2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අමුතු අමුතු කොණ්ඩ කුරුල්ලෝ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ඔන්න මචෝ අද අපි අරගෙන ආවා සිරාවටම ටිකක් අමුතු විදිහේ Y Trend එකක්. අද අපේ නවීන ලෝකය Fashion වලට වැඩි ඉඩක් දෙනවනෙ මචෝ. ඒත් ලෝකය සාපේක්ෂව අඩුවෙන්ම කතා කරන සීන් කෝන් එකක් තමා පිරිමි කොණ්ඩ මෝස්තර කියලා කියන්නෙ. එහෙම වුණත් සිරාවටම කාලෙන් කාලෙට අලු‍ත් වන Men's hairstyles පට්ට ආතල් Y Trend හදනවා. මේ සීන් කෝන් එක මේ කාලේ පට්ට විදියට ජනප්‍රිය Men's hairstyles කිහිපයක් සහ පිරිමි කොණ්ඩා මෝස්තර පිළිබඳ ඉතිහාසය හා වර්තමානය හරහා ගලා යන ආතල් සීන් එකක්.

සුදාලා මේක නිකම් සරල කාරණාවක් විදියට දැක්කත්, පිරිමි කොණ්ඩා විලාසිතා ඉතිහාසයේ සෑම කාලයකම විශේෂ අරුතක් පැවතුණු Fashion Trend එකක්. සෞන්දර්ය, සංස්කෘතිය, නැත්නම් පෞද්ගලිකත්වය, නිදහස වගේ සාමාජීය කාරණා ගොඩක් පිරිමින්ගේ කොණ්ඩ මෝස්තරවලට බලපාලා තියෙනවා. මෙහෙම කියද්දී ඕගොල්ලන්ට සීන් කෝන් එක චුට්ටක් හරි තේරෙන්න පටන් ගන්න ඕනෑ.

ඕනෑම ආතල් සීන් කෝන් එකක ඉතිහාසය ටිකක් දැනගන්න එක වෙනම විදියේ ආතල් එකක්. Men's hairstyles කියන සීන් කෝන් එක ආරම්භ වෙන්නෙ අපේ සුදාලාගේ ලොක්කො ගහෙන් බැහැලා ගල් යුගයට ඇවිල්ලා ගෝත්‍ර හදාගත්ත තැන ඉඳලා. ස්වභාවික දේශගුණික, කාලගුණික ඇතුළු පාරිසරික සාධක පිරිමින්ගෙ කොණ්ඩයට ලොකු බලපෑමක් කළා. මේ නිසාම එක එක ජන කණ්ඩායම්වලට, ගෝත්‍රවලට අනන්‍ය වෙච්ච කොණ්ඩා මෝස්තර විලාසිතා නිර්මාණය වෙලා තියෙනවා.

නිකම් මචෝ උදාහරණ විදිහට කිව්වොත් අප්‍රිකානු ශිෂ්ටාචාරය ඇතුළේ කොණ්ඩය ගොතන සීන් කොන් එකක් පටන් ගත්තා. ඇත්තටම මචෝ කොණ්ඩා සීන් එකේදී නම්, සමාජ තත්ත්වය සහ ආරෝග්‍යමත් බව සංකේත කරන්න ඒ ඒ ගෝත්‍රවල අය තමන්ගේ විශ්වාසයන්ට අනුව කටයුතු කළ බව තමා කියැවෙන්නෙ. ඊට පස්සේ මචෝ රෝම යුගයේ වගේ පිරිමින්ගේ කොණ්ඩ විලාසිතාව අධිකාරී බව හඟවන සංස්කෘතික කාරණාවක් බවට පත්වුණු බව තමා දැනගන්න ලැබෙන්නෙ.

අපි ගොඩක් වෙලාවට කතාබහ කරන මධ්‍යකාලීන යුරෝපයේ නම් මචෝ, ආගමික විශ්වාස මත කොණ්ඩයක් කෙටිව තබා ගැනීම පිරිමින්ට වඩාත් සුදුසු බව විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම සමාජ පන්ති, කුල බෙදීම අනුව කොණ්ඩය සරසන ආකාරය පිළිබඳවත් මධ්‍යකාලීනව නීති රීති තිබුණු බව දැනගන්න ලැබෙනවා. කොහොම වුණත් මචෝ දහනම වැනි සියවසෙන් පස්සෙ වික්ටෝරියානු යුගයේදී, ගරු කටයුතු පවිත්‍රතාවය දක්වන අංගයක් විදිහට තමා පිරිමින්ගේ කොණ්ඩය ලෝකය හඳුන්වලා තියෙන්නෙ.

කොහොම වුණත් මචෝ විසිවැනි සියවසේ අවසන් කාර්තුවේ ඉඳලා මේ වෙනකම් පිරිමින්ගේ කොණ්ඩයට තියෙන්නෙ වෙනම ආතල් එකක්. පිරිමි තමන්ගේ අත්දැකීම් හා පෞද්ගලික හැඟීම් දැක්වීමට කොණ්ඩා විලාසිතා භාවිත කරන්න පටන් අරගෙන තියෙනවා. කැමති නම් වර්ණ ගන්වන්න, කැමති නම් වවන්න, කැමති නම් කපන්න, කැමති නම් තට්ටය බාන්න වුණත් පුළුවන්. සිරාවටම මචෝ විසි එක්වැනි සියවසේ පිරිමි කොණ්ඩා මෝස්තර කියලා කියන්නෙ නිදහස, සෞන්දර්ය සහ පෞද්ගලිකත්වය කියන කාරණා හරහා මතුවෙන විවිධත්වය සහ ආවේණික ලක්ෂණ ප්‍රකට කරන Fashion Trend එකකට. මේ වෙනකොට මචෝ ගොඩක් පිරිමි තමන්ගේ Life Style එක පෙන්නන්න, Feelings අනිත් අයට ප්‍රදර්ශනය කරන්න, නැත්නම් තමන්ගේ විශ්වාස පිළිබඳ පණිවිඩයක් ලෝකයට ලබා දෙන්න කොණ්ඩා මෝස්තර භාවිත කරනවා. ඒක මචෝ නවීන ලෝකයේ සිදුවෙන සමීක්ෂණ මගින් මේ වෙනකොටත් තහවුරු වෙච්ච දෙයක්.

ඒ වගේම මචෝ කාන්තා කොණ්ඩා මෝස්තරවලට සාපේක්ෂව ගෝලීය ආකර්ෂණය මත අලු‍ත් කොණ්ඩා මෝස්තර නිර්මාණය වීම පිරිමින්ගේ ලෝකය තුළ දකින්න පුළුවන්. මයිකල් ජැක්සන්, රොනාල්ඩෝ, ඩේවිඩ් බෙකම්, විරාට් කෝලි, ලසිත් මාලිංග වගේ කලාවේ සහ ක්‍රීඩාවේ ජනප්‍රිය චරිත දිහා බැලු‍වොත් මේ වගේ අය හරහා නිර්මාණය වුණු කොණ්ඩා මෝස්තර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කාලෙන් කාලෙට පොදුවේ පිරිමි පිළිගන්නා කොණ්ඩා විලාසිතා Trend නිර්මාණය වීමත් සාමාන්‍ය සීන් කෝන් එකක්. ඒක නිකම් වසරෙන් දෙකෙන් තුනෙන් වෙනස් වෙන ආතල් එකක්.

දැන් සුදාලා බලයි ඔච්චරම කිව්ව එකේ මෑත කාලේ ලෝකයෙ ජනප්‍රියම කොණ්ඩා විලාසිතා මොනවද කියලා. Fade cuts, man buns, undercuts, textured crops වගේ කොණ්ඩා මෝස්තර පිළිබඳව ඔයාලා කැමති නම් අන්තර්ජාලයේ පැත්තෙ පොඩි Search පාරක් දාලා බලන්න. මේවා තමයි මෑතකාලීනව වඩාත්ම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන කොණ්ඩා මෝස්තර. මේ දවස්වල සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මෝස්තරවලට සාපේක්ෂව Modern hair style වලට ලොකු තැනක් ලැබිලා තියෙනවා.

Y Trend විදිහට Men's hairstyles 3 ක් ගැන අපිට කතා කරන්න පුළුවන් මචෝ. 2024 වසරේ ලෝකයේ ජනප්‍රියම පිරිමි කොණ්ඩා විලාසිතා තුන විදියටත් සමහර තැන්වල මේවා හඳුන්වලා තියෙනවා. පළවෙනි සීන් එක තමා Textured Fade කියන්නෙ. ඉදිරිපස සහ පසුපස කොණ්ඩය මෘදු fade එකකින් කපලා ඉහළ කොණ්ඩයට ස්වභාවික සකස් කරන එක තමා මේකෙදි සිද්ධ වෙන්නෙ. සරලව කිව්වොත් මචං දෙපැත්තෙන් සුදු කරලා උඩින් කොණ්ඩය උස්සන සීන් එක තමා මේක. මේ සීන් කෝන් එක ඉතාම පහසු, නිදහස් කියන සීන් කෝන් දෙකටම අයිති වෙන Style එකක් මචෝ.

ඊළඟ ආතල් Style එක තමා Crew Cut with Skin Fade කියන්නෙ. කෙටි, සරල කොණ්ඩය Crew Cut එකක් කරලා දෙපැත්තෙන් හරි, පිටිපස්සෙන් හරි fade කරන එක තමා මේකෙදී සිද්ධ වෙන්නෙ. කොණ්ඩය ටිකක් අඩුවට සමහරු කපලා දෙපැත්තෙන් සුදු පාටට අඩු අඩු කළාම ශක්තිමත් හා ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම ගොඩක් වෙලාවට මේ Fashion එක ක්‍රීඩකයන් භාවිත කරනවා දැකගන්න පුළුවන්.

ඊළඟ ආතල් Style එක තමා Messy Curls. ස්වභාවිකව වගේ කොණ්ඩය රැලි කරලා හදන එක කාන්තාවන් අතර ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන් විලාසිතාවක්. ඒත් මචෝ පිරිමි අතරත් මේ විලාසිතාව දකින්න පුළුවන්. හරිම මෘදු, නිදහසේ එහෙට මෙහෙට වන තරමක් වැවුණු රැලි සහිත කොණ්ඩවලින් තමා මේ Fashion එක කරන්නෙ. මේ තුළ කලාත්මක බවක්, වෙනම සන්සුන් අපූරු පෞරුෂයක් පෙනෙන බව විශ්වාස කරනවා.

මේ වෙනකොට තත්ත්වය මේක වුණත් මචෝ අනාගතයේදී තාක්ෂණය සහ Robotik style පිරිමි කොණ්ඩා මෝස්තරවලට බලපායි කියලා අනාවැකි පළ වෙලා තියෙන බවත් මතක් කරන්න ඕනෑ. පිරිසක් ඉතාම ස්වභාවික කොණ්ඩා මෝස්තර තෝරගන්න අතරේ, ලෝකයෙ තවත් පිරිසක් ඉතාම කෘත්‍රිම මෝස්තර සඳහා යොමුවීමේ සම්භාවිතාව බොහොම ඉහළයි. දැනටත් මේවායේ ආතල් එක පොඩ්ඩ පොඩ්ඩ දැකගන්න පුළුවන්. ඒත් අනාගතයේ පිරිමි කොණ්ඩා මෝස්තරවල මේ ආතල් එක වැඩිපුර දැකගන්න ලැබෙයි.

කොණ්ඩයත් එක්ක මිනිස්සුන්ගේ පෞරුෂය සහ ඔවුන්ගේ වටිනාකම් ගැන කතාබහ කරන, හඳුනා ගන්න සමාජ පසුතලයක් තාමත් තියෙන බව අමතක කරන්න හොඳ නෑ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය තුළ පිරිමින්ගේ කොණ්ඩය ගැන අමුතු අමුතු හීන තියෙනවා. ඉස්සර වැඩිපුරම එහෙම හීන තිබුණෙ පිරිමින්ට කාන්තාවන්ගේ කොණ්ඩය ගැන. හැබැයි මචෝ දැන් ඒක ටිකක් වෙනස් වෙලා.
ඉතින් මචෝ මේක ආතල් කතාවක්. තවත් වරුවක් කයිවාරු ගහන්න පුළුවන් විස්තර ගොඩක් මේ ආතල් සීන් එක ගැන තියෙනවා. ඉතින් තවත් දවසක වෙනත් පිරිමි කොණ්ඩා මෝස්තර ගැන සුදාලට විස්තර අරගෙන එන්නම්. එහෙනම් ටටා බායි.

• චමිඳු නිසල