දවස් පනහක්! ඉතින් සුබ පැතුම්! Passport
සිනමාවට ආදරය කරන අධ්‍යක්ෂවරයකුට තම සිනමා නිර්මාණයක් දවස් පනහක් පසුකිරීම කවරාකාරයේ සතුටක්ද කියලා මම නිර්වචනය කරන්නෙ නැහැ. ක්‍රිස් මේ මොහොතේ ඔබ ඒ සතුට විඳිමින් හිඳින වග මට දැනෙනවා?
ඔව්.. ඒක කවදාවත් වචනයෙන් නිර්වචනය කරන්න බැරි තරම් සතුටක්. මම හිතන්නෙ පාස්පෝට් චිත්‍රපටය ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් අපි දුන්නා. රට යන එක, රට පනින එක මේ මොහොතේ බොහෝ දෙනෙක්ගෙ බලාපොරොත්තුව වුණාට තාරුණ්‍යය විනාශය කරා ඇදී යන මාවත් සහ අතරමංවීම් ගැන කියන්න මම පාස්පෝට් තුළින් උත්සාහ කළා. විදෙස් නළු නිළියන් සහ රූගත කිරීම් සමඟ අලුත් අත්දැකීමක් පාස්පෝට් ඔස්සේ දෙන්න මට පුළුවන් වුණා. ලංකාවේ චිත්‍රපට ශාලා තුළ ප්‍රේක්ෂකාගාරය පිරෙන්න ඉන්න, ප්‍රේක්ෂකයන් විසිල් ගහ ගහ, අත්පුඩි ගහ ගහ චිත්‍රපටයක් හදවතින් විඳිමින් නරඹන අත්දැකීම් ලාංකික සිනමාව තුළ හරිම අඩුයි. නැත්තටම නැති තරම්. නමුත් පාස්පෝට් ‘හවුස් ෆුල්’ වෙච්ච තැන්වල විසිල් ගහ ගහ, අත්පුඩි ගහ ගහ පාස්පෝට් බලපු ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. ඉතින් ඒ විසිල් අත්පුඩි මැද පාස්පෝට් දින පනහ පසු කරද්දී දැනෙන සතුට කොහොමද වචනවලින් කියන්නෙ.
කාන්තාරයේ වීරයා ජගත් චමිල ප්‍රේක්ෂකාගාරයට යද්දි, ඒ වීරයා තිරයෙන් එහා සජීවීව දකිද්දි ප්‍රේක්ෂකයන් දක්වපු ප්‍රතිචාර මොනවද?
ජගා සහ ධර්මප්‍රිය ඩයස් පාස්පෝට් චිත්‍රපටයේ ජාඩියට මූඩිය වගෙයි. ජගා කාන්තාරයේ විඳින දුක ප්‍රේක්ෂකයන් දැක්කා. ඉතින් චිත්‍රපටය ඉවර වෙද්දි, ජගා ප්‍රේක්ෂකාගාරයට එද්දි ජගාව හැබැහින් දකිද්දි ප්‍රේක්ෂකයන් පුදුම වුණා. පුදුම සතුටක් වින්දා. සිංහල ප්‍රේක්ෂකයන් හුඟාක් ලැජ්ජයි චිත්‍රපටයක් තමන්ගෙ හිතේ හැටියට විඳිමින් නරඹන්න. මම හිනාවුණොත්, කෑගැහුවොත් අනික් අය කොහොම හිතයිද හිතනවා. ඒත් ඒක එහෙම වෙන්න බෑ. චිත්‍රපටයක් විඳිමින්, සිනමා ලෝකයේ සැරිසරමින්, ඒ නළු නිළියන් හා බැඳීමෙන් චිත්‍රපටයක් නැරඹිය යුතුයි. මොකද අපි ප්‍රවේශ පත්‍රයක් අරගෙන චිත්‍රපටයක් බලන්නෙ එය රස විඳින්න.
ලාංකික සිනමාව සිනමා කර්මාන්තයක් ලෙස ගොඩනොනැගීම දක්වා සමස්ත අර්බුදය තුළ ඛේදවාචකයන් රැසක් අන්තර්ගතයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ අර්බුදය ගැන කතා කිරීම සහ යෝජනා කිරීම් ඔබේත් යුතුකමක් ලෙස මම දකිනවා. ක්‍රිස් මම ඉල්ලන්නෙ උත්තරයක්?
අපි ඉන්දියාවත් එක්ක බැලුවොත් ඉන්දියාවේ ගුණාත්මක චිත්‍රපට නිර්මාණය වෙන්නත්, අපේ එසේ නොවෙන්නත් ප්‍රධානම හේතුව මොකක්ද? අපේ ඇතැම් නිර්මාණකරුවන්ගේ කිසිම ප්‍රමිතියක් නෑ. අවශ්‍ය න්‍යායාත්මක දැනුමක් වගේම සිනමාව ගැන කිසිම අධ්‍යයනයක් නෑ. එක දවසින් නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් බිහි වෙනවා. හොඳ චිත්‍රපට බලලා අධ්‍යයනයක්, හැදෑරීමක් ලබනවනම් කවුරුත් සිනමාත්මක ගුණයෙන් හීන චිත්‍රපට හදන්නෙ නෑ. අධ්‍යක්ෂවරයෙක් වුණාම ප්‍රධාන අරමුණ විය යුත්තේ ප්‍රේක්ෂකයා සතුටු කිරීම මිසක් අපේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම නෙවෙයි. අපේ සිනමාව තුළ මම දකින ප්‍රබල ඛේදවාචකයක් තමයි ඇතැම් අධ්‍යක්ෂවරු කොහෙන් හරි නිෂ්පාදකයෙක් හොයාගෙන එයාවත් චිත්‍රපටයේ රඟපාන්න දානවා. නිෂ්පාදකවරුන්ටත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ නිර්මාණකරුවන් හොයන විට සිනමාවට සේවාවක් වෙන නිර්මාණ බිහිකිරීමේ වගකීම නිෂ්පාදකවරයෙක් ලෙස දෙවුර දැරිය යුතු බව අවබෝධ කර ගැනීම. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් සිනමාව මෙවලමක් කරගන්න එපා කියන ඉල්ලීම මම සිනමා අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන් සහ නළු නිළියන් ඇතුළු ක්ෂේත්‍රයේ හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ.
ක්‍රිස්... ඔබගේ හෘද සාක්ෂියට එකඟවමද ඔබ මේ මොහොත දක්වා සිනමාව තුළ තීරණ ගත්තේ?
ඔව් කියන උත්තරය මට පැහැදිලිවම දෙන්න පුළුවන්. මම පොඩි මිනිහෙක්. මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මට ඕනෑ තරම් බාල නිෂ්පාදකවරුන්ගෙන් ඇරියුම් ලැබිලා තියෙනවා. ඒත් මම කවදාවත් එහෙම වැඩ කරන්න කැමති වුණේ නෑ. මගේ සිනමා ජීවිතයේ අවසාන මොහොත දක්වා මම සිනමාවට වැරැද්දක් කරන්නෙ නෑ. ඒක මගේ පොරොන්දුවක්.
චිත්‍රපට නිර්මාණකරණය සම්බන්ධ නියාමනයක්, චිත්‍රපට මුදාහැරීම සම්බන්ධ විධිමත් ක්‍රමවේදයක් නැති බව දැනෙනවා. පැහැදිලිවම දැනෙනවා. සිනමාව තමන්ගේ අයිතියක්, දේපළක් කියලා හිතන යම් පිරිසකගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් ක්ෂේත්‍රයටම හෙණයක් වෙච්ච තැන් තියෙනවා. ක්‍රිස්ට තියෙනවද උත්තරයක්?
මම රජයට කියන්නෙ, චිත්‍රපට සංස්ථාවට කියන්නෙ, චිත්‍රපටයක් කෙනෙක් කරනවනම් මෙවැනි ප්‍රමිතියක් තිබිය යුතුයි කියලා, යම් යම් නිර්දේශ ගෙන ආ යුතුයි. පිළිගත් ක්‍රමවේදයක් තුළ සිනමා අධ්‍යක්ෂවරුන් ප්‍රමිතිගත කරලා ඔවුන්ට හැඳුනුම්පතක් ලබා දීලා චිත්‍රපට කළ හැකි ඔවුන්ට පමණයි වැනි නිර්දේශ තුළ පැයෙන් දෙකෙන් සිනමා අධ්‍යක්ෂවරු බිහිවෙන පසුබිම නතර කළ යුතුයි. තමන් විනෝදාංශයක් විදිහට රඟපාන්න තියෙන ආසාව නිසා කෙනෙක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙනවනම් එය ප්‍රබල හානියක්. චිත්‍රපට නිෂ්පාදකවරයකුට අධ්‍යක්ෂවරයකුට නළු නිළියන්ට කැමරා ශිල්පීන්ට මේ ආදී වශයෙන් ඒ ඒ අයට වෙන්වෙච්ච ගෞරව පූර්ව වගකීමක් සහ වෘත්තිය වටිනාකමක් තියෙනවා. එය නිසි ලෙස හඳුනා නොගැනීම නිසා රැක නොගැනීම නිසා සමස්ත සිනමා ක්ෂේත්‍රයටම සිදුවෙන්නේ ප්‍රබල හානියක්. මෙහෙම ගියොත් අපේ රට සිනමාවෙන් පල්ලෙහාටම යනවා. අපේ රටේ ප්‍රේක්ෂකයන් බහුතරය අද හිතනවා හැදෙන බහුතරයක් චිත්‍රපට වැඩක් නෑ කියලා. දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණහොත් ප්‍රේක්ෂකයන් චිත්‍රපට ශාලාවලින් ඈත් වෙනවා. ඒ අය දමිළ, හින්දී, ඉංග්‍රීසි ආදී චිත්‍රපට නරඹන්න යොමු වෙනවා. මම නිර්මාණකරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා සල්ලි ටිකක් එහෙන් මෙහෙන් හොයාගෙන චිත්‍රපට කරන්න එපා. ලෝකයේ සිනමාව අතිශය දියුණු ලෙස ගොඩනැගුණු බොහෝ රටවල සිනමාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩුවත් චිත්‍රපට සංස්ථාවත් සිනමාව සම්බන්ධව තම වගකීම තේරුම් ගැනීම හා ඒ ඔස්සේ අවබෝධාත්මකව කටයුතු කිරීම අතිශය වැදගත්. තව අවුරුදු දහයකින් ලාංකික සිනමාව ඉන්දියාවේ සිනමාව සතු ප්‍රමිතියට හෝ ගේන්න නම් දැන්ම මෙම ක්‍රියාමාර්ග ගත යුතුයි.
තරුණ ආදරවන්තයන්ට, විශේෂයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ අමතර පන්ති යන ආදරවන්තයන්ට ආදරය කරන්න හමුවෙන්න තැනක් නැතිකමට ඕනෑම චිත්‍රපටයක් පෙන්වන සිනමා ශාලා කරා මොවුන් යනවා. අරමුණ චිත්‍රපටය රසවිඳීම නෙවෙයි වුණාට රසහීන සිනමාමය ගුණයෙන් හීන චිත්‍රපට සඳහා මෙවැනි චිත්‍රපට ‘නොබලන’ ප්‍රේක්ෂකයන් නිසා ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. මෙම තත්ත්වයත් සිනමා කර්මාන්තයට හානියක්. ඒ හානිය ගැඹුරින් විග්‍රහ කරගන්න ඔබට පුළුවන්. ප්‍රායෝගික උත්තර තියෙනවද දැනට මේ ප්‍රශ්නවලට?
ඇත්තටම ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. ඇත්තටම කෙනෙක් සිනමා ශාලාවකට යා යුත්තේ චිත්‍රපටය රසවිඳින්න මිසක් වෙන අරමුණු නිසා නෙවෙයි. හුඟාක් අය අද කියනවා අපේ චිත්‍රපට දුවන්නේ ‘කපල්’ නිසා කියලා. එය එසේ නොවිය යුතුයි. ‘කපල්’ උදෙසා චිත්‍රපට හැදෙන සිනමා සංස්කෘතියක් නෙවෙයි, සිනමාව උදෙසා චිත්‍රපට නිර්මාණය වෙන සිනමා සංස්කෘතියක් අත්‍යවශ්‍යයි. නැත්නම් ටික කාලෙකින් අපට කතා කරන්න සිනමාවක් නැතිවෙයි.
• සංජීවිකා සමරතුංග