2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

උඹ – බං කියාගත්ත ඒ ආදරේ මහ පුදුම ආදරයක් - සිංහල සිනමාවට අමුතුම සිනමා වියමනක් තෑගි කළ Chris Antony

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01 60

හැමදාම මුණගැසෙන
කිසිදාක එක් නොවන
සදාකාලික ප්‍රේමයේ
සොඳුරුතම සිත්තම

ඒ ක්ෂිතිජය අප නෙත් අද්දරය. රළ නගන මුහුදු රළට ඉගිලෙන හාදු පා කර රැල්ල තුරුල්ලේ දැවටී විත් වුවන මත දැවටෙන සුළං ඕවිල්ලේ නැලවෙමින් ක්‍රිස් දමිළ ගීයක තනු මංජරියක් රස විඳින ඇසිල්ලක අප මුණගැසුණු තත්ත්පරයත් මනරම් යැයි හිතුණි මට. සොඳුරු වෙහෙසකර දවසක නිමාව අද්දර ක්‍රිස් මහ මුහුද අද්දරය.

ඇයි ක්‍රිස් ඔයා මුහුද දකින්න ආවේ?

මම හරි සරල ජීවිතයකට හුරුවෙච්ච මනුස්සයෙක්. හිතට සුවදායක, මට සුවය සුන්දරත්වය විඳින්න පුළුවන් තැන්වල ඇවිදින්න කැමති මනුස්සයෙක්. සැහැල්ලුව අත්විඳින්න හිතුණම මම දවසකට චිත්‍රපට දෙකක් විතර බලනවා. ඇවිදිනවා. මුහුද ළඟට එනවා. ඇවිත් පැය දෙකක් විතර මුහුද දිහා බලාගෙන ඉන්නවා. මුහුදු සුළං ඇඟේ වදිද්දි මගේ ඇඟටත් හිතටත් පුදුමාකාර සුවදායී හැඟීමක් දැනෙනවා. මම ඒ සුවය විඳිමින් අලුත් අලුත් දේවල් හිතනවා. මුහුද දිහා බලාගෙන ඉද්දි අලුත් චිත්‍රපටයක් කරන්න ලස්සන වෙනස් අමුතු ප්‍රස්තුත මගේ හිතට එනවා. මුහුද රළ නගද්දි ඒ එන හඬ, සුළඟ, නිස්කාංසු සුවය කියන්නෙ මට යම් ආතතියක් එන මොහොතක ඒ ආතතිය මගෙන් උදුරගෙන මාව මට දැනෙන්නම නිවන තැනක්. මම හරි ආසයි සින්දු අහන්න. මම මුහුද ළඟට ආවම ශාස්ත්‍රීය දමිළ චිත්‍රපට සින්දු හුඟාක් අහනවා. ශාස්ත්‍රීය සිංහල සින්දුත් අහනවා. මම හරි ආසයි මතු යම් දවසක මම නිර්මාණය කරන චිත්‍රපට මම විඳින ඒ දමිළ සින්දුවල තනු රිද්මවල රසයෙන් රස ගන්වන්න. එහෙම හැඟීමකින් සහ සංගීතය තුළින් මම ලබන වින්දනය නිසයි, ඇත්තටම මම ඒ සින්දු අහන්නේ. රහුමාන්ගේ ගීතයක් අහලා මම විඳින වින්දනය මට හිතෙනවා සිංහල ප්‍රේක්ෂකාගාරයටත් දෙන්න පුළුවන් නම් කියලා. ඒ විදිහට එක් එක් සංගීතවේදීන්ගේ, ගායක ගායිකාවන්ගේ හඬ ඇසුරෙන් පෙරාගත් වින්දනීයත්වයක් සිංහල චිත්‍රපටවල තවරන්න තියෙනවා නම් කියලා මට හිතෙනවා.

ක්‍රිස් ඇයි ශ්‍රී ලාංකික දමිළ සිනමාවක් දමිළ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් නිර්මාණය කරන්න ලාංකික සිනමා අධ්‍යක්ෂවරුන් හිතන්නෙ නැත්තේ?

මම දමිළ චිත්‍රපට හුඟාක් බලන කෙනෙක්. මම දන්නවා ලාංකික දමිළ ප්‍රේක්ෂකාගාරයේ රසවින්දනයේ එක් එක් පරාසයන් තියෙනවා. ඉන්දියානු චිත්‍රපට නැරඹීම සහ විඳීම තුළ තමයි අතිශය බහුතරයක් ලාංකික දමිළ ප්‍රේක්ෂකාගාරය තමන්ගේ සිනමා ලෝලත්වය වෙනුවෙන් වින්දනීය ඉසව් සොයා යන්නේ. ඇත්තටම ඒ ඉන්දියානු නිර්මාණවල ප්‍රමිතියට ලංකාවේ දමිළ චිත්‍රපට නිර්මාණය කරන්න තරම් විශේෂයෙන් භෞතික පසුබිමක් අපිට තවම නෑ. ඔවුන් ඒ එක් සිනමා නිර්මාණයක් වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. ඒ වගේම ඉන්දියාවේ රංගවේදීන්ට ඔවුන් ගොඩනගාගෙන ඇති වටිනාකම අනුව වර්ගීකරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රේක්ෂකාගාරය දිහා බලන්න. එයාලා ඉන්දියානු සිනමාව කෙරේ දක්වන්නේ පුදුමාකාර සහ විස්මිත ආදරයක්. ගෞරවයක්. උදාහරණයක් විදිහට රැජිනි කාන්ත් කියන විශිෂ්ට නළුවා ගත්තොත් දමිළ සිනමා රසිකයන් රැජිනි කාන්ත්ට සලකන්නේ පුදුමාකාර භක්තියකින්. ඒක හරි විස්මිත දෙයක්. එහෙම පසුබිමක ඒ ප්‍රමිතියට ඒ රසාස්වාදයට සරිලන අයුරින් දමිළ චිත්‍රපට නිර්මාණය නොකළොත් ඔවුන්ට අප විහිළුවක් වෙනවා. ඒ වගේම පොහොසත් වින්දනාත්මක සහ සෞන්දර්යාත්මක ප්‍රස්තුතයන් අප එතැනදී සොයා යා යුතුයි. එහෙම නැතුව ශ්‍රී ලාංකික සිනමාව තුළ දමිළ චිත්‍රපට නිර්මාණය කිරීම හේතු විරහිත වෑයමක් විදිහටයි මම දකින්නේ. ප්‍රතික්ෂේප වීමක් සහ විහිළුවක් විදිහටයි මම දකින්නේ.

පාස්පෝට්.. ක්‍රිස් ඇන්ටනි සිංහල සිනමාවට තිළිණ කළ ලස්සනම තිළිණයක්. ක්‍රිස්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය, ක්‍රිස්ගේ පළමු සිනමා නිර්මාණය. කොහොමද ක්‍රිස් පාස්පෝට් එක්ක ඔයාට තියෙන ආදරය, බැඳීම ඔයාට දැනෙන්නෙ?

පුදුම විදිහට දැනෙනවා. මට හිතෙන්නේ මනුස්සයෙක්ගේ හිතට දැනෙන සමහර හැඟීම් වචන කරන්න හරි අමාරුයි. මට පාස්පෝට් ගැන දැනෙන හැඟීම, ආදරයත් එහෙමයි. මේ රට තමයි හොඳම රට කියලා පාස්පෝට් චිත්‍රපටයේ එක් තැනක මම කියනවා. ඒ තමයි මගේ අවංක හිතුවිල්ල. මම මේ ලෝකයේ රටවල්වල ඇවිදලා තියෙනවා. ඒත් මම ඉපදුණු, මම හුස්ම ගත්ත, මම මගේ ජීවිතය පැල කරපු මගේ මේ රට ගැන මට දැනෙන කැක්කුම, ආදරය, හැඟීම මට කවදාවත් වෙන රටක් ගැන දැනිලා නෑ. කවදාවත් මට දැනෙන එකකුත් නෑ. සමාජයේ ජීවත්වෙන හැම මනුෂ්‍යයකුගේම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් තමයි මුදල් කියන්නේ. මිනිස්සු මෙච්චර ලස්සන රටක් හැර යන්න ප්‍රධානම එක් හේතුවක් වෙන්නේ මුදල්. එතැනදි ඕනෑම කෙනෙක්ට මූලිකම අවශ්‍යතාව වෙනුවෙන් සමහර විට ජීවිතයේ තවත් දේවල් අතහරින්න, මඟහරින්න සිද්ධ වෙනවා. ආදරය, බැඳීම් ජීවිතයේ අංක දෙක කියලා හිතන්න සිදු වෙනවා. ඒත් ජීවිතය දැනෙන්න හුස්මක් ගන්න බව දැනෙන්න ජීවිතය ඉල්ලන ජීවිතය හොයන මනුස්සයෙකුට කවදාවත් මනුෂ්‍ය හැඟීම්වලින් වියුක්තව ජීවිතය හොයන්න බෑ. ජීවිතය හමුවෙන්නෙත් නෑ. මුදල්, භෞතික වටිනාකම් කියන්නෙ ජීවිතයේ එක් සාධකයක් තමයි. ඒත් ජීවිතය සමතුලිත වෙන්න නම්, ජීවිතය දැනෙන්න ජීවිතය මත ඇවිද යන්න නම්, භෞතික සහ ආධ්‍යාත්මික වටිනාකම් සමබරව පයේ ලාගත් මිරිවැඩි සඟලක් සේ විය යුතුයි. එහෙම දෙයකින් ඇවිදිද්දි තමයි ජීවිතය පුදුමාකාර විදිහට දැනෙන්නේ. නැත්නම් ජීවිතය යස ඉසුරින් උතුරන, ඒත් හරි වෙහෙසකර අත්දැකීමක් විතරක්ම විදිහට දැනෙන්න ගනීවි. හීන හොයාගෙන යන, හීන අතහැරෙන, හීන මඟහැරෙන හීන අතරෙ නන්නත්තාර වෙන මේ මහ පොළොවේ ඇත්තම ජීවිතය තමයි පාස්පෝට් තුළ නිරූපණය වෙන්නේ.

ගැහැනියකගේ හිතේ පිරිමියකු වෙනුවෙන් ඉපදෙන, දළුලන, පැලවෙන ඇත්තම ඇත්ත ආදරය කියන්නෙ නිලාගෙ හිතේ අමරෙ වෙනුවෙන් ඉපදෙන ආදරයද කියලා මට පුදුම විදිහකට හදවතට දැනුණු එක තැනක් තමයි නිලා “උඹට මොකුත් වෙන්නෙ නෑ... උඹ මගේ මිනිහා බං” කියලා කියන තැන. උඹ මගේ මිනිහා බං කියන වචන අස්සෙ එතරම් ගැඹුරු, උතුරා යන ආදරයක් ගෑනියෙකුට ප්‍රකාශ කරන්න තවත් වචන තියෙනවද කියලා මට හිතුණා. ඒ වගේම “උඹ හොඳ ජීවිතයක් හදා ගනින්... මම පණ පිටින් එන එක ෂුවර් නෑ. උඹ බැඳලා හොඳට හිටපන්” කියලා අමරෙ කියද්දි ආදරය කියන්නෙ අයිතියට නෙවෙයි... ආදරය කියන්නෙ ආදරයට. හිමි වුණත් අහිමි වුණත් නිර්ලෝභී හිතකින් ජීවිතයක් වෙනුවෙන් කරන ආශිර්වාදය කියලා මට දැනුණා. කොහොමද ක්‍රිස් ආදරය මේ තරම් ලස්සනට ඔයා නිර්වචනය කර ගත්තේ?

ඒක නෙවෙයිද ආදරය. ඒ තමයි ආදරය. අමරෙ ගැන නිලාගේ හිතේ තියෙන ආදරය හරි පුදුමාකාර ආදරයක්. ගැහැනියකට පුළුවන් තමන් ආදරය කරන පිරිමියා වෙනුවෙන් තමන්ගේ හුස්ම ටික හරි දන් දෙන්න. එහෙම දන් දුන්න ගැහැනුන් ඉතිහාසයේ පොත් පිටු අතරේ කවි, ගීත, සාහිත්‍යයේ විතරක් නෙවෙයි, ඇත්තටම මේ මහ පොළොවෙත් හිටියා. අදත් ඉන්නවා. අනුරාගය කියන සාධකය පැත්තකින් තිබ්බම ගැහැනියක පිරිමියෙකු කෙරේ දක්වන ආදරය තුළ උතුරා යන මව්වත් ගුණය, අම්මා කෙනෙක්ගේ ළය ලෙයට දැනෙන තරම් ආදරයක් වගේ ආදරයක් තිබිය හැකි  වග මිත්‍යාවක් නෙවෙයි. පිරිමියෙකුට එහෙම ආදරය කරන, ආදරය ආදරය විදිහටම තේරුම් ගත්ත ගැහැනියක් තමයි නිලාගේ ආත්මය තුළ හුස්ම ගන්නෙත්. පාස්පෝට් තුළ ආදරය, ප්‍රේමය වැනි සංකල්ප විවිධ ප්‍රවේශ ඔස්සේ කතා කරනවා. ආදරය, ප්‍රේමය විහිදුවාලිය හැකි විවිධ දිශානතින් තුළ විහිදුවනවා. ආදරය නිසාම ආදරය අතහරින තැන් කියන්නෙත් හරි බෝසත් ගුණයක්. මිනිසුන්ගේ හදවත් තුළ ඒ තියෙන බෝසත් ගුණය තරම් සුවඳවත් ගුණයක් මම දන්නෙ නෑ, තවත් මේ ලෝකයේ තියෙනවද කියලා. අමරෙගේ පපුවෙ තිබුණෙ එහෙව් පිරිමි ආදරයක්. කතරක අතරමං වෙලා ඊළඟ මොහොත ජීවිතය ද මරණය ද දන්නෙ නැති තත්ත්පරයක අමරේ නිලාට කියන්නෙ උඹ හොඳ ජීවිතයක් හදාගනින්... මම පණ පිටින් එන එක ෂුවර් නෑ... උඹ බැඳලා හොඳින් හිටපන් කියලා. අතහැරලා ආදරය කරන්න පුළුවන් තැන ආදරය කියන්නේ බෝසත් පාරමිතාවක්. දිව්‍යමය මනෝභාවයක්. උඹ කියලා උන් කතා කරන්නේ, බං කියලා උන් කතා කරන්නේ හදවත පලාගෙන උපදින ඒ ආදරය හින්දා. උඹ, බං, කියන වචන අස්සේ ගුලි ගැහිලා තියෙන්නෙම ආදරය. තවත් තැනකදි අමරෙ පණ පිටින් ඉන්නවද නැද්ද දන්නෙ නැතුව, පයේ සෙරෙප්පු දෙකක්වත් නැතුව නිලා අමරෙ හොයාගෙන යද්දි නිලාට අමරෙ මුණගැහෙන මොහොතෙදි කියනවා.. උඹ පණ පිටින් ඉන්නවනම් මට ඒ ඇති කියලා. මම දැන් උඹේ මූණ දැක්කනෙ... උඹ හොඳට ඉන්නවනෙ.. ඒ මට ඇති කියලා. ඇත්තටම ඒ වචන එහෙම කියද්දි නිලා සහ අමරෙ පෙම්වතුන් නෙවෙයි. ආදරය කියන්නේ අත්සනට ලියැවෙන ලියවිල්ලක්වත් දිවුරුමක්වත් ප්‍රතිඥාවක්වත් නෙවෙයි. උඹගේ ලෝකයේ මම කවුරුත් නෙවෙයි වුණත් උඹ හොඳින් නම් මට ඒ ඇති කියන එක තමයි නිලා මේ වචන අස්සේ හංඟලා තියෙන්නේ.

ගැහැනියකගේ හදවත තුළ දේවතාවියක් වගේ ආදරය තියෙද්දි තමන් ආදරය කරන පිරිමියා වෙනුවෙන් ඒ ගැහැනිය දෙන්න පුළුවන් මොහොතේ හුස්ම ටිකත් දෙනවා. උඹ මගේ මිනිහා බං කියලා කියන වචන ඇතුළේ උතුරන්නේ අන්න එහෙම ගැහැනියකගේ ප්‍රාණසම ප්‍රේමයයි. ඇත්තටම පාස්පෝට් ඇතුළෙ නිලාගේ සහ අමරෙගේ ප්‍රේම කතාන්දරය පාස්පෝට් එළිය කරපු පහනක් වගේ.

අමරෙට සිනමාමය හුස්මක් දුන්නේ ජගත් චමිල කියන විශිෂ්ට රංගධරයා. අමරෙව ජීවත් කරන්න ජගත් චමිල කළ අප්‍රමාණ සිනමාමය කැපකිරීම ක්‍රිස් අගයන්නෙ කොහොමද?

වචනවලින් ජගාට සම්මානයක් දෙන්න පුළුවන් නම් මම දැන් ජගාට දෙන්නෙ ඒ ගෞරවය. සම්මානය. ජගත් කියන්නේ රංගනය තුළ ඕනෑම අභියෝගයක් පුදුම ධෛර්යකින් බාරගන්න, හරිම සතුටකින් ඕනෑම කැපකිරීමක් කරන, ඇත්තටම කලාවට සිනමාවට ආදරය කරන අති විශිෂ්ට නළුවෙක්. මම ජගාට පාස්පෝට් ගැන මුලින්ම කියද්දි ජගා හිනාවෙලා කීවේ, මම ඕනෑ කැපකිරීමක් කරන්නම්... අපි කරමු කියලා. ඇත්තටම අමරෙගෙ චරිතය ලියද්දි මට ජගා ඇරෙන්න වෙන කිසිම නළුවෙක් ඔළුවට ආවෙ නෑ. කාන්තාරයේ ෂූට් එක කරන්න අපි බලන්න යද්දි එතැන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 යි. අපි ෂූට් එක කරද්දි එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 යි. පිච්චෙන අව්වක්. වතුර තිබහ එනවා, දරාගන්න බෑ. ජගාට සපත්තු නැතුව එහි ඇවිදින්න ඕනෑ. යටි පතුල් පිච්චෙන නිසා මුලින් අපි යටි පතුලේ ස්ටිකර් ඇලෙව්වා. ඒත් ඒක ගැලවෙනවා. කැමරාවට පේනවා. ජගත් ඒක ගලවලා දැම්මා. ජගත් කළේ එක ඉල්ලීමයි. ඒ රංගනය ඉවර වුණු ගමන් කවුරු හරි සපත්තු දෙක අතේ තියාගෙන ඉඳලා දුවලා අරගෙන එන්න මට දාගන්න කියලා. මට හිතාගන්න බෑ, පිච්චෙන උෂ්ණත්වයක් දරාගන්න ජගාට තිබුණු හයිය සහ සිනමාමය ආදරය. තව තැනක ජගා අර ගින්දර වගේ වැල්ලෙ පෙරළිලා එද්දි එයාට අමතක වෙලා ඇස් ඇරෙනවා. ඒ වෙලාවේ වැලි යනවා ඇස් දෙකට. ඒක පුදුම අවදානමක්. ඇස්වලින් ඒ වැලි ඉවත් කරන්න පැය එකහමාරක් විතර ගියා. එහෙම වැලි ඉවත් කළාට පස්සේ ජගා මට කියනවා, අපි ආය ගමු නේද ඒ සීන් එක කියලා. එච්චර දෙයක් වෙලත් මේ මිනිහා කොහොමද මෙහෙම කියන්නෙ කියලා මට පුදුමත් හිතුණා. ඇස් දෙකටත් වඩා මූ සිනමාවට ආදරේද හිතුණා. පිස්සුද ජගා... මේක හොඳටම හොඳටම හොඳයි. උඹ හොඳටම කළා කියලා මම කියද්දි උඹට අප්සෙට් නම් කියපන්, ආය මම වැල්ලෙ පෙරළෙන්නම් කීවා. ජගත් චමිල, අමරෙ වෙනුවෙන් කරපු කැපකිරීම මෙච්චරක් කියලා කියන්න ඒ වචන ටිකම ඇති කියලා මට හිතෙනවා. ඉන්දියාවේ රාජස්ථාන්වල ජගා එයාගේ ෂූටින් ඉවර වෙලත් චිත්‍රපටය වෙනුවෙන් දවස් 15 ම අපි වෙනුවෙන් හිටියා.

නිලා වෙනුවෙන් නයනතාරා වික්‍රමාරච්චි.. ඒ ඇගේ පළමු සිනමා රංගනයයි. ඇත්තටම නිලා තුළ නයනතාරා ජීවත් වුණාද?

ඇය පුදුම ආදරයකින් පාස්පෝට් තුළ ජීවත් වුණා. භරත රංගනයක යෙදෙන තත්ත්පර ගාණක රංගනය වෙනුවෙන් ඇය පැය ගණනක් භරත රංගනය ඉගෙන ගත්තා. රෑ 1 ට පටන් ගත්ත ඒ ෂූට් එක ඉවර කළේ පාන්දර 3.00 ට. එක් තැනකදි නිලා අඬද්දි මට අවශ්‍ය හැඬුම ඇගෙන් ආවේ නෑ. මට ඕනෑ වුණේ යමක් අහිමි වෙද්දි එය ඉල්ලා හඬන දරුවෙක් උගුර යටින් අඬන ඇඬිල්ල. මම ඒ ඇඬිල්ල නයනතාරාට අඬලා පෙන්නුවා. ඇය සිනමාව තුළ ඇගේ ගමනෙහි සුබ ලකුණු පාස්පෝට් තුළ සනිටුහන් කළා කියලයි මට හිතෙන්නේ. ඇය අභියෝග දෙවුර දරන්න බියක් නැති නිළියක්.

අපට අහිමි වූ දර්ශන් ධර්මරාජ්... ක්‍රිස් කියන්න වචනයක්?

පාස්පෝට් තුළ දර්ශන් ඉතිරි කර ගිය මතකයට ක්‍රිස් ඇන්ටනි හැමදාම ආදරය කරාවි. දර්ශන් කියන්නේ හරි සුන්දර හොඳ මනුස්සයෙක්. දර්ශන් ඉස්කෝලෙ යන දවස්වල ඉඳන් මගේ හොඳ යාළුවෙක්. දර්ශන් චිත්‍රපටයකට කතා කරද්දි කවදාවත් එයාගේ බජට් එක කීයද කියලා මුලින් අහන්නෙ නෑ. කරමු මචං කියලා තමයි කියන්නෙ. මට නැතිවුණේ අති දක්ෂ නළුවෙක් විතරක් නෙවෙයි. කොටහේන ලේන් එකේ ඉන්න කාලෙ ඉඳන්, අවුරුදු පහළොවේ ඉඳන් මට යාළුවෙක් වෙච්ච මගේ යාළුවා. දර්ශන්ට චරිතයක් දුන්නම ඒ චරිතය ගැන ඔහුට කියන්න ඕනෑ නෑ. දර්ශන් දන්නවා ඒ චරිතය. මට වැඩියෙන්ම දැනෙන්නේ මට හොඳ යාළුවෙක් අහිමි වූ වේදනාවයි.

ක්‍රිස්... පාස්පෝට් ඔබට දැවැන්ත සිනමාමය අභියෝගයක් වූ බවට ප්‍රේක්ෂකයෙක් විදිහට මම සාක්ෂියක්. ඒ අභියෝග පාස්පෝට් තරම් සුන්දර නොවන වගත් මම දන්නවා. මට දැනුණු දේ ඇත්තද ක්‍රිස්?

පුදුමාකාර අභියෝග සමුදායක ලස්සනම ප්‍රතිඵලය තමයි පාස්පෝට් කියන්නේ. චිත්‍රපටයක් කරද්දි ප්‍රධානම අභියෝගය තමයි නළු නිළියන් තෝරා ගැනීම සහ දර්ශන පසුතල තෝරා ගැනීම. පාස්පෝට් චිත්‍රපටය රටවල් හතරක රූගත කිරීම් කළා. එක රටක චිත්‍රපටයක් රූගත කරනවට වඩා ඒක හරි සංකීර්ණ කාර්යයක්. ඉතාලිය, ඉන්දියාවේ රාජස්ථාන්, ඔස්ට්‍ර්යාව සහ අපේ රටේ පාස්පෝට් රූගත කිරීම් කළා. රාජස්ථාන්වලට නව දිල්ලියේ ඉඳන් කිලෝමීටර් එක්දහස් ගණනක් යන්න තියෙනවා. ලොකු කාලයක් ඒ ගමනට ගියා. අපි ගියේ වායු සමනය කළ බස් එකක. ඒ දේශගුණය අමාරුයි. කෑම බීම, භාෂාව ප්‍රශ්න, මේ වගේ අභියෝග හුඟාක් තිබුණා.

ඉතාලියේ හොඳම සහ ප්‍රබල තැන්වල අපි රූගත කිරීම් කළේ. කොලෝසියම්, පීසා කුලුන වගේ තැන්වල. වැනීසියට යද්දි එදා ගංවතුර. රූගත කිරීම් කරන්න දෙන්නම බෑ කීවා. හුඟාක් කරුණු කියලා තමයි එදා ඒ රූගත කිරීමට ඉඩ හදා ගත්තේ. ඉතාලියේදි මහේෂ්, රුවන් වගේ අය පුදුම විදිහට උදව් කළා. ඉතාලිය ඇතුළේ එක දවසට කිලෝමීටර දෙසිය තුන්සීය ගණන් අපි ඇවිද්දා. මේ චිත්‍රපටයේ අප්‍රිකානු, නයිජීරියන්, මොංගෝලියන් රංගවේදීන් රඟපානවා. අපි ඔවුන් තෝරා ගත්තේ ඉන්දියාවේ ඇක්ටින් ස්කූල් එකකින්. ඒ අය එක්ක කතා කරද්දි සමහර අයට භාෂා ප්‍රශ්නය ආව නිසා මට සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තකයකු විදිහටත් ඇතැම් තැන්වල කටයුතු කරන්න සිදු වුණා.

ජගත් චමිලට වගේම පාස්පෝට් වෙනුවෙන් උපරිම රංග දායකත්වය දුන් මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, රොෂාන් පිලපිටිය, මල්කාන්ති ජයසිංහ ඇතුළු සියලු නළු නිළියන්ටත්, තිරයෙන් එහාට පාස්පෝට් සමස්ත කණ්ඩායමටත්, උදව් කළ හැම කෙනාටත් සියලුම සිනමා  ප්‍රේක්ෂකයන්ටත් පුදුම ආදරයකින්, පුදුම ගෞරවයකින් හදවතින්ම මම ආදරෙයි. ස්තූතියි.. ඒක වචනවලින් කියන්න බැරි තරම් හැඟීමක්.

ක්‍රිස්... ඇයි සිනමාවට මෙච්චර ආදරේ?

සිනමාව කියන්නෙ මගේ ලේවලට දැනෙන බැඳීමක්. ආදරයක්. මගේ රටට වගේම මගේ රටේ සිනමාවටත් අනේ මම හරි ආදරෙයි. ඒ ආදරේ කොච්චරද අහන්න එපා කවුරුත්. ඒකට මම උත්තරයක් දෙන්න කවදාවත් දන්නෙ නෑ. දන්න එකම දේ සීමා විරහිතව කොන්දේසි විරහිතව මම ආදරෙයි.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ