2025 ජනවාරි 04 වන සෙනසුරාදා

ලෝකයේ මිනිස්සුන්ටත් වැඩිය Sunglasses තියෙනවලු...

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

“සඟ දාලා බහිනවා”‍ මේක මචං ලංකාවේ කොල්ලො කෙල්ලො අතර තියෙන ටෝක් එකක්. මේ කියන්නෙ Sunglasses දාලා මොකක් හරි ගමනක් යනවා කියන එක. ඇත්තටම මචෝ ලෝකයේ විලාසිතා ගැන කතා කරද්දි Sunglasses කියන්නෙත් වෙනම ආතල් Y Trend එකක්. දවසින් දවස අලු‍ත් වෙන Fashion Trend එකක්. ඒ නිසා මචෝ Sunglasses ගැන අලගිය මුලගිය තැන් එක්කම ඔයාලා එක්ක චැටක් දාන්න අපි කල්පනා කළා.

මේ සීන් කෝන් එකේ ඉතිහාසය හරිම අපූරු එකක්. වැඩ කරනකොට ඇතිවෙන බාධාව වළක්වගන්න ඉතිහාසයේ ගොඩක් දුර ඈත ඉඳලා මිනිස්සු විවිධ උපක්‍රම භාවිත කරලා තියෙනවා මචෝ. Sunglasses කියන්නෙත් ඒ විදිහේ උපක්‍රමයක්. දැනට තියෙන තොරතුරු අනුව චීනය තමයි මේ සීන් කෝන් එක මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ. අව්වෙන් වෙන බාධා වළක්වා ගන්න චීන්නු ඇස් දෙකටම කණ්ණාඩි දාලා.

සූදාලට දැන් මතක් වෙන්න ඕනෑ ඇස් දෙකටම කණ්ණාඩි දාපු පරණ චීන ඇඳුම් සෙට් එකක්. ඔය පරණ චිත්‍රපටවල එහෙම තියෙනවා. 12 වැනි සියවස වගේ වෙද්දි චීනයේ අධිකරණවල හිටපු විනිශ්චකාරයෝ Sunglasse වගේ අඳුරු පාට කණ්ණාඩි පාවිච්චි කරලා තියෙනවලු‍. මචෝ ඉතිහාසයේ ඒකට හේතුව විදිහට කියැවෙන්නෙ තීන්දු ලබාදෙද්දි තමන්ගේ හැඟීම් සඟවා ගැනීමේ අවශ්‍යතාවය. ඉතින් ඔන්න ඔහොම තමයි චීනය පැත්තෙ ඉඳලා Sunglasses කියන පිස්සු හැදෙන Y Trend එක ලෝකයට ආවේ.

ඊට පස්සේ ලෝකයේ විවිධ වෘත්තීන්වල විවිධ අය විවිධ අවශ්‍යතා වෙනුවෙන් අඳුරු කණ්ණාඩි ඇස්වල දවටගන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මචෝ අද පවතින ප්‍රමිතිගත Sunglasses කියන සීන් කෝන් එක කරළියට එන්නෙ 18 වැනි සියවසේදි. ඒ කාලේ ජේම්ස් ඒස්කෝෆ් නම් ආචාර්යවරයෙක් UV කිරණ ආලෝකයෙන් ආරක්ෂා වෙන්න සෝර්බර්ස් කියලා උපකරණයක් නිර්මාණය කරලා තියනවා. ඒ තමයි නවීන මාදිලියේ පළවෙනි Sunglasses එක.
කොහොම හරි ඊට පස්සෙ මේ සීන් කෝන් එක වෙළෙඳපොළ ලෝකය ජයගත්ත විදිහ ගැන කතා කරනවනම් අමතක කරන්නම බැරි Sunglasses වෙළෙඳ නාමය තමා "Ray-Ban"  කියන්නෙ. 1929 වසරේදී සෑම් ෆෝස්ට්‍රි සමාගම "Ray-Ban" යන නමින් Sunglasses වෙළෙඳපොළට හඳුන්වා දෙනවා.

මේ කාලේ වැඩි වශයෙන් Sunglasses භාවිත වුණේ වායු බැලූන පදවන අයගේ ඇස් හිරු කිරණෙන් ආරක්ෂා කිරීමේ අරමුණු සහිතව. ඒ විතරක් නෙවෙයි මචෝ, කාලයත් එක්ක පළවෙනි දෙවැනි ලෝක යුද්ධයේ දී ඇස් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව Sunglasses තවදුරටත් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගුවන් නියමුවන් අතර මේ සීන් කෝන් එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.

ඊට පස්සේ මචෝ 1950 න් වගේ පස්සෙ සිනමා කර්මාන්තය දියුණු වෙනකොට සිනමා පටවල Sunglasses දාගත්ත නළු නිළියො රඟපාන්න පටන් ගත්තා. මේ සීන් එකත් එක්ක මුළු ලෝකයම මේ අලු‍ත් Fashion එක වැළඳගත්ත බව තමයි ඉතිහාස සාක්ෂි පෙන්වා දෙන්නෙ. ඊට පස්සෙ මචෝ හැටේ හැත්තෑවෙ දශකවල ඇමෙරිකාව, යුරෝපය ඇතුළු ලෝකය පුරා සිද්ධවුණු සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන අංගයක් බවටSunglasses විලාසිතා පත්වෙලා තියෙනවා. ඒ කාලේ වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නෙ Oversized Frames කියන ටිකක් බඳ මහත විලාසිතාව.

පස්සේ මචෝ අසූව අනූව කාලේ ගොඩක් දුරට සිනමාවත් එක්ක මුළු ලෝකය පුරාම sunglasses උමතුව වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙනවා. Sunglasses නිෂ්පාදනය කරපු සමාගම් හිතාමතාම කලාව ඇතුළට මේ Trend එක ගෙනාවා කියලත් අදහසක් තියෙනවා. මේ කාලේ නිෂ්පාදනය වුණු සමහර චිත්‍රපට සඳහා ඔවුන් දක්වපු අනුග්‍රහය ඒකට උදාහරණයක්. "Risky Business" (1983) සිනමා පටය මේකට හොඳම උදාහරණයක්.

ඔන්න මචෝ මේ කාලෙන් පස්සෙ අපි හැමෝම දන්න විදියට විවිධ වර්ණ, විවිධ හැඩතල සහිතSunglasses ලෝකය පුරා වෙළෙඳපොළට එන්න පටන් ගත්තා. ඇත්තටම ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ සීන් කෝන් එක මුළු ලෝකයම වැළඳ ගත්ත පිස්සුවක් බවට පරිවර්තනය වුණා. 2000 න් පස්සේ තත්ත්වය ගොඩක් ආතල් අතට හැරුණා. ක්‍රීඩාවට, එළිමහන් ගමන්වලට Sunglasses නැතුවම බැරි දෙයක් වුණා.

දැන් මචෝ මේ වෙනකොට මේ පිස්සු හැදෙන Y Trend එකේ තත්ත්වය ගැන කතා කළොත් ඒකත් වෙනම ආතල් එකක්. ලෝක ජනගහනයට වඩා වැඩියෙන් මිනිස්සු සතුව Sunglasses තියෙන්න පුළුවන් කියලා ඇතැම් වාර්තා සඳහන් කරනවා. ගොඩක් රටවල්වල Sunglasses එකක් කියන්නෙ අත්‍යවශ්‍ය උපකරණයක්. ඒ නිසාම Sunglasses වෙළෙඳපොළ විලාසිතා ලෝකයට අදාළව තියෙන විශාලම වෙළෙඳපොළක්. සමස්තයක් විදිහට Sunglasses ඇතුළු ඇස් කණ්ණාඩි වෙළෙඳපොළ 2028 වගේ වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් විතර වෙන්න පුළුවන් කියලා වාර්තා සඳහන් කරනවා. ඇත්තටම මචෝ මේක පට්ට පිස්සුවක්.

ඊළඟට මචෝ මේ Trend එක නවීන තාක්ෂණයත් එක්ක මුසුවෙන එක ගැනත් කතා කරන්න ඕනෑ. Sunglasses තාක්‍ෂණික නවෝත්පාදන විදිහට Polarized lenses, anti-reflective coatings වගේම blue light blocking lenses වෙළෙඳපොළේ ලොකු පෙරළියක් කරන්න සමත් වුණා. ඒ වගේම තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදනවලට දැන් දැන් ඉල්ලු‍ම වැඩිවෙන බවත් වෙළෙඳපොළ තුළ දැකගන්න පුළුවන්. කොහොම වුණත් මචෝ ප්‍රමිතිය, වෙළෙඳ නාම වගේ දේවල් එක්ක Sunglasses කියන්නෙ වෙලාවකට සුඛෝපභෝගී අයිතමයක්. ඒත් මචෝ මේ සඳහා තියෙන ඉල්ලු‍මත් එක්ක ගොඩක් වෙලාවට ලෝකය තුළ වැඩි වශයෙන් දැකගන්න ලැබෙන්නෙ නිසි ප්‍රමිතියක් නැති ව්‍යාජ නිෂ්පාදන. ඇත්තටම ඒක නම් ඇස් සම්බන්ධව සෞඛ්‍යයට අනුව අහිතකරයි කියලා වෛද්‍යවරු කියනවා.

මචෝ ලංකාවේ Sunglasses වෙළෙඳපොළ තත්ත්වය නම් එච්චර හොඳ නෑ. ඉතාම අඩු මිලට ඇස්වලට අහිතකර Sunglasses ලක්ෂ ගණනින් වෙළෙඳපොළේ තියෙනවා. ඇත්තටම මචෝ මේ Trend එකේ ලොකුම අවුල තමා මේක. ලංකාව විතරක් නෙවෙයි අපි වගේ තුන්වැනි ලෝකයේ පොඩි පොඩි රටවල්වලSunglasses වෙළෙඳපොළ ඇතුළේ කූඨ වෙළෙන්දෝ අධික ලාභ ලබාගන්නෙ මේ ජාතියේ ලාභ කෙහෙල්මල් විකුණලා. ඇත්තටම සුපිරි කණ්ණාඩි දෙකක් ගන්න බැරි නිසා ආසාව තියෙන කෙල්ලෝ කොල්ලෝ මේ අයට අහුවෙනවා. ඒක නම් මචෝ එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි.

කොහොම වුණත් මචෝ අනාගතයේ දී Sunglasses කියලා අපි හඳුන්වන මේ අපූරු විලාසිතාව තාක්ෂණික වශයෙන් ගොඩක් Smart වෙන්න ඉඩකඩ තියෙනවා. දැනටත් නවීන තාක්ෂණය Sunglasses එක්ක එකතුවෙලා වෙළෙඳපොළට එන්න පටන් අරගෙන. 3D  තාක්ෂණය, Smart screen වගේ දේවල් එක්ක ලෝකයේ තියෙන නවීන තාක්ෂණික මෙවලම්වලින් කරන්න පුළුවන් වැඩ Sunglasses ඔස්සේ කරන්නත් පුළුවන් වෙයි. දැනටමත් ඒ හා සම්බන්ධ නිෂ්පාදන ගැන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ලෝකය පුරා සිද්ධ කරනවා. ඉතින් අපි මචෝ බලාගෙන ඉමු. මේක ආතල් වගේම ලෝකය වෙනස් කරන Trend එකක් වෙයි.

• චමිඳු නිසල්