2025 ජනවාරි 04 වන සෙනසුරාදා

මගේ ආදරයත් ජීවිතයත් බෙරයයි.... - Rehan Senadheera

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01 71

එක් දවසක එක් තත්ත්පරයක මම දැහැන්ගත වීමි. තාල වයාලූ බෙර හඬ අස දෑස වසාගෙන මම දැහැන්ගත වීමි. ඉතින් අවසරද නොඅසාම මම ඔහුට නොව ඔහු තුළ හුස්ම ගත් ඒ ආත්මීය වාදකයාට පෙම් කළෙමි. ඒ ප්‍රේමය වනාහි බෙරයෙන් වයාලූ රිද්ම සංධ්වනියක් ඔස්සේ මා කැටුව යමින් ලෞකිකත්වය තුළ නිර්වාණ ද්වාරයක් හමුවෙතැයි සිතෙන තරමට මා භාවනාවක නිදන් කරලූ මුනිවර වැයුමක් කෙරේ බැඳුණු ප්‍රේමයකි. භාව ප්‍රමුදිත හෘද ලීලා තාල රාග මාල ඔස්සේ අවුස්සාලමින්, මානව සන්තානයේ උපදින හැඟුම් සමුදා කළඹමින්, සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනෙන තාල කලාවකින් හදවතේ ගැඹුරටම ආමන්ත්‍රණය කරලමින් බෙරයක් වයන්නට හැකි මිනිසෙක් ඉතින් මේ තත්ත්පරයේ මා දෑස් අබිමුවය.

රවිබන්ධු විද්‍යාපති ගුරු දේවයාණන් සෙවණේ වඩා සුගන්ධවත් කුසුමක් වෙසින් පූදින සඳ සුවඳ කොතෙක්දැයි කියනු කුමකට...
මූ ඉපදිලා තියෙන්නෙම බෙර ගහන්න...

දුරාතීතේ දවසක... ඒ දවසේ එක් තත්ත්පරයක ඒ තාත්තාට එසේ සිතෙන්නට ඇත.
මෙතුවක් දවසක් තාත්තේ මට බෙරයක්... අනේ තාත්තේ මට බෙරයක් යැයි ඉල්ලූ ඉල්ලීමට අවසඟව ගියත් මූ බෙරෙන් ගලවන්න නම් හම්බවෙන්නේ නැතැයි ඒ තාත්තාට සිතුණ තත්ත්පරයක් තියෙන්නට ඇත.
හරි මම බෙරයක් ගෙනත් දුන්නොත් ඉගෙන ගන්න වැඩ අතපහු කරගන්නෙ නැද්ද...
නෑ... නෑ...
හරි මම බෙරයක් ගෙනත් දුන්නොත් බෙරේ විතරක් ගහ ගහ ඉන්නෙ නෑ නේද...
නෑ... නෑ...

අන්න එහෙනම් මම බෙරයක් අරගෙන ඇවිත් පාරෙන් තියලා ඇති...
මොකක්... පාරෙන් තියලා ආවා...
බෙරය ගෙන ඒමේ පුවත වචන නැති සතුටකි. ගෙනා බෙරය පාර මැද තබා ඒමේ පුවත තරහ අවුස්සාලන වේදනාවකි. වේදනාවට හේතුව බෙරය කෙරේ බැඳි ප්‍රේමයම මිස අන් කවරක්ද? සතුට උසුලාගෙන, කේන්තිය දරාගෙන අවුරුදු එකොළහක කොල්ලා වේගයෙන් දුව ගියේ පාරටය. බෙරය පාරේය. කොල්ලා ස්නේහයෙන් බෙරය උස්සාගෙන එය ගෙදරට ගෙන ආවේය. ඒ බෙරය මේ තත්ත්පරයේත් ඒ ආත්මීය බෙර වාදකයා සන්තකයේය.
රෙහාන් සේනාධීර හෙවත් බෙර වයන්නට උපන් ආත්මීය වාදකයාගේ ජීවිතයේ බෙරය තරම් වස්තුවක් තවත් නැතැයි සිතෙන්නේ මටම විතරක් නොවේ. 
රෙහාන් = බෙරය වන තරමටම බෙරය හා ආත්මීය ආලයකින් හුස්මක් ගන්නා ඔහු හා මා හමුවේ මාතෘකාවද ඉඳින් බෙරයටම යාවේ.

බෙරයට මෙච්චරම ආදරය කරන්නේ ඇයි?
මට පුංචි කාලයේ ඉඳන්ම හිතුණේ මම ඉපදිලා තියෙන්නෙම බෙර ගහන්න කියලා. වෙස් මංගල්‍යයක නිවේදන කටයුතු කළත් මම කියන දෙයක් තමයි බෙර වැයුම. නර්තනය, කලාව හැකියාවක් විදිහට ලැබෙන්නේ සාංසාරික කුසලකර්මයක් හේතුවෙන් කියලා. බෙරය වෙනුවෙන් කැප කරන්න බැරි කිසිවක් නොතිබුණු තරමට, නොතිබෙන තරමට මම එදත් බෙරයට ආදරය කළා. අදත් බෙරයට ආදරය කරනවා. මට මගේ මුළු ජීවිතයම වුණේත් වෙන්නේත් බෙරයයි.
මම බෙර ගහන නිවේදකයෙක් විදිහට...
මම බෙර ගහන නළුවෙක් විදිහට...
මම බෙර ගහන ගායකයෙක් විදිහට...
මම බෙර ගහන කථිකාචාර්යවරයෙක් විදිහට...
කෙනෙක් හඳුන්වනවා නම්, මට මාව කවදා හරි දවසක් කෙනෙක් රජෙක් විදිහට හැඳින්වුවත් ලැබෙන්නේ නැති සතුටක් මට දැනෙන්නේ. බෙර වාදකයා කියන මුද්‍රාව තරම් වටිනා මුද්‍රාවක් මට මගේ ජීවිතයේ තවත් නෑ කියන එකයි මම මේ කියන්නේ. ඉතින් බෙරයට හැරෙන්නට වෙන කුමකට මම ආදරය කරන්නද කියලා තමයි මට හිතෙන්නේ.

බෙරය සහ රෙහාන් ආදර කතාව පටන් ගත්තේ කොයි කාලෙද ඉතින්?
දෙක වසරේ ඉඳන් මම බෙරයට ආසයි. මගේ තාත්තාට තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බෑ. මගේ අම්මා තාත්තා මම බෙරයට එහෙම ආදරය කරනවට, ආසා කරනවට කැමති වුණෙත් නෑ. මම පුංචි කාලේ අපේ අක්කා කෙනෙක්ගේ ‘Dancing show’ එකක් බලන්න අපි ගියා. සජීවීව බෙර ගහනවා මම ඉස්සරලම දැක්කෙ එදා. එදා එහෙම බෙර ගහනවා දැකලා මට ඇත්තටම පිස්සු වගේ. මම ගෙදර ගිහින් ඒ විදිහටම බෙර ගහලා නැටුවා. හේනෙගම මධ්‍ය  විද්‍යාල ජාතික පාසලේ ඉගෙන ගන්න කාලේ තමයි මට මගේ පළමු බෙර වාදනය ඉගැන්වූ ගුරුතුමිය හමුවන්නේ. ඒ ප්‍රමිලා කමනි ගුරුතුමිය. මම ඇයට කීවා මට බෙර ගහන්න ඉගෙන ගන්න ඕනෑ කියලා. මට ඕනෑ වුණේ තාල වාදන ශිල්පය ප්‍රගුණ කරන්න. සංගීතය ඉගෙන ගන්න. ඒත් බෙර ගහන්න ඉගෙන ගන්නනම් ඉස්කෝලෙදි නැටුම් කරන්න ඕනෑ. ඉතින් බෙරයට තියෙන කෙළවරක් නැති ආසාව නිසා මම ඉස්කෝලෙදි නැටුම් කළා. ප්‍රමිලා ගුරුතුමියගෙන් පසු මම එයාගේ දුව අමාලි අක්කගෙන් බෙර වාදනය ඉගෙන ගත්තා. ඇත්තටම මම පිස්සුවෙන් වගේ බෙර ගහන්න ඉගෙන ගන්න තැන් හොයන්න ගත්තා. තාපසයෙක් තපස් රකිනවා වගේ මම බෙරයත් එක්ක දැහැන්ගත වෙන්න තැන් හොයාගෙන ගියා. හොඳ ගුරුවරුන්ගේ මඟපෙන්වීම, රැකවරණය මට ලැබුණා. බෙර කලාව ප්‍රගුණ කරන්න ඇත්තටම මම පුදුම කට්ටක් කෑවා.

මට දැනෙන්නෙ ඔබ බෙර ගහන්න ඉගෙන ගත්තා නෙවෙයි. ඔබ බෙරයේ සහ බෙර වාදනයේ අක්-මුල් සොයා ගියා. බෙරය හා ඔබේ තිබුණේම සොයා යාමක්, පර්‌යේෂණයක් සහ ගවේෂණයක්. මට දෙන්න උත්තරයක්?
ඇත්තටම මම මේ කලාවේ අක්මුල් හොයාගෙන යන්න දඟලපු කෙනෙක්. කොතැනකදිවත් නොසංසිඳෙන පිපාසයක් මට තියෙන්නෙ ඒ සොයා යාමේදී. ඒ ගවේෂණයේදී මට අදටත් ඕනෑ පර්‌යේෂකයෙක් වෙසින් බෙරය සොයා යන්න, බෙරය හා බැඳුණු තව ඉසව් මටම අනන්‍ය වෙසින් හඳුනා ගන්න, මට හමුවූ මට බෙර වාදනය ඉගැන්වූ හැම ගුරුවරයෙක්ම මා කැටුව ගියේ එහි ශාස්ත්‍රීය ඉසව්වන්ට. බෙරය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන එයින් සල්ලි හොයන්න පෙළඹුණු ලොකු පිරිසක් ඉන්නවා. එහෙම සල්ලි හොයන පරමාර්ථයෙන් බෙරය ඉගෙන ගන්නත් පුළුවන්. ශාස්ත්‍රිය කලාවක් ලෙස ප්‍රගුණ කරන පරමාර්ථයෙන් බෙර කලාව ඉගෙන ගන්නත් පුළුවන්. මට බෙරය හා යා වූ ගමනේදී මට ඕනෑ වුණේ ශාස්ත්‍රීය රස සොයා යන්නටයි. මට ඕනෑ වුණේත් ඒ ශිල්පයේ රස සාර හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්න. කට්ට කඩාගෙන එළියට යන්න. නව ඉසව් හඳුනා ගන්න. ගවේෂකයෙක් සොයා යන්නෙක්, පර්‌යේෂකයන් වෙන්න. මම බෙර ගැන ස්වයං අධ්‍යයනයේ යෙදුණා. මමම පුහුණුවීම් කළා. සාම්ප්‍රදායික සීමා බිඳගෙන වාදනයේදී මට අනන්‍ය සුවිශේෂතා නිර්මාණය කරගන්න වෙහෙසුණා.

මානව සන්තානයේ උපදින දුක, සතුට, වේදනාව, ගෘංගාරය, ද්වේෂය, කලකිරීම, මේ ආදී ඕනෑම චිත්තවේගයක් බෙර වැයුම් ඔස්සේ ප්‍රකාශ කරන්න පුළුවන්ද?
ඔව්... ඒත් එය ශිල්පීය දක්ෂතාව මත තීරණය වන දෙයක්. ඔව් පුළුවන් කියන්න මට දෙන්න පුළුවන් ලස්සනම හොඳම උදාහරණයක් තමයි ආචාර්ය රවිබන්ධු විද්‍යාපති සර්ගේ ඔතෙලෝ නිර්මාණය. සර්ගේ පුතා ජිතේන්ද්‍ර විද්‍යාපති ලංකාවේ සහ ලෝකයේ බෙර යොදාගෙන ඔතෙලෝහි සියලු මානව චිත්තවේගී භාව ප්‍රකාශනයන් මවාලූයේ බෙර හඬින්. ඒ නිමැවුම පුදුමාකාර භාව සම්මිශ්‍රිත ආමන්ත්‍රණයක්.

මානව චිත්තවේග බෙර වැයුම් ඔස්සේ ප්‍රකාශනයට පත් කරද්දී බෙරය හා හුස්ම ගන්නා ආත්මීය බන්ධනය ඔබ – ඔබ තුළ උපද්දවන්නේ කොහොමද රෙහාන්?
මම නොවිඳින දෙයක්, මට නොදැනෙන දෙයක් තව කෙනෙක්ට දෙන්න බෑ. එතෙන්දි වාදකයා, වැයුම සහ ප්‍රේක්ෂකාගාරය අතර ඇතිවන නිර්වාචික සන්නිවේදනයේ පරාසය සහ ප්‍රබලත්වය, ඒ හැඟීම් ප්‍රකාශනය සහ සංධ්වනිය විෂයෙහි බලපානවා. නිර්වාචික සන්නිවේදනය කියන්නෙ හරි ප්‍රබල දෙයක්. වරෙක වචන ඔස්සේ ඇතිවෙන බැඳීමකට වඩා සංධ්වනියකට වඩා වදන්වලින් වියුක්ත හදවත් - හදවත් හා යාවෙන සන්නිවේදනය ප්‍රබලයි. මම මේ දිනවල ප‌ර්‌යේෂණයක නියැලෙනවා ලංකාවේ තාල වාදන ශිල්පීන් ගැන. මම එතෙන්දි තාල වාදන ශිල්පීන් වර්ග දෙකක් හඳුනා ගන්නවා. එක් පාර්ශ්වයක් තමයි සාම්ප්‍රදායික ශාන්තිකර්ම, දෙවොල්මඩු ආශ්‍රිතව බෙර වාදනයේ නියැලෙන්නන් ආදී පිරිස් කේන්ද්‍රීය වූ පාර්ශ්වය. අනෙක් පාර්ශ්වය බෙරය උදෙසා වේදිකා නිර්මාණය කරගන්නා අප වැනි පාර්ශ්ව. ලංකාවේ මුලින්ම බෙරය එන්නේ නැටුමත් එක්ක. බෙරය නැටුමින් ගලවලා බෙරය වේදිකාවට තනි ඒකකයක් ලෙස අරගෙන ආවේ පියසාර ශිල්පාධිපති සර්. රවිබන්ධු විද්‍යාපති කියන්නේ පියසාර සර්ගේ ගෝලයෙක්. මම රවිබන්ධු සර්ගේ ගෝලයෙක්. රවිබන්ධු සර් නිර්මාණය කළ රාවණා ‘ඔකෙස්ට්‍රා’ එක විශිෂ්ට නිර්මාණයක්. ලංකාවේ හා ඉන්දියාවේ බෙර ආශ්‍රයෙන් වාදන නිර්මාණය කරගෙනයි රාවණ සමස්ත කතා වස්තුවම දිගහැරෙන්නේ. එය සුවිශිෂ්ට ආධ්‍යාත්මික ප්‍රකාශනයක්. ආදරය, වේදනාව, ශෘංගාරය, දරුණු යුද්ධය, මේ ආදී සියලු මනෝභාව සහ සංසිද්ධින් වේදිකාව මත දිගහරින්නේ බෙර වැයුම් ඔස්සේ. බෙරයත් එක්ක හුස්ම ගනිද්දි බෙරයත් මමත් දෙන්නෙක් නෙවෙයි. බෙරයයි මමයි එක්කෙනෙක්.

බෙරයත් එක්ක ජීවිතය ඔබට දනවන සතුට ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද?
මම බෙරයට ආදරය කරන එක මගේ අම්මටයි තාත්තටයි ලොකු ප්‍රශ්නයක් වෙච්ච කාලයක් තිබුණා. අපේ තාත්තා මට බෙර ගහන්න එපා කියලා ගහලා තියෙනවා. ඒත් අවසානයේදි අම්මටත් තාත්තටත් තේරුම් ගන්න සිද්ධ වුණා මූ ඉපදිලා ඉන්නෙම බෙර ගහන්න කියලා. එපා කියලා  මූව කවදාවත් බෙරයෙන් ගලවන්න බැහැ කියලා. මගේ තාත්තගේ යාළුවෙක් සහ මගේ ගුරුවරයෙක් වෙච්ච ඒ වගේම නාවික හමුදා වාද්‍ය වෘන්දයේ ආරම්භක සාමාජිකයෙක් වෙච්ච පාලිත සෙනෙවිරත්න සර් දවසක් තාත්තට කියලා තිබ්බා, මූ මේකෙන් අයින් කරන්න එපා... මූ ඉපදිලා ඉන්නෙම බෙර ගහන්න කියලා. ඒ විදිහට තාත්තා අවසානයේ මාව තේරුම් ගත්තා. අම්මා මාව තේරුම් ගත්තා.

ආචාර්ය රවිබන්ධු විද්‍යාපති කියන්නෙ ගුරු දේවයාණන් යන ගෞරව පූර්ව හැඳින්වීමෙන් හැඳින්විය හැකි ගුරුවරයෙක් ලෙසයි මම විශ්වාස කරන්නෙ. ඒ ගුරු ඇසුර ඔබට දැනෙන්නෙ කොහොමද?
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රවී සර් කියන්නෙ ගුරු දේවයාණන් කෙනෙක්ම තමයි. ගුරුවරයෙක් ළඟ තිබිය යුතු දේවත්වය සර් ගාව මට වචනයෙන් නිර්වචනය කරන්න බැරි තරම් තියෙනවා. ඒ වගේම බෙරය හා බැඳුණු ශිල්ප චාරිකාවේදී මට මඟපෙන්වූ පාලිත සෙනෙවිරත්න, නලින් පොල්අඹේගොඩ ඇතුළු සියලු ගුරුවරු මම ඉතාමත් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරනවා. රවි සර් කියන්නෙ කවදාවත් ගුරු මුෂ්ටියකින් තොරව ශිල්පය දුන්න ගුරුවරයෙක්. මම සර් ළඟට එද්දි මම බෙරය ගැන ඉගැන්වීමක් ලබාගෙනයි ආවේ. ඒත් සර් තමයි මාව සම්පූර්ණයෙන්ම කනපිට හරවලා මේක මෙහෙම කරපන්, අරක මෙහෙම කරපන් කියන මඟපෙන්වීම අනුව නිවැරදි තැනට මාව ගෙනාවෙ. ඒ වගේම මේ ශිල්ප චාරිකාවේදි මට හමුවෙච්ච වටිනාම තවත් ගුරුවරයෙක් තමයි සහන් රන්වල සර්. ඇත්තටම රවිබන්ධු සර්ගේ ගෝලයෙක් වීමම මට ආභරණයක්. දෙසැම්බර් 25 වැනිදාට යෙදිලා තිබුණ සර්ගෙ උපන් දිනය දවසේ මම මෙහෙම සටහනක් තැබුවා. කවදා හරි මට, මම නිසා සර්ගෙ නමට තවත් කාන්තියක් එකතු කරන්න පුළුවන් නම් ඒක මගේ ලොකු බලාපොරොත්තුවක් කියන කාරණය; ඒ වෙනුවෙන් මගේ අංශුමාත්‍රික උත්සාහය දක්වා සියලු උත්සාහයන් මම දරනවා කියන කාරණය. රවී සර් කියන්නෙ හැමදාමත් මේ උතුම් ශිල්පයේ හා නර්තනයේ ශාස්ත්‍රීය වටිනාකම සුරැකි ගුරුවරයෙක්. ඒ වගේම ලංකාවේ ඉන්න බෙර හා නර්තනය විෂයෙහි මා විශ්වාස කරන ශාස්ත්‍රීයම ගුරුවරයත් සර්. ඒ වගේම මේ ශිල්ප ප්‍රගුණ කරපු   ජනප්‍රිය මට්ටමේ ගුරුවරු අතරින් සල්ලි අඩුවෙන්ම තියෙන ගුරුවරයත් රවිබන්ධු සර්. හැබැයි සතුටින්ම ඉන්න ගුරුවරයත් රවිබන්ධු සර්. රවිබන්ධු සර් පුදුම විදිහකට ජීවිතයේ සතුට අත්විඳින මනුස්සයෙක්. නිර්මාණයක් කරලා ඒ නිර්මාණය සර් රසවිඳින තරම් දකිද්දි ඒ පරිණතභාවය ගැන පුදුම අභිමානයක් ඇතිවෙන්නෙ. සර් කවදාවත් මගෙන් ආපිට කිසි දෙයක් නොඉල්ලමින්, බලාපොරොත්තු නොවී සර්ට දිය හැකි සියල්ල මට දුන්නා. එතුමා මම ප්‍රාණසම ස්නේහයකින් සලකන ගුරුවරයෙක්. සර් සර්ගෙ ශිල්පයට සලකන්නෙත් පුදුම භක්ත්‍යාදරයකින්, දේවත්වයකින්. සර්ට නිදහස තියෙන වෙලාවට මම සර්ගෙන් කාලය ඉල්ලගෙන පැය ගණන් සර් එක්ක කතා කර කර ඉන්නවා. මට අනික් අයට දැනෙන්න සන්නිවේදනය කරන්න ඉගැන්නුවේ සර්. සර්ගේ දැනුම පුදුමාකාර වපසරියක විහිදිච්ච දැනුමක්. ඉතිහාස කතාවල ඉඳන් AI තාක්ෂණය දක්වා අපි කතා කරනවා. ඇත්තටම රවී සර් සහ සහන් රන්වල සර් කියන්නෙ ඇවිදින පුස්තකාල දෙකක්. ඒ ගුරු ඇසුර පුදුම විදිහට මාව ශාස්ත්‍රීය වශයෙන් පෝෂණය කරනවා. සාංසාරිකව ජීවිතයේ හමුවීම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ඇසුර මම හැමදාම ප්‍රාර්ථනා කරනවා. කොයි තරම් දුරක ඉඳන් ආවද කියන්න නොදන්න සංසාරයේ ඉඳන්ම ඒ ඇසුර සහ මේ ශිල්පය මා ලබලත් ඇති. මේ ශාස්ත්‍රය මා ප්‍රගුණ කරලත් ඇති. සාංසාරික උරුම සහ ලැබීම් මම විශ්වාස කරනවා. ඇත්තටම මේ කලාව කියන්නෙ භාවනාවක්. මම ඒ භාවනාවට සමවැදුණ තවුසෙක්. ඒ තුළ මම විඳින සතුට, නිවීම, සැනසිල්ල සහ ප්‍රහර්ෂය කවදාවත් මට වචනවලට ලඝු කරන්න හෝ සංඛ්‍යාත්මකව විවරණය කරන්න බෑ.

• සංජීවිකා සමරතුංග
• ජයමාල් චන්ද්‍රසිරි