2024 මාර්තු 30 වන සෙනසුරාදා

එයා වෙනුවෙන් මම කළේ ගී සති පූජාවක් - නිරංජලා සරෝජනී

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

Q පසුගියදා ඔබේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ඨ වුණා නේද? 

ඔව්... අබේ 2010 මාර්තු මාසේ 26 වැනිදා නැතිවුණා. මේ වසරට එයා නැතිවෙලා වසර දාහතරක් වෙනවා. ඉතින් අබේගේ මේ දාහතර වැනි සිහිගැන්වීමේ දිනය නිමිත්තෙන් "නූතන ගීතයේ අබේ - නිරංජලා සුසංයෝගය" නමින් කෘතියක් එළිදක්වන්න මට හිතුණා. මේ කෘතිය ප්‍රාසාංගික සැන්දෑවක් සමඟ කොළඹ පදනම් ආයතනයේදී මාර්තු 26 වැනිදා එළිදැක්වුවා. බිරිඳක්, කලාකාරියක් හැටියට මේක මගෙන් විය යුතු යුතුකමක් කියලා මට හිතුණා. ඇත්තටම මෙච්චර කාලයක් මේක මගෙන් පැහැර හැරුණාදෝ කියලත් මට හිතුණු වෙලාවල් තිබුණා. කාලාන්තරයක් තිස්සේ මේක ඉෂ්ඨ සිද්ධ කරගන්න මම සිහින මවමින් හිටියේ. ඉතින් ඒ සිහිනය මල්පල ගැන්වුණු එක ගැන ලොකු සතුටක් තියෙනවා. මගේ හිතේ තිබුණු අදහස මම සමුද්‍ර මෙත්තසිංහට කිව්වා. සමුද්‍ර තමයි මේ ග්‍රන්ථය සංස්කරණය කරන්න බාරගත්තේ. මෙය මගේම ප්‍රකාශනයක්. 

Q එදින ඔබත් අබේවර්ධන බාලසූරියත් ගැයූ ගීත මේ රටේ ගායක ගායිකාවන් කිහිප දෙනෙක් විසින්ම ගායනා කළා නේද? 

ඔව්.. එදා මේ ප්‍රාසාංගික සැඳෑවේ ගීත ගයන්න ආව කිසිම කෙනෙක් සත පහක්වත් මගෙන් නොගෙන ඔවුන්ගේ හඬ පරිත්‍යාග කරලා ඒ සැඳෑව රසවත් කළා. ඒ හැමෝගෙම ශක්තිය සහ හඬත් සමඟ මට මේ සැඳෑව සාර්ථක කරගන්න  ලැබුණා. 

Q අබේවර්ධන බාලසූරිය මියගිය දිනය නිමිත්තෙන් හැම මාසයකම විසිහය වැනිදා ඔබ ඔහුව බලන්න ඒ සොහොනට යනවා නේද? 

ඔව්.. ඒක ඇත්ත. අබේ වෙනුවෙන් බොරුල්ල කනත්තේ ස්මාරකයක් ඉදිකරලා තියෙනවා. අබේ නැතිවුණදා සිට හැම මාසයකම 26 වැනිදාට මම කනත්තට යනවා. ඊට  අමතරව එයාගේ උපන්දිනවලට පවා මට පුළුවන් අන්දමේ පින්කම් කරලා අබේට ඒ පින අනුමෝදන් කරනවා. කෝට්ටේ වැඩිහිටි නිවාසයකට මම දාන දෙනවා. අබේ සතුන්ට හරි ආදරේ කරපු මනුස්සයෙක්. මාත් සතුන්ට හරි ආදරෙයි. දරුවන්ට වගේ අපි ඒ අයට සැලකුවේ. අදටත් සලකන්නේ. ඒ නිසා මට පුළුවන් විදියට සතුන්ව රැකබලා ගන්න, තැන් තුනක ඉන්න අහිංසක සතුන්ගේ  බඩගින්න නැති කරන්න අබේ වෙනුවෙන් උදව් කරනවා. ඒ හැම පින්කමම අබේට අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි ඒ හැම දෙයක්ම මම කරන්නේ. 

Q ඔහුගේ අසනීපයත් එක්ක නිරංජලා සරෝජනී නම් ගායිකාවගෙ කටහඬත් නැතිවුණා. ගෙවුණු අවුරුදු දාහතර පුරාවට සජීවීව ගීතයක් ගායනා කරන්න ඔය හිතට හිතුණෙවත් නැද්ද? 

නැහැ. ඒක මම මගේ කැමැත්තෙන් හිතට එකඟව ගත්ත තීරණයක්. ඒක අබේවත් දැනගෙන හිටියේ නැහැ. එයා අසනීප වෙලා ඉඳිද්දි එයාගේ හඬ නැතුව ගියා. අවුරුදු දෙකක් තිස්සේ අබේ ස්නායු ආබාධයකින් පීඩා වින්දා. ඒ මොහොතේදී තමයි අබේ නැතිවුණු දා සිට මමත් මගේ හඬ එයාට පරිත්‍යාග කරනවා කියලා තීරණය කළේ. ගායිකාවක් කවදාවත් එහෙම නොකරන්න ඇති. කවුරුවත් නොකරපු දෙයක් මට කරන්නට ඕනෑ වුණේ නැහැ. අබේ වෙනුවෙන් මගේ හඬ පරිත්‍යාග කරන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ගීත ගායනා කරන්න බැරි කාලයේ නැවැත්තුවා නම් ඒකෙ වටිනාකමක් නැහැ. මට ගායන හැකියාව තියෙද්දි මම එයා වෙනුවෙන් මගේ හඬ පරිත්‍යාග කළා. ඒක එක පැත්තකින් "ගී සති පූජාවක්" කිව්වොත් නිවැරදියි. එදා සිට අද වනතුරු සජීවීව එකම ගීතයක්වත් මම ගායනා කරලා නැහැ. නමුත් රසික රසිකාවියන් අතරේ තාමත් මම රුඳී ඉන්නවා කියලා මට හිතෙනවා. මම කවදාවත් ඒ අයගේ දේවල් පැහැර හැරියේ නැහැ. මට පුළුවන් විදියට මළ ගෙයක්, උත්සවයක් ආදී දේවල්වලට මම සහභාගි වුණා. 

Q අබේ - නිරංජලා ආදර කතාව පටන් ගත්තේ කොහොමද? 

70 දශකයේදී මම පාසල් ශිෂ්‍යාවක්. අබේගේ ගම හලාවත. ඒ ගමේ හිටපු එල්මෝ ප්‍රනාන්දු සහ අමරබන්දු රෑපසිංහ අබේගේ යාළුවෝ වුණා. ඒ අය අබේගේ හැකියාව ගැන  දැනගෙන ඉඳලා තියෙනවා. අබේගේ තාත්තා ගම්මුලාදෑනි කෙනෙක්. තාත්තා හරි කලාකාමී රසවතෙක්. ගම්මඩුවල තාත්තා සර්පිනා වාදනය කරලා තිබුණා. ඒ  ආභාෂය තමයි අබේටත් තිබුණේ. ඉතින් ඒ කාලේ එල්මො අයියා අබේව අපේ ගෙදරට සනත් අයියව මුණගස්වන්න එක්කගෙන ආවා. එහෙම තමයි හැත්තෑව දශකයේදී මුලින්ම අබේව මම දැක්කේ. 

Q ඒ කාලේ නිරංජලා ළමා පිටියේ හිටියා නේද? 

ඔව්... ඒ කාලේ මම ළමා පිටියේ හිටියා. අබේ කොළඹ ආවොත් අපේ ගෙදරත් ආවා. හැත්තෑ තුන වසරේදී අබේ "ඒ" ශ්‍රේණිය සමත්වෙලා ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට අවස්ථාවක් ලැබුණා. ඒ වෙද්දි මම "ඒ" ශ්‍රේණිය සමත්වෙලා තිබුණේ නැහැ. අබේ ගුවන්විදුලියේ විශේෂ අවසරයක් අරගෙන මාව එයාගේ පළවෙනි සරල ගී වැඩසටහනට සම්බන්ධ කර ගත්තා. එයා ඒ වෙද්දි මගේ හැකියාවන් දැනගෙන හිටියා. ඒ වෙද්දි මම වික්ටර් අයියාගේ (වික්ටර් රත්නායක) "ස" ප්‍රසංගයේ ගීත ගායනයට සම්බන්ධවෙලා ලංකාවේ වටේම ගියා. අබේ මගේ ඒ හැකියාව ගැන දැනගෙන හිටියා. ඒක නිසා එයා විශේෂ අවසරයක් අරගෙන ඒ පළමු සරල ගී වැඩසටහනේ "කවුද ආවේ... කවුද ආවේ... ඔබට හොරා..." යුග ගීතය ගායනා කරන්න මාව තෝරා ගත්තා. ඒක අපි දෙන්නා ගායනා කළ මුල්ම යුග ගීතයයි. ඒ වෙද්දි අපේ ආදරය ගොඩනැගෙමින් තිබූ කාලයයි. ඒ ආදර කතාව මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක දැනගෙන හිටියා. ඔවුන් දෙදෙනා මේ ගීතයට සම්මාදන් වෙලා අපට මේ ගීතය ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් අබේ මාව මුලින්ම ළමා ශිල්පිනියක් විදියටයි දැක්කේ. අපි 1981 අගෝස්තු 26 වැනිදා විවාහ වුණා. මම අවුරුදු විසි හයක් දෙමාපියන් සමඟත් අවුරුදු 29ක් අබේ එක්කත් එකට ජීවත් වුණා. එච්චර කාලයක් අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වුණා. 

Q අබේවර්ධන බාලසූරිය අපි දකින්නේ කලාකරුවෙක්  විදිහටයි. ඔහු සාමාන්‍යයෙන් මනුස්සයෙක් විදිහට මොන වගේ පුද්ගලයෙක්ද? 

ඔහු හරි අධිෂ්ඨානශීලී ඍජු ගති පැවතුම් ඇති කෙනෙක්. ඒ වගේම  සංවේදී හදවතක් තිබුණා. බොහෝ දෙනාට උදව් උපකාර කළා. කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ඔහු බොහෝ දෙනෙකුට උදව් කළා. රෑපවාහිනියේ "නන්දන වින්දන" වැඩසටහන කරද්දිත් අතේ හැන්ද තියාගෙන ඔහු බෙදා ගත්තේ නැහැ. ඔහු කවදාවත් රෑපවාහිනියේ "නන්දන වින්දන" වැඩසටහනකට ගීතයක් ගැයුවේ නැහැ. සභාපතිතුමන්ගේ බල කිරීම මත ඔහු සංවත්සර  වැඩසටහන්වල ගීත කිහිපයක් ගැයුවත් ඔහු වැඩසටහන්වල ගීත ගැයුවේ නැහැ. ඔහු ඕනෑම වැඩකදී පෙර සූදානමකින් වැඩ කරපු කෙනෙක්. මේ හැමදේම මගේ ජීවිතයට එකතු කර ගත්තේ ඔහුගෙන්. ඔහු හලාවත ශාන්ත මරියා විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. අබේගේ මුල්ම රුකියාව ලෙස ගුවන් හමුදාවේ කාර්මික නිලධාරියෙක් විදිහට සේවය කළා. ඊට පසුව ඔහු වී අලෙවි මණ්ඩලයේ පරිපාලන නිලධාරියෙක් හැටියට සේවය කළා. ඉන්පසුව තමයි ඔහු රෑපවාහිනී සේවයට එක්වුණේ. අපි දෙන්නම ගීත හාරසිය පනහක් පන්සීයක් අතරේ ගායනා කරලා තියෙනවා. අබේව මට හැම මොහොතකම මතක් වෙනවා. ඇත්තටම ඔහු ආදරණීය සැමියෙක් වගේම ආදරණීය මනුස්සයෙක්. 

I දිශානි ජයමාලි