හරවත් ගුණාත්මක වැඩසටහන් පුංචි තිරය හරහා ඔබේ ආලින්දයට ගෙන ඒමට මූලික වූ ඔහු, නමින් සුනිල් ප්‍රේමරත්නය. නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඔහුගේ වෘත්තීය දිවි ගමනේ හරවත් තැන් සොයා යන “හදසර” කතාබහයි මේ.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල මම දොරමඬලාව වැඩසටහනේ නිෂ්පාදක කාර්යය කරනවා. ඒ වගේම ආර්ථිකය සහ ඩොලර් ඉපැයීම ගැන කතා කරන Hope වැඩසටහනට දායක වෙනවා. ජාතික ලොතරැයි දිනුම් ඇදීමේ අධීක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරනවා. රන්බිමට අරුණැල්ල, උදා විකාශය, පිනි වියන යන වැඩසටහන්වලට මම දායක වෙනවා. ඉදිරියේ දී මම සේවය කරන ITN ආයතනයෙන් විශ්‍රාම ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා.
නිෂ්පාදකවරයෙක් සහ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන කතා කරමු?
1992 වසරේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා පුහුණුවන නිෂ්පාදකවරයෙක් වශයෙන් ජාතික ආධුනිකත්ව මණ්ඩලය ඔස්සේ සේවයට බැඳුණා. වසරක තුනක සේවා ගිවිසුමකට නිෂ්පාදන සහකාර වෘත්තියේ පුහුණුවීම් යටතේ සේවය කළා. කාලසීමාව අවසානයේ සහය නිෂ්පාදකවරයෙක් ලෙස තවත් වසර දෙකක් සේවය කළා. මේ වනවිට වසර තිස් හතරක් පුරාවට විවිධ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. මම නිෂ්පාදනය කරන වැඩසටහන්ම පමණක් නෙවෙයි, අවුරුදු උත්සව, බෞද්ධ වැඩසටහන්, ගීත වැඩසටහන්, සජීවී වැඩසටහන් ආදියට මම මගේ සහයෝගය ලබා දුන්නා. වැඩසටහනක් කියන්නෙ කිසිම වෙලාවක තනි පුද්ගලයකු කරන දෙයක් නෙවෙයි. බොහෝ පිරිසකගේ එකතුවෙන්, සහයෝගයෙන් කරන වැඩ කටයුත්තක්. ඉතින් ඒ වගේ දේකදි මම කිසිම භේදයකින් තොරව අන් අයටත් සහයෝගය ලබා දුන්නා.
ක්ෂේත්‍රය තුළ ඔබ මුහුණදුන් අභියෝග මොනවද?
මම මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ තාක්ෂණය මෙතරම් දියුණු වෙලා තිබුණේ නෑ. ‘මොබයිල් ෆෝන්’ එකක පහසුකම්වත් හරියට තිබුණෙ නැහැ. ඒ වගේ පසුබිමකදී දැනුම හොයාගන්න එක, අපි කරන දේ මිනිසුන් අතරට රැගෙන යන එක ගොඩක් දුෂ්කර වුණා. නමුත් ජනමාධ්‍යවේදියා ජනතාවත් එක්ක සිටිනවා වගේම ජනතාවට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්න ඕනෑ. ඒ කියන්නෙ අපි ජනතාවට නිතරම නිවැරදි දේ සහ හරිම දේ ලබා දිය යුතුයි. ඒ නිසා ඒ කාලේ අඩු තාක්ෂණික පහසුකම් යටතේ අපි බොහෝ දේවල් පොතපතින් ඉගෙනගෙන, නැත්නම් ඇසූපිරූ පුද්ගලයන්ගෙන් ඉගෙනගෙනයි ජනතාව වෙත රැගෙන ගියේ. ඉතින් අපිට ඒ කාලේ ඒ අභියෝගය තිබුණා.
අද වෙනකොට තාක්ෂණික දියුණුවත් සමඟ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. වර්තමානයෙත් අපිට අභියෝගයක් තියෙනවා. මොකද සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍යවලින් නොදැනුවත්කමින් වගේ බොරු දේවල් සමාජගත වෙනවා. නමුත් සැබෑ ජනමාධ්‍යවේදියකුගේ කාර්යය තමයි ජනතාවට නිතරම සත්‍ය තොරතුරු ලබාදීම.
කලා ක්ෂේත්‍රයට එන නවකයන්ට ඔබ ගොඩක් උදව් කළා. ඒ ගැනත් කතා කරමු?
මම පාසල් කාලයේ පටන්ම ගායනයට දක්ෂතා දක්වපු කෙනෙක්. පාසල් කාලයේ ගායනා තරගවලින් ජයග්‍රහණ පවා ලබා තියෙනවා. සරල ගී ගායකයෙක් වශයෙනුත් මම කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව මම ගායනය මඳකට නවත්වලා රූපණය, වැඩසටහන් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කියන ක්ෂේත්‍රයට නැඹුරු වුණා.
මම ITN ආයතනයේ සේවය බැඳුණට පස්සේ ඈත ගම්දනව්වල ඉන්න ගායනයට කැමති තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න ඕනෑ කියන දේ මගේ හිතේ තදින් තිබුණා. ඒ අනුව සංගීත කණ්ඩායම්වලට, ගායනයට දක්ෂ අයට මම අපේ ආයතනය සහ තවත් ආයතන ඔස්සේ අවස්ථාව ලබා දුන්නා. “ශයිනි ගර්ල්ස්” කියන සංගීත කණ්ඩායමටත් ඒ වගේම තවත් සංගීත කණ්ඩායම් රැසකටත් ඉදිරියට එන්න අවස්ථාව ලබා දුන්නා. ‘රන්තරු බෑන්ඩ් ෂෝ’ වැඩසටහනත් එවැනි දෙයක්. නවක සංගීත කණ්ඩායම්වලට අතහිත දීමෙන් මම විශාල ආත්ම තෘප්තියක් ලැබුවා.
ඒ වගේම පාසල්වලින් සහ වෙනත් අධ්‍යාපන ආයතනවලින් අපගේ ආයතනයේ පුහුණුවට සහ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සිසු සිසුවියන්ටත් මේ ආයතනය තුළ ඉගෙන ගන්න, මධ්‍ය ගැන හදාරන්න අවශ්‍ය පසුබිම අපි කණ්ඩායමක් වශයෙන් සකස් කරලා තියෙනවා.
ඔබගේ වෘත්තීය ජීවිතයේ රසවත් මතකයන් අවදි කරමු?
මගේ වෘත්තීය ගමන ඇතුළේ රසවත් මතකයන් ගොඩක් තිබෙනවා. ‘ස්ටාෆ්’ එකත් එක්ක Out satiation Broadcasting වලට යනවා. ඒ යනකොට වෙලාවකට ලොකු කට්ටක් කන්න සිද්ධ වෙනවා. “දුකම මොන තරම් සතුටක්දෝ” කියලා අපි හරිම විනෝදයෙන් ඒ කටයුතුවල නිරත වෙනවා. ඇතැම් වෙලාවට අපි crew එකක් විදිහට එළියට යනකොට සමහර අය අතරේ පොඩි පොඩි හිත් අමනාපකම් තියෙනවා. හැබැයි අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඒ අදාළ වැඩේ ඉවර කරලා ආපහු එනකොට අපි එන්නෙ පරණ හිත් වේදනා ඔක්කොම අමතක කරලා, බොහොම සුහදත්වයෙන්. ඉතින් ඒ වගේ රසවත් මතක ගොඩක් තියෙනවා.
ලැබුණු සම්මාන හා අගය කිරීම් ගැනත් මතක් කරමු?
මට ගොඩක් රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා. පෞද්ගලික සම්මානත් ලැබිලා තියෙනවා. මම වැඩ කරන්නෙ සම්මාන බලාගෙන නෙවෙයි. හොඳ දෙයක් කළාට පස්සෙ අපිට සම්මානයක් ලැබුණත් නැතත් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතරට ඒ නිර්මාණය යනවා සහ ජනතාව අපව අගය කරනවා. නමුත් ඇතැම් වෙලාවට විවිධ වැඩසටහන්වලට සම්මාන ලැබුණත් ජනතාව කියනවා ඒ වැඩසටහනට නෙවෙයි අසවල් වැඩසටහනටයි සම්මානය ලැබෙන්න ඕනෑ කියලා. සම්මානවලට වැඩිය අපිට ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම ගොඩක් වටිනවා. ප්‍රේක්ෂකයන් කියනවනම් අපි කරන නිර්මාණය හොඳයි කියලා, අන්න ඒක තමයි වැඩියෙන්ම වටින්නෙ. මොකද අපි නිර්මාණයක් කරන්නෙ සම්මාන බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන්නයි. ඉතින් මම දකින විදිහට ලොකුම සම්මානය තමයි ප්‍රේක්ෂකයන් අපි කරන නිර්මාණය වැළඳ ගැනීම සහ ඒ ගැන පැහැදීමෙන් කතා කරන එක.
අනෙක් අතට රටේ සම්මාන දෙන ආයතන දැනගත යුතුයි, ඔවුන් විසින්ම වැඩසටහන් විනිශ්චය කරලා සුදුස්සාට සුදුසු තැන ලබා දීමට. මොකද අපි කරන වැඩසටහන, අපිම මේක හොඳයි කියලා ඉදිරිපත් කරනවට වැඩිය ඔවුන් විසින්ම සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා නම් මම හිතනවා ගුණාත්මක වැඩසටහන්වලට මීට වැඩිය වටිනාකමක් ලැබේවි කියලා.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය සහ ගුණාත්මක බව ගැන ඔබගේ අදහස් මොනවද?
රාජ්‍ය නාලිකාවක් වුණත් පෞද්ගලික නාලිකාවක් වුණත් ඒවායේ ගුණාත්මකභාවය රැක ගැනීම තමයි පළමුවෙන්ම කළ යුතු වෙන්නෙ. වැඩසටහන් ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කියන්නෙ ඉතාම ප්‍රවේශමෙන්, සිතා බලා කළ යුතු දෙයක්. වැඩසටහනක් සැලසුම් කරලා එය ක්‍රියාවට නංවන්න සූදානම් කරලා තිබුණත් සැමවිටම අපිට අවශ්‍ය විදිහට තීරණ ගන්න බැහැ. මොකද මේක නිර්මාණවලට දායක වෙන නළු නිළියන්, සහභාගිවෙන තවත් අය එක්ක කරන සාමූහික කටයුත්තක්.
ඇතැම් මාධ්‍ය සහ ඇතැම් කලාකරුවන් ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ තත්ත්වයේ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඇතැම් මාධ්‍යවල ඇතැම් වැඩසටහන් ඉතා ලාභ ගණයේ ප්‍රේක්ෂක රසාස්වාදයක් සපයනවා. ගුණාත්මක බවත් අඩුයි. පවුලේ සැමට එකට වාඩිවෙලා බලන්න බැරි ටෙලිනාට්‍ය, දූ දරුවන්ට දෙමව්පියන් සමඟ නරඹන්න බැරි වැඩසටහන් ආදියත් බාල ගණයේ නිර්මාණ අතරට වැටෙනවා.
මාධ්‍යයෙන් මොන දේවල් කළත් රිමෝට් එක තියෙන්නෙ ජනතාවගේ අතේ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව සුදුසු දෙය තෝරා බේරාගන්නටත්, නුසුදුසු දෙය ප්‍රතික්ෂේප කරන්නටත් බුද්ධිමත් විය යුතුයි කියලා මම හිතනවා.
වර්තමානය වන විට බොහෝ අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු බිහි වෙනවා. ඔබ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වශයෙන් නවකයන්ට දෙන උපදෙස කුමක්ද?
අධ්‍යක්ෂවරයෙක් වුණත් නිෂ්පාදකවරයෙක් වුණත් තමන්ගේ කුටුම්භයට, ගෙදරට යන අවස්ථාවක් තියෙනවා. තමන් වෘත්තියෙන් කවුරු වුණත් තමන්ට පවුලක් තියෙනවා. අම්මා තාත්තා, දූ දරුවෝ, සහෝදර සහෝදරියන් ඉන්නවා. ඉතින් ඒ අය දැනගන්න ඕනෑ තමන්ටත් ගෙදර ගිහිල්ලා තමන්ගේ පවුලේ අය එක්ක එකට වාඩිවෙලා බලන්න පුළුවන් විදිහේ වැඩසටහන් නිෂ්පාදනය කරන්න සහ අධ්‍යක්ෂණය කරන්න. තමන්ගේ පවුලේ අයත් එක්ක අපහසුතාවයට පත් නොවී බියක් සැකක් නැතිව එකට රසවිඳිය හැකි වැඩසටහන්වලට අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමතියි. ඒ වගේම පෞද්ගලික වාසි වෙනුවෙන්, පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කිසිම වෙලාවක ජන මනස විකෘති කරන, සමාජයට වැරදි පණිවිඩ දෙන දේවල් කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.
වර්තමානය වෙනකොට අපේ සමාජය ගෝලීයකරණය වෙලා තියෙනවා. හැබැයි අපේ ශ්‍රී ලාංකික බවත් රැකගෙන ගුණාත්මක නිර්මාණ, දැනුම වැඩි කරන නිර්මාණ, ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියොත් ඇත්තටම ඔබට සාර්ථක දිගු ගමනක් තියේවි කියලා මම විශ්වාස කරනවා.
ඔබගේ අනාගත බලාපොරොත්තු සහ සැලසුම් මොනවද?
මේ රට කෘෂිකාර්මික රටක්. සියලු සත්වයෝ යැපෙන්නෙ ආහාර මත. අපිට ලංකාව කෘෂිකර්මාන්තයෙන් දියුණු කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන්. මමත් බලාපොරොත්තු වෙනවා කෘෂිකාර්මික වැඩ කටයුතුවල යෙදෙන්න. කුඹුරු සහ වෙනත් ආර්ථික බෝග වගා කරලා රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.
ඉදිරියේ දී මම සේවයෙන් විශ්‍රාම ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන් පසුව කෘෂිකර්මාන්තයට වගේම මැණික් කර්මාන්තයටත් ප්‍රවේශ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ජීවත්වෙන ප්‍රදේශය යටහැත්ත ප්‍රදේශයේ මැණික් ඉල්ලම්, මැණික් පතල් බොහොමයක් තියෙනවා. කුඩා කාලයේ ඉඳලම මමත් මැණික් කර්මාන්තයේ ආභාෂය ලැබුවා. ඉතින් මම කැමතියි පුංචි කාලේ නතර කරපු තැනින් ආපහු පටන් ගන්න.
ඒ අතරේ මාධ්‍ය අතහරින්න සූදානමක් නැහැ. අර දේවල් කරන අතරේ මාධ්‍යයට දායක වෙමින් මාධ්‍ය කටයුතුත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
• මංගලා පවිත්‍රානි