුරුදු උත්සවය ඉවරවෙලා ඕනෑනම් සංගීත සංදර්ශනයට සෙට්වෙලා කැඩෙන්න ගහලා කැමති කට්ටියට සාම්ප්‍රදායික නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඇල්කොහොල් සහ අවුරුද්ද අතර තියෙන්නෙත් අපූරු සම්බන්ධයක්. ඒක ගැනත් වෙනම කතා කරන්න වටිනවා. ඒත් ඇත්තටම මේ දේවල් කතා කරන්න ගියොත්, ගොඩක් දෙනෙක් එක්ක අපිට තරහ වෙන්න වෙනවා. ඒත් කතා නොකරත් බැහැ.
කොහොම වුණත් සිංහල අලු‍ත් අවුරුද්ද කියන්නේ තවදුරටත් අපි හිතාගෙන හිටපු එකනම් නෙවෙයි. නීති රීති දාලා මේවා වෙනස් කරන්න බෑ. ආකල්ප ටික වෙනස් කරගත්තොත් ගොඩක් දේවල් වෙනස් වෙයි. ඒත් ආකල්ප වෙනස් කරගන්න ඔයාට ලේසියෙන් මෙයාලා ඉඩ දෙයි කියලනම් හිතන්න එපා.

ඉතින් අවසාන වශයෙන් නොකිව යුතු කතාවක් කියා අවසානයේ අපි මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා.

මෙදා පාර අලු‍ත් අවුරුද්ද අසුබ නොවේවා...!

• චමිඳු නිසල්