MY Red Comrade රතු පෙම්වතා
Q ආසිරි... වෘත්තියෙන් ඔයා කවුද?
මම දැන් වෘත්තියෙන් නිදහස් ලේඛකයෙක්. මම වසර විස්සක් පමණ වෙළෙඳ දැන්වීම් ආයතනවල පූර්ණකාලීනව සේවය කළා. මේ වෙද්දි නිදහස් වෙළෙඳ දැන්වීම් සිංහල පිටපත් රචකයෙක් විදිහට වැඩ කරනවා.
Q ආසිරි කියන්නෙ පුවත්පත් කලාවෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරපු කෙනෙක්. අපි ඒ ගමන ගැන කතා කළොත්?
ඔව්... මගේ මුල්ම වෘත්තිය වුණේ යොවුන් පුවත්පත් කලාවේදියෙක් විදියට සේවය කිරීමයි. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. නමුත් ඒ කාලේ ඉඳන්ම මට කලා කටයුතුවලට වැඩි කැමැත්තක් තිබුණා. විශේෂයෙන් මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයට කැමැත්තෙන් හිටපු කෙනෙක්. වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයෙක් විදියට ඒ කාලේ ඒ දේවල් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ලේඛනය මුලින්ම හදාරන්න මට ඕනෑ වුණා. මම උසස් පෙළට ජීව විද්‍යාව හදාරලා ඉන්පසු යොවුන් පුවත්පතක වසර කිහිපයක් සේවය කළා. ඉන්පසුව සිනමාව හා රුපවාහිනී මාධ්‍ය හදාරන්න තිබුණු ආසාව නිසාම මම ඇන්ඩෘ ජයමාන්න මහතා යටතේ පාඨමාලාවක් හදාරලා ඔහුගේ සහාය කැමරා ශිල්පියා ලෙසින් සේවයට එකතු වුණා.
Q ජීව විද්‍යාවෙන් උසස් පෙළ හදාරපු ඔයා පුවත්පත් කලාවට, වෙළෙඳ දැන්වීම් කලාවට, යොමු වෙනවට ගෙදරින් කැමැත්තක් තිබුණාද?
මම ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලේ. මගේ තාත්තා හිටපු පොලිස් නිලධාරියෙක්. ඒ නිසා මේ ක්ෂේත්රයට යොමු වෙනවට තාත්තාගේ තරමක අකැමැත්තක් තිබුණා. ඔහුගේ වුවමනාව වුණේ මාව පොලිස් සේවයට යොමු කිරීමයි. අපේ ගෙදර හැම වෙලේම පොත්පත් තිබුණා. අපේ අම්මා හරියට පොත්පත් කියෙව්වා. ඒ නිසා අපේ ගෙදරින් නිතරම පුවත්පත්, පොත් මිලදී ගත්තා. අම්මගේ පොත්පත් කියවන ආභාෂය මට පොඩි කාලේ ඉඳන්ම ලැබුණා. ඒ නිසා "ඔයා කැමති දේ ඔයා කරන්න" කියලයි අම්මා මට කිව්වේ.
Q ආසිරිගේ පියා පොලිස් නිලධාරියෙක්. රාජකාරියේ දී වගේම නිවසේදිත් ඔහු නීති රීති දැමූ පියෙක්ද?
තාත්තා පොලිස් සේවයේ යෙදී සිටි නිසා මට අවුරුදු විසි ගාණක් වෙනතුරු අපි පොලිස් මහල් නිවාසවල ජීවත් වුණේ. ඒ නිසා තාත්තාගේ කිසියම් මට්ටමක නීති මාලාවක් යටතේ ජීවත් වෙන්න සිදුවුණා. මගේ ළමා කාලය ඒ විදියට ගෙවුණා.
Q සුදත් මහදිවුල්වැව නම් අධ්‍යක්ෂකවරයා ඔයාට මුණගැහෙන්නේ කොහොමද?
සුදත් මහදිවුල්වැව කියන්නේ ඒ කාලේ ඉඳන්ම මම කැමතිම අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ වනස්පති, දණ්ඩේලු ගිනි, ධවල රාත්‍රිය වැනි නිර්මාණ ඔස්සේ රුපවාහිනි ක්ෂේත්රයේ වෙනස් නිර්මාණ ඔහු සිදු කළා. මම ඒ නිසා ඔහුව අධ්‍යයනය කළා. මම ඔහුගේ නිර්මාණ අතිශයින්ම රස වින්දා. ඔහුගේ නිර්මාණ හරහා මේ ක්ෂේත්රයට මගේ දැඩි කැමැත්තක් ඇතිවුණා. මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයට සම්බන්ධ වුණාට පස්සේ සිනමාව හා රුපවාහිනී මාධ්‍ය ටිකක් මග ඇරුණා. නමුත් කාලයකට පස්සේ මුහුණුපොත හරහා මට සුදත් මහදිවුල්වැව මහතා මුණගැහුණා. ඒ දවස්වල මම ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ චරිතාපදාන එකතු කරලා පොතක් ලියන්න හිතාගෙනයි හිටියේ. එහි මුලින්ම සුදත් මහදිවුල්වැව මහතා ගැන ලියන්න මගේ අදහසක් තිබුණා. ඒ අතරේ මට චිත්‍රපට තිර රචනා ලිවීම පිළිබඳ කිසියම් හැදෑරීමක් කරන්න ඕනෑ වුණා. ඒ තොරතුරු මම වරින් වර ඔහුට කතා කරලා ලබා ගත්තා. ඔහු විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා ඔහු මට ඒ හැමදේම කියලා දුන්නා.
Q ඒ හඳුනා ගැනීමම "My Red comrade” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට සම්බන්ධ වෙන්න ප්‍රමාණවත් වුණාද? මීට පෙර රංගනයට දායක නොවුණු ආසිරිට මේක අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම මේක අභියෝගයක්. මීට පෙර මම එක්තරා වෙළෙඳ දැන්වීමක පොඩි කොටසක රඟපාලා තිබුණා. එච්චරයි. රඟපෑමක් සම්බන්ධයෙන් මට තිබුණු එකම අත්දැකීම ඒක විතරමයි. ඒ නිසා සුදත් මහදිවුල්වැව මහතා මේ චරිතයට කතා කරද්දි මුලින්ම ඒක මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. නමුත් මම වගේ රුපකායක් තිබුණු කෙනෙක්ව ඔළුවේ තියාගෙන මේ පිටපත ලිව්වා කියලයි ඔහු කිව්වේ. ඊට පස්සේ අපි චරිතය ගැන දීර්ඝ ලෙස කතා කළා. ඒ වගේම මම ඔහුව විශ්වාස කළා. මොකද ඔහු ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්. අන්තිමට මම නිර්මාණය බාරගත්තා. ඇත්තටම මේක විශාල අභියෝගයක්. ඒ වෙනුවෙන් විශාල වැඩමුළු ප්‍රමාණයක් තිබුණා. රඟපෑම විතරක් නෙවෙයි, කැමරා අධ්‍යක්ෂකවරයත් එක්ක, කලා අධ්‍යක්ෂකවරයත් එක්ක දීර්ඝ ලෙස අපි කතා කළා. ඒ වගේම ඒ දර්ශන තලයේ දවස් දෙකක්ම පුහුණුවීම් කරලා හොඳ සූදානමකින් මම මේ චරිතයට ප්රවිශ්ට වුණා.
Q ඒ කියන්නේ ඔයාගේ ඔය විලාසිතාව නිර්මාණයට හැඩගැහුණු එකක් නෙවෙයි?
නැහැ... මේ පෙනුම මගේ සාමාන්‍ය පෙනුමමයි. මම කොණ්ඩය හා රුවුල වවන්න ආසා කරපු කෙනෙක්. නමුත් රුකියාවත් එක්ක සතියෙ දවස් පහක්ම කොළඹ යන්න එන්න ඕනෑ නිසා ඒක පවත්වාගෙන යන්න අමාරුයි. කොණ්ඩේ රුවුල වවන්න පටන් ගත්තට පස්සේ කොවිඩ් වසංගතය ආවා. ඒකත් එක්ක දිගටම රුවුල කොණ්ඩය වවන්න පටන් ගත්තා. ඇත්තටම අවුරුදු 40ක් විතර කොණ්ඩය රුවුල කපලා පිළිවෙළට හිටපු මට කොණ්ඩය රුවුල වවලා බලන්න හිතුණා.
Q නිර්මාණයේදී ආසිරිට තරින්දිගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
තරින්දිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇය රුපවාහිනී මාධ්‍යයේ ඉන්න දක්ෂ පළපුරුදු නිළියක්. අපිට මේ චිත්‍රපටයේ දීර්ඝ දෙබස් කාණ්ඩ තිබුණා. දීර්ඝ දර්ශන තිබුණා. ඇයගෙන් ලැබුණු සහයෝගය, මට ඒ නිර්මාණයට සාර්ථක ලෙස දායක වෙන්න එක් හේතුවක් වුණා.
Q “My Red comrade” නැරඹූ ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ චරිතයට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙනවා. සමහරුන්ගෙන් "රඟපාලා නැහැ, රඟපාන්න දන්නේ නැහැ, රඟපාලා මදි, මූණෙන් මීට වඩා හැඟීම් ඉදිරිපත් කරන්න තිබුණා” වගේ විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ඊට හාත්පසින්ම වෙනස්ව "ඒ චරිතය තුළ ජීවත් වුණා, ඒ චරිතයට සාධාරණයක් කළා, හොඳ චරිතාංග නළුවෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කළා,” කියලා සමහරු කියනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම මම ආදරෙන් බාරගන්නවා.
• දිශානි ජයමාලි