2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මම ආදරවන්තියක්ද අහන ප්‍රශ්නයට මට උත්තර නෑ - Tharindi Fernando

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02 110

තරින්දි... මේ දිනවල කාර්යබහුලයි වගේ. ඉතින් මේ දවස්වල මොකද කරන්නෙ?

ඔව්... ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මම රංගනයෙන් දායක වුණු තුන්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා. ඒ නිර්මාණයේ හඬකැවීම්වලටත් මේ දවස්වල සම්බන්ධ වෙනවා. ඊට අමතරව නත්තලට සූදානම් වෙනවා. දෙසැම්බර් කියන්නෙ අවුරුද්දෙ මම ආසම මාසයක්. මගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන නිසා ජිම් එකටත් යනවා. 

මේ දවස්වල ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක ලැබෙන පුංචි විවේකයේදී කරන්නෙ මොනවද?

පහුගිය අවුරුදු කිහිපයට සාපේක්ෂව මේ අවුරුද්දෙදී නිර්මාණ වැඩිවීමත් එක්ක ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් රඟපාලා, වෙහෙසිලා, ටිකක් මහන්සිය දැනුණට පස්සෙ චිත්‍රපට බලනවා. ඇත්තම කිව්වොත් මම චිත්‍රපට බලනවා අඩුයි. ඒ නිසා විවේකයක් ලැබුණාම හොඳ චිත්‍රපට බලනවා. පහුගිය දවස්වල මගේ කාලසටහනේ ජිම් එකට යාම අනිවාර්ය කටයුත්තක් වෙලා තිබුණා. මේ දවස්වල ඒක මගෙන් පොඩ්ඩක් මඟහැරුණා. මම ඇවිදින්න යන්න හරි ආසයි. ඒ නිසා විවේකයක් ලැබුණු ගමන් ඇවිදින්න යනවා. සින්දු අහනවා.

රඟපානවා කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. සමහරක් වෙලාවට ඒක පුදුමාකාර දුකක්. මේ දේවල් එක්ක රංගනයෙන් ඈත් වෙන්න කවදාවත් හිතිලා නැද්ද?

ඇත්ත... රඟපානවා කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ රඟපානවා කියන්නෙ හරිම ලෙහෙසි දෙයක් කියලයි. හැබැයි සමහර වෙලාවට රඟපානවා කියන්නෙ පුදුමාකාර දුකක්. මට කවදාවත් රංගනයෙන් ඈත් වෙන්න හිතිලා නැහැ. මම යම්කිසි චරිතයක් කරනවනම් මගේ සම්පූර්ණ කැපකිරීම ඒකට දෙනවා. කොච්චර මහන්සියක් දැනුණත් ඒ නිර්මාණය රූපවාහිනියෙන් හෝ සිනමාවෙන් දකිද්දී, මම මහන්සි වුණු චරිතය සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් අගය කිරීම් ලැබෙද්දී, ඔවුන් ප්‍රශංසා කරනකොට ඇත්තටම මේක මාර දිරිගැන්වීමක්. ඒ නිසා ඒ වගේ දුකක් රංගනය වෙනුවෙන් විඳින්න මම ඇත්තටම කැමතියි.

“සින්ටෝ”‍ ටෙලි නාට්‍ය මේ දවස්වල හරිම ජනප්‍රියයි. එයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“සින්ටෝ”‍ ටෙලි නාට්‍ය අසංක සායක්කාර මහතාගේ අධ්‍යක්ෂණයක්. සින්ටෝ කියන්නෙ මෙතෙක් අපි ටෙලි නාට්‍ය තිරයේ නොදැකපු කතා තේමාවක්. එකපාර ගැබ්බර වෙන අම්මලා හය දෙනෙකුගේ ජීවිත කතාවත් එක්ක නිර්මාණය වුණු සින්ටෝ හරි අපූරු කතාවක්. ඒ විදියට ඔවුන් ගැබ් ගනිද්දී ඔවුන්ට ඒකට බලපාන හේතු සාධකත් එක්ක වෙනස් වුණු පවුල් හයක කතාවක්. අසංක සායක්කාර අයියා දක්ෂ විදියට ඒ තේමාව තෝරාගෙන තියෙනවා. ඒ වෙනස් පිටපත නිසා බොහෝ දෙනා මේ නිර්මාණය බලන්න පුරුදු වුණා. සින්ටෝ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නෙ ශෂී කියන චරිතයයි. මේ වෙද්දී ඒ නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට පෙරත් අසංක අයියාගේ නිර්මාණය කිහිපයකටම මම රංගනයෙන් දායක වුණා.

පුංචි තිරයේ ආදරවන්තිය සැබෑ ජීවිතයෙත් දැන් ආදරවන්තියක්ද?

පුංචි කාලේ ඉඳන්ම මම විශ්වාස කරපු දෙයක් තමයි මම හරි ආදරණීය චරිතයක් කියලා. මට පවුලේ අයගෙන්, යාළුවන්ගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන්, ලොකු ආදරයක් ලැබෙනවා. ඒ වගේම මමත් හරි ආදරණීයයි. නුදුරේදීම කුමක් හෝ වෙනසක් වේවි. 

ප්‍රථම ප්‍රේමය කාටවත් අමතක කරන්න බැහැ. තරින්දිගේ ප්‍රථම ප්‍රේමය ගැන අපි ටිකක් මතක් කළොත්?

මගේ ප්‍රථම ප්‍රේමය පාසල් යන කාලයේදී ඇතිවුණු ප්‍රේමයක්. ඒක වසර හතකට අධික කාලයක් තිබුණා. සාධාරණ හේතු ගණනාවක් මත අපි කතා කරලා වෙන් වුණා. ඒක මට අදටත් මතකයි. ඔහු අද ලස්සන ජීවිතයක් ගත කරනවා. මට ඔහුගේ ආශිර්වාදයත් ඇතියි කියලා මට හිතෙනවා. මමත් හොඳ ජීවිතයක් ගත කරනවා. අපි දෙන්නාගේ වෙන්වීම දෙන්නාටම ආශිර්වාදයක් කියලයි මට හිතෙන්නෙ.

කාටත් නොපෙනෙන්න කෑගහලා අඬපු දවසක් මතක් කරන්න කිව්වොත්?

එහෙම කාටවත් නොපෙනෙන්න කෑගහලා අඬපු දවස් ගොඩක් තියෙනවා. අපි හැමෝම දන්න යථාර්ථය තමයි අපිට ඉන්නෙ අපි විතරයි. අම්මා තාත්තා හැරෙන්න කවුරු අපේ ජීවිතවල හිටියත් අපිට අපි විතරයි කියලා තේරුම් ගන්න දවසක් එනවා. අපි කරන දෙයක් තමයි ඉතුරු වෙන්නෙ, සහ අපිට වැඩිපුරම ආදරය කරන්නෙ අපිමයි කියලා හිතෙන කාලයක් එනවා. මටත් එහෙම හිතෙන, හිතට දැනුණු දවස් තිබුණා. ඒ වගේ දවස්වල කාටවත් පේන්නෙ නැතිවෙන්න කෑගහලා අඬලා තියෙනවා. පරාර්ථකාමී ආදරයක් තියෙන්නෙ අම්මා තාත්තා ළඟ විතරමයි. අම්මාගේ වියෝවත් එක්ක ඒක තදින්ම දැනුණු අවස්ථා තිබුණා. සියලු‍ දෙනා අත්හැරලා තනිවෙන වෙලාවට අම්මවත් ළඟ හිටියේ නැති වෙද්දි ඒක පුදුමාකාර පාළුවක්, තනිකමක්. ඒ දවස්වල කෑගහලා තනියම ඇඬුවා. මම අඬන්න ඕනෑ වෙලාවට කෑගහලා අඬනවා. ඒක නතර කරන්නෙ නැහැ.

ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවසක් කියන්න?

මගේ ඉන්න කාලෙ මම අම්මට පොරොන්දුවක් වුණා. නිළියක් වෙන්න මහන්සි වුණු කාලයේ, දවස පුරාම මොකක් හරි චරිතයක් ලැබෙනකම්, අවස්ථාවක් එනතුරු මම අනන්තවත් අම්මා එක්ක ඇවිදලා තියෙනවා.කවදා හරි නිළියක් වෙලා සම්මානයක් ගන්නවා කියලා අම්මාට පොරොන්දු වුණා. ක්ෂේත්‍රයට ආපු මුල්ම දවසත් ගොඩක් සතුටු වුණු දවසක්. එදා ඉඳන් අම්මාගේ හීනය සැබෑ කරන්න පටන් ගත්තා. මම රඟපාලා පළවෙනි සම්මානය මගේ අතට ගත්ත දවසේ  අම්මාට වුණු පොරොන්දුව සැබෑ කළා. අම්මාට තව දීපු පොරොන්දුවක් තියෙනවා. ඒක මට තවම ඉටුකර ගන්න කාලය ඇවිල්ලා නැහැ.

තරින්දි ආඩම්බරකාරියක්ද?

ඔව්... තරින්දි ටිකක් ආඩම්බරයි. ගැහැනු ළමයෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්න ඕනැනෙ. ගැහැනු ළමයෙක්ගේ ආඩම්බරයත් එක්තරා විදියක ආභරණයක්. අපි ආඩම්බර වෙන්න ඕනෑ තැන් වගේම ආඩම්බර නොවී සිටිය යුතු තැන් තියෙනවා. අපි ඒ වපසරිය බලන්න ඕනෑ. ඒ තැනට අනුව මම හැසිරෙනවා. ආඩම්බර වීම කියන්නෙ අහංකාරකමට නෙවෙයි.

ජීවිතේ මඟහැරුණු දේවල්වලින් හිතට තාමත් දුකක් දැනෙන දේ මොකක්ද?

මඟහැරුණු දේවල් මතක් කර කර මම දුක්වෙන කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතයේ මඟහැරුණු දේවල්වලින් මම තාමත් දුක්වෙන එකම එක දේ මගේ අම්මාගේ වියෝව විතරයි. ඒක අදටත් මට දරාගන්න බැහැ. ඒ හැර ජීවිතේ මඟහැරුණු, අතහැරුණු අනිත් හැම දෙයක්ම සිදු වුණේ මගේ හොඳට කියලයි මම හිතන්නෙ.

අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මොකද ඇත්තටම හිතෙන්නෙ?

මගේ ආත්ම විශ්වාසය, මගේ කැපවීම, මගේ දරා ගැනීම, මගේ ඉවසීම එක්ක මම මේ ගමන එනවා. මේක හරි හෙමිහිට ආපු ගමනක්. ඒ නිසා අද මම සතුටින්. මේ හෙමින් ගමන මට හොඳයි. ඉදිරියටත් ඒ වේගයේ වෙනසක් වෙන්නෙ නැහැ. ඉවසීම, කැපවීම, දරා ගැනීම, ආත්ම විශ්වාසය, මට අම්මා කියලා දුන්න දෙයයි. ඒ වචන හතර මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළා. පිටුපසට හැරිලා බලද්දී ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.

•  දිශානි ජයමාලි
•  සුමුදු හේවාපතිරණ