2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සිංහල-දමිළ-ඉන්දියානුවන් එක්ව ගී ගයන රාවණ මෙගා මියුසිකල් නයිට් - Clamence Rohan

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

ගීතය, තනුව, සංගීතය, නර්තනය, සිනමාව, මේ ආදී බොහෝ වූ ශානරයන්ගෙන් සුසැඳි කලාව විශ්වීය වස්තුවක් වන්නේ එය කොන්දේසි විරහිතව මානවවාදී චින්තනයන් පුරුෂාර්ථයන් සහ ප්‍රස්තුතයන් සමඟ යා වූ කල්හිය. කලාව අකලංක නිර්මල සුසුවඳවත් කුසුමක් බවට පරිවර්තනය වන්නේ එය ජාති ආගම් කුල පන්ති සමාජ බෙදුම්වාදයන්ගෙන් විනිර්මුක්තව ආදරය සහ මානවවාදී සිතුවිලි දහරාවක් තුළ සංකේන්ද්‍රණය වී අතු විදාහල සඳය. එහෙයින්ම Clamence Rohan යන කලාවේදියා අප හද අබිමුව සුන්දරය.

කලාව හා ඔබේ ආදරය ඇරඹෙන්නේ කොතැනින්ද?
මගේ තාත්තා ඒ.එම්. ජේසුරත්නම් කියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළ කෙනෙක්. මගේ තාත්තා කලාවට හුඟාක් ආදරය කරපු කෙනෙක්. කලාවත් සමඟ විශාල බැඳීමක් තිබුණු කෙනෙක්. එයා නාට්‍ය ශිල්පියෙක්. ඒ වගේම ගායකයෙක්. මම පුංචි කාලේ ඉඳන් තාත්තා එක්ක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ආවා ගියා. මම අවුරුදු අටක් තිස්සේ සංගීතය ඉගෙන ගත්තා. අවුරුදු 15 දී තමයි මම ප්‍රසංග කරන්න පටන් ගත්තෙ. මගේ පළමු ප්‍රසංගය මම කළේ ටවර් හෝල් එකේ. ඒ ප්‍රසංගය තමයි Ragadeebangal.

ඒ සමාරම්භය කලාව හා යා වූ ජීවිතය උදෙසා තවත්, තව තවත් මංපෙත් රැසක් විවර කළේය. ඕගන් වාදකයෙක් ලෙස ඕගනය හා බැඳි ළයාන්විත ස්නේහය ඔහු වාදකයෙක් ලෙසද බොහෝ දුරක් රැගෙන ගියේය. 2002 වර්ෂයේ Cyclone Musical band හි ආරම්භය සනිටුහන් කළ රොහාන් Ganappuyal ප්‍රසංගයට අමතර සංගීත ඇල්බම් විෂයෙහිද තම ආලය විහිදවූයේය. Megam Maraith Paalnila, Idayam, Swarangal Vol 1 සහ 2 රොහාන්ගේ කලා ජීවිතයේ කඩඉම් කිහිපයකි. පසු යුගයක සංගීත ශබ්දාගාරයක් (Music Studio) ආරම්භ කළ රොහාන් චිත්‍රපට කිහිපයක සහ තවත් කෙටි චිත්‍රපට කිහිපයක සංගීතය නිර්මාණය කළේය.
ඉතින් කලාව හා යා වෙච්ච ඔහුගේ දිවි ගමනට අවුරුදු විසි තුනකි.

මගේ ජීවිතයේ මට අල්පමාත්‍රයකින් හරි උදව්වක් කළ කිසිවෙක් මට අමතක කරන්න බෑ. ඒ හැමදෙනාටම මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. කෝපි කඩේ පාලගේ චරිතය නිරූපණය කළ උපසේන සුබසිංහගේ පුතා සමීර ඒ සියලු දෙනා අතරින් මගේ ජීවිතයට පුදුම විදිහට උදව් කළ කෙනෙක්.

කිසිවක් ආපිට නොඉල්ලමින් උදව් කරන මිනිසුන් හරිම විරලයි. සමීර ඒ වගේ කෙනෙක්. රොහාන් කෘතවේදීත්වයෙන් පවසයි. කලාව හා ජීවිතය ස්පර්ශ කළ රොහාන් Thendral සහ Kanavaa යන කෙටි චිත්‍රපට සඳහාත් Udaintha Panai Maram සහ Sippikul Muttu යන සිනමා වියමන් සඳහා ද සංගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයෙකි.

2022 වර්ෂයේ Cyclone Musical Solution Rathnakala Award show සංවිධානය කළ රොහාන් ඒ සම්මාන උළෙල ඔස්සේ වඩාත් ප්‍රසංශනීය ඇගයුමක් ලාංකික කලා ක්ෂේත්‍රයට එක් කළේය.
මගේ හිතේ තිබුණු පුදුම ආසාවක් තමයි සිංහල සහ දමිළ කලාවේදීන් සහ ඇගයිය යුතු තවත් පිරිසක් එකම වේදිකාවකදී ඇගයීමට ලක් කිරීම. රත්නකලා සම්මාන උළෙලේදී මම කළේ ඒ දෙයයි. දිගටම මම ඒ කලා උළෙල පවත්වනවා. ඇත්තටම කලාව කියන්නේ කලාවට. එය කිසිදු ජාති ආගම් කුල පන්ති වාරණවලින් හෝ කිසිදු බෙදීමකින් කිලිටි විය යුතු නෑ. ඒ රොහාන්ගේ සිතුවිල්ලය.

2009 වසරේදී ඉතාලියට ගිය රොහාන් හය වසරක් ඉතාලියේ ගත කළේය. එහෙත් තමන් ජන්මලාභය ලද භූමියට ඇති අප්‍රමාණ ස්නේහයත් කලාවට ඇති ආදරයත් නිසාම රොහාන් නැවත ලංකාවට පැමිණියේය.

ශාස්ත්‍රීය සංගීතයට මම හරිම ආසයි. විශේෂයෙන් ශාස්ත්‍රීය රසයක් උත්පාදනය කරන තනුවලට මම හරිම ආසයි. මගේ සංගීත ජීවිතයේ පරමාදර්ශී චරිතය තමයි එම්.එස්. විශ්වනාදන්. එයා ඉන්දියාවේ ඉතා විශිෂ්ට සංගීතවේදියෙක්. මගේ තාත්තාගේ කලා ජීවිතයට අවුරුදු 30 ක්. ඒත් තාත්තාගේ කලා ජීවිතය හුඟාක් සීමාසහිත වුණා. අද වෙද්දි තාත්තා ජීවතුන් අතර නැතත් තාත්තා කලාව වෙනුවෙන් ඉටු කරන්න දරපු ප්‍රයත්නය අති විශිෂ්ටයි. මට ඕනෑ තාත්තා දේශීයව කරපු දෙය විශ්වීය මට්ටමට අරගෙන යන්න.

රොහාන් පවසයි.

යාපනයේ ඉන්න කලාවේදීන් දකුණේ ඉන්න කලාවේදීන් අඳුරන්නෙ නෑ. දකුණේ ඉන්න බොහෝ කලාවේදීන් යාපනයේ ඉන්න අය අඳුරන්නෙ නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?
එය නම් වෙනස් විය යුතුමයි. ඇත්තටම ඒක ඛේදවාචකයක්. කලාව සහ කලාවේදීන් කියන්නෙ හැමෝටම අයිති දෙයක්. එය කිසිවකුගේ පෞද්ගලික හෝ සීමාසහිත රාමුවක් තුළ රාමුගත විය යුතු දෙයක් නෙවෙයි. ඇයි කලාව යාපනයේ සහ දකුණේ විදිහට බෙදන්නේ. එහෙම බෙදනවනම් එතන කලාව නෑ. අපි හැමදෙනාම මනුෂ්‍ය කුලකයේ. සංස්කෘතිය, ජාතිය, ආගම, කුලය, මේ සියල්ල භෞතික වෙනස්කම් පමණයි. ඒත් ආධ්‍යාත්මිකව අපි බැඳෙන්න ඕනෑ ආදරය සහ මනුෂ්‍යත්වය තුළ පමණයි. කලාව වෙනුවෙන් අපේ ආදරයත් කොන්දේසි විරහිත බැඳීමක් විය යුතුය. ඒ වගේම කලාව වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමත් ඉතා සුබවාදී සහ සහනදායී විය යුතුයි. දරාගන්න බැරි බදු ප්‍රතිපත්ති කලාවට අදාළ නොවිය යුතුයි.

රාවණා මෙගා මියුසිකල් නයිට් ඔබේ දැවැන්ත නිර්මාණ කාර්යයයි?
පෙබරවාරි 14 වැනිදා මඩකලපුවේ පවත්වන එම දැවැන්ත ප්‍රසංගයට සිංහල, දමිළ සහ ඉන්දියානු කලාවේදීන් සම්බන්ධ වෙනවා. සිංහ සමාජය (Lion club) හරිම කැමැත්තෙන් මට කතා කරලා මේ ප්‍රසංගයට තම හිතෛෂී දායකත්වය ලබා දුන්නා. ඒ සම්මිශ්‍රණයට මම හරිම කැමතියි. ඉන්දියානු ශිල්පීන් තුන්දෙනෙක් එනවා. ඇත්තටම මට ඕනෑ සංගීත ක්ෂේත්‍රය තුළ නවමු සංස්කෘතියක් ගොඩනංවන්න. ඉන්දියානු ශිල්පීන් සහභාගිවෙන ප්‍රසංගවල ප්‍රවේශපත්‍ර විකිණෙන්නේ ඉතා ඉහළ මිලකට. ඒත් මගේ මේ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර විකුණන්නේ ඉතාමත් සහන මිලකට. ලංකාවේ ඇතිවෙලා තියෙන සංස්කෘතියක් තමයි ඉතා විශාල මිල ගණන් ගෙවලා ඉන්දියානු ශිල්පීන් ගෙන්වා ප්‍රසංග පවත්වනවා. ඒ අධික මිල සහිත ප්‍රවේශපත්‍ර හුඟාක් අයට මිලට ගන්නත් බෑ. අනෙක් කාරණය එවැනි ප්‍රසංග පැවැත්වීමට වියදම් කරන අති විශාල මුදල ඇයි අපේ කලාවේ අභිවෘද්ධියට යොදවන්න බැරි. නව සිනමා නිෂ්පාදන වෙනුවෙන් යොදවන්න බැරි. ලංකාවට ගෙන්වන එවන් ශිල්පීන් නඩත්තු කිරීමටත් විශාල මුදලක් වැය කරනවා. ඇත්තටම මම මේ ප්‍රසංගයට ඉන්දියානු ශිල්පීන් ගෙන්නුවේ එවන් විශාල මුදලක් වැය කරලා නෙවෙයි. අපේ රටේ සිංහල, දමිළ ඉතාමත් දක්ෂ කලාවේදීන් ඉන්නවා. ඒ අයගේ හැකියාවන් ඔප්නංවන්න නිර්මාණ අවශ්‍යයි. අපි අපේ රටේ කලාව අලුත් අරමුණු තුළ ප්‍රබල කර්මාන්තයක් විදිහට ගොඩනගමු කියන එකයි මගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනය.

• සංජීවිකා සමරතුංග