අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද...
ඔබ හා බැඳී හද, අද නොතැවේවිද...
මගෙ හද විල මැද සැලෙන ඕලු පොද...
අද සුපිපේවිද, මගෙ සිත තුටු වේවිද...
දශක ගණනාවක් පුරාවට මනෝරම්‍ය ගී නදින් සුවහසක් ජනතාවගේ දෙසවන් තුටු කළ ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා, තමා හා බැඳි රසික හදවත් දහස් ගණනක් හඬවමින් 2025 ජනවාරි මස 22 දින නැවත හමුනොවන ලෙස අප අතරින් නික්ම ගියේය. පුරා හැත්තෑ පස් වසරක් ආයු වැළඳූ ඔහු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
සුභාවිත ගීතයන්ට පෙම් බඳින්නන්ගේ හදවත්වල සදා නොමැකෙන නාමයක් රැන්දූ අනිල් භාරතී මහතා පානදුර පදිංචිකරුවකු වූ අතර, මොරටුව වේල්ස් කුමර විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. නීතිඥවරයකු වන ෆීලික්ස් භාරතී මහතාගේ සහ නීටා භාරතී මහත්මියගේ බාල පුතණුවන් වූ අනිල් භාරතී, වැඩිමල් සොයුරා නිහාල් භාරතී සහ වැඩිමල් සොයුරිය ශාමිනීගේ ආදරණීය බාල සොහොයුරාය.
කලා අඹරේ පෑයූ දීප්තිමත් තාරකාවක් වන අනිල් භාරතී මහතා, සිය ගායන දිවියේ ආරම්භක පියවර වශයෙන්, හැටේ දශකයේ අග භාගයේදී ''Observer Talent Search'' ගායන තරගයට සහභාගී වී ප්‍රථම ස්ථානය ලබා ගත්තේය. එම ජයග්‍රහණයත් සමඟ ගායන ශිල්පියකු ලෙස ඔහු සතු වූ හඬ පෞරුෂය පිළිබඳ සියල්ලෝම ප්‍රශංසනාත්මකව අගයන්නට වූහ. ඉන්පසු ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව “රේන්ජර්ස්” නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් අතර එහි ප්‍රධාන ගායන ශිල්පියා ද විය.
කාලයාගේ ඇවෑමෙන් 1970 දශකය මුල් භාගයේ "Golden Chimes" සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයා ලෙස සම්බන්ධ වෙමින් සිය සංගීත දිවියේ ස්වර්ණතම යුගයක් ආරම්භ කිරීමට අනිල් භාරතී මහතාට හැකිවිය. එකල එම සංගීත කණ්ඩායමේ නායකයාව සිටි ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධන විසින් පද රචනය සහ සංගීතය මුසු කරන ලද “අද වෙයි ඉරු දින” ගීතය ගායනයෙන් එක රැයෙන් අති විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට අනිල් භාරතී වාසනාවන්ත විය. "Golden Chimes" කණ්ඩායමේ සිටි අවධියේ ඔහු ගීත හයක් පමණ ගායනා කළ අතර ඒ සියල්ල රසිකයන් වැළඳගත්තේ ඉතා ආදරයෙනි. “අද වෙයි ඉරු දින, බෙත්ලෙහෙම් පුරේ, සඳයි තරුයි, මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි, මා මුලින් ලියූ පෙම්පත” වැනි ගීත ඒ අතර විය. එමෙන්ම, “ආවා සොයා, බඹරෙකු ඇදුණා, හිරු උපදින විට ඉසුරුමුණි, නුවර වැවේ, රෝසි මගේ රෝසි, සීතල සඳ එළියේ, සුදු වැලි පාරේ” ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් 1970 සහ 1980 දශකවල අනිල් භාරතී නාමයෙන් සංගීත ලෝකය අතික්‍රමණය කිරීමට ඔහු සමත් විය.
අනිල් භාරතී ගායකයාණන්ගේ ගීත අතරින් විශේෂයෙන්ම පල්ලියේ ගීතාවලි අතරටද එක්වූ, එදත් අදත් එක සේ ජනප්‍රිය නත්තල් ගීතයක් වන, “බෙත්ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ” ගීතය වසර පනහකට අධික කාලයක් පුරාවට ජන හදවත්වල යෙහෙන් වැජඹීමට තරම් ආකර්ෂණීය වූයේ අනිල් භාරතීගේ සුමියුරු වූත්, අති ගැඹුරු වූත් හඬ පෞරුෂය හේතුවෙනි. කරුණාරත්න අබේසේකර ලියූ ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළ “බෙත්ලෙහෙම් පුරේ” ගීතය, 1972 වසරේ කැලණිය, දළුගම සරසවි ස්ටූඩියෝවේදී පටිගත කරනු ලැබීය. සිය ජීවිත කාලය තුළ ගීත 125 කට අධික සංඛ්‍යාවක් ගායනා කළ අනිල් භාරතී මහතා ගායනා කළ ගීත අතරින් ගීත හතළිහකටත් වැඩි ගණනක් “නත්තල් ගීත” වීම හේතුවෙන් ඔහු “ශ්‍රී ලංකාවේ නත්තල් ගීත ගායකයා” ලෙස ප්‍රසිද්ධියට පත් විය. ඔහු 2014 වසරේදී “නත්තල ආවා - නත්තල් ගී සර” නමින් ගීත එකොළහකින් සමන්විත ඇල්බමයක් නිකුත් කළ අතර, 2017 වසරේ දී "Selection of Original Christmas Songs with Anil Bhareti" නමින් නත්තල් ගීත දොළහකින් යුත් තවත් ඇල්බමයක් එළි දැක්වීය.
පසුකාලීනව "Golden Chimes" කණ්ඩායම විසිර යාමත් සමඟ ස්වාධීන මාවතක සංගීතමය චාරිකාව ඇරඹූ ඔහු, ප්‍රසංග සඳහා “අනිල් භාරතී” නමින් තනිව ගීත ගයන්නට ගායන ශිල්පියකු ලෙස එක්විය. තම ජීවිත කාලය තුළ රටවල් 26 ක ප්‍රසංග සඳහා එක්ව ඇති භාරතී මහතා 2003 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී “අනිල් භාරතී Live in Concert” ප්‍රසංගය ද පැවැත්වීය. මෙරට ඉහළම වටිනාකමක් සහිත “කලාභූෂණ සම්මානය” සහ තවත් ඇගයීම් සම්මාන රැසකින්ද පිදුම් ලැබීමට තරම් ඔහු වාසනාවන්ත විය.
ජීවිතයේ සැඳෑ සමය දරු මුණුබුරන් සමඟ සතුටින් කාලය ගත කළ ඔහුගේ ආදරණීය බිරිඳ රූපා භාරතී වන අතර රුචින්ද්‍ර භාරතී සහ ලක්ෂාන් භාරතී ලෙස පුතුන් දෙදෙනෙකි. ප්‍රවීණ ගායකයකු මෙන්ම නිවේදකයකු ලෙස ද කටයුතු කළ අනිල් භාරතී මහතාගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි. ගැඹුරු, බරසාර හඬින් රසික හදවත් ප්‍රබෝධමත් කළ සොඳුරු ගායන ශිල්පියාණෙනි, අපි ඔබට උතුම් වූ නිවන් සුව පතන්නෙමු.
• මංගලා පවිත්‍රාන