2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අරාජිකාවී හුස්මක් ඉල්ලන ගැහැනියක් ගැන කතාවක්! - ප්‍රියංගා බණ්ඩාරනායක

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

දුරාතීතයේ එක දවසක කුවේණිය තමන් ආදරය කළ පිරිමියා විෂයෙහි අවසන ඇගේ හුස්මත් දන් දුන්නේය. සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද ආත්මීයව දැනුණු ප්‍රේමය නිසාවෙන් තමන් පෙම් බැඳි පිරිමියාට රජ කිරුළ හිමි කරන්නට සනුහුරම අත්හැරි කුවේණියට අවසානයේ ඇයට යැයි කියා හිමිවූ කිසිත් නැත. ජීවිතය සමඟ ස්නේහයෙන් හුස්මක් ගන්නට පෙම් නොබඳින ගැහැනුන් කවුරුන්ද? අවැසි ජීවිතය සොයා යනු වස් ඇය වරෙක සියල්ල දන් දෙන්නීය. අත් හරින්නීය. එසේම වැරෙන් අල්ලාගෙන පෙම් බඳින්නීය. අරාජිකව අරගලයෙහි යෙදෙන්නීය. ඉසියුම් නිය තුඩින් සේම දළ රළ වන් නිය තුඩින්ද ජීවිතය පහුරු ගාමින් ඇය සොයන්නේ ජීවිතය, ආදරය සහ ප්‍රේමයයි. ගෝත්‍රිකවාදී සමාජ චින්තනයෙන් එහා තමන්ට අවැසි නවාතැන්පොළයි. ඇය ලියුවේත් එවන් ගැහැනියක් ගැනය. ඇය එදා මෙදාතුර කතා කළේත් තම වගකීම ලෙස දෙවුර දැරුවේත් එවන් ගැහැනුන් වෙනුවෙන් මෙහෙයක් කිරීමේ පරමාර්ථයයි. අරාජිකාවී ඇය අතින් ලියැවෙන්නේද ඒ පරමාර්ථය පෙරදැරිව තවත් එක් නවමු ප්‍රවේශයක් ලෙසය. ඇය ප්‍රියංගා බණ්ඩාරනායකයි. 

 

Q අරාජිකාවී තව දවස් කිහිපයකින් ඔබේ ආදරණීය පාඨකයන්ගේ සුරතේ රැඳෙන තවත් එක් නවකතාවක්. පොත් සමඟ ප්‍රියංගාගේ ජීවිතයේ සැරිසැරීම ගැන කතා කරමු අපි?

අරාජිකාවී මගේ පස්වැනි පොත සහ දෙවැනි නවකතාවයි. මින් පෙර මම ලියූ නවකතාව මල් තුහින පාඨකයන් ඉතා ආදරයෙන් වැළඳගත් නවකතාවක් වුණා. අයි.ටී තාක්ෂණය සහ නර්තනය ගැන මම පොත් කිහිපයක් කරලා තියෙනවා. නමුත් විෂය දහරාවන්ට අනුව පොතක් ලියනවට වඩා නවකතාවක් ලියන එක හරිම වින්දනීය අත්දැකීමක්. 

Q ඒ වින්දනීය අත්දැකීම ඔබට දැනෙන්නෙ කොහොමද?

මේ ලෝකයෙන්ම හුදෙකලා වෙලා මම මා තුළම සැරිසැරීමක් ලෙසයි මට ඒ අත්දැකීම දැනෙන්නෙ. කියාගන්න බැරි සහ කියාගන්න ඕනෑ හුඟාක් දේවල් නවකතාවක චරිත ඔස්සේ අපිට කියාගන්න පුළුවන්. එක් පැත්තකින් තමන්ගෙ ආත්මයම ප්‍රකෘතිමත් ලෙස නිදහස් වීමක් විදිහට නවකතාවක් එක්ක සැරිසැරීම හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඒක වචනයෙන් කියන්න බැරි තරම් වින්දනීය අත්දැකීමක්. 

Q අරාජිකාවී තුළ සැරිසරන්නේ කොහොම යුවතියක්ද? කවර ගැහැනියක්ද?

සමාජය කියන්නෙ මහ මුහුදක් වගේ ගැඹුරු, අනන්‍ය, වෙනස් වන, වරෙක තේරුම් ගත හැකි සහ වරෙක තේරුම් ගත නොහැකි තැනක්. ඒ සමාජය තුළ දියණියක් එහි හැම අහුමුල්ලක්ම අවබෝධයෙන් ගැඹුරින් සහ සියුම්ව කියවීම හරිම වැදගත්. ඇය මනසින් සහ මසැසින් ලෝකය දැකිය යුතුයි. එහෙම නොවුණු තැන්වලදි ඇය ජීවිතයේ රැවටෙන තැන් සහ වරද්දා ගන්නා තැන් හුඟක් හමුවෙන්න පුළුවන්. ආදරය කියන්නෙ මේ විශ්වයේ ඇති සුන්දරම මනෝභාවයක්. හැබැයි එය සුන්දරම මනෝභාවයක් වෙන්නේ ආදරය ආදරය විදිහටම, ප්‍රේමය ප්‍රේමය විදිහටම හමුවෙන තැන්වලදි විතරයි. එසේ නොවන තැන්වලදි ආදරයත් එක්ක ජීවිතය ගැටගැහෙන තැන් නිමාවෙන්නෙ නොසිතෙන ඛේදවාචකවලින්. ඒ සියල්ල පිළිබඳව අරාජිකාවී තුළින් කතා කරනවා. 

Q ඇත්තටම ආදරය ගැන ඔබේ නිර්වචනය තවදුරටත් අහන්න මම කැමතියි?

ආදරය කියන්නෙ කොටු ගහලා, ඉරි ගහලා හිර කරන්න පුළුවන් දෙයක්වත්, නිර්වචනය කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ආදරය කියන්නෙ දැනෙන තැන නවතින එකට. ජීවිතය විඳින බව දැනෙන තැන, ජීවිතය අපට දැනෙන තැන ආදරයයි. ඒ ආදරය සම්මතද අසම්මතද කියන එක නෙවෙයි වැදගත් වෙන්නෙ. ඒ ආදරය කොයි තරම් ගැඹුරුද? ජීවිතය අපට දනවනවද කියන එකයි වැදගත්. 

Q සමරිසි ආදරය ගැනත් ඔබ අරාජිකාවී තුළ කතා කරනවා. ඒ වගේම ඔබ සමරිසි අයිතිවාසිකම් සහ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරපු සහ කතා කරන කෙනෙක්. සමාජයේ විකෘතියක් ලෙස ඇතැම් තැනකදී නිර්වචනය කළත් එය මනෝ විකෘතියක්වත් ගෝත්‍රික සංකල්පයක්වත් නෙවෙයි කියන තැන ඔබ ඉන්නවා?

ඔව්. මම කවදාවත් එවැනි ආදර කතා විහිළුවට, අපහාසයට හෝ විවේචනයට ලක් කරන්නෙ නැහැ. ගැහැනියක් ගැහැනියක් කෙරෙත්, පිරිමියෙක් පිරිමියෙක් කෙරෙත් ආදරයෙන් අනුරාගයෙන් බැඳෙන එක විකෘතියක් නෙවෙයි, එය එක්තරා ස්වභාවයක්. එය විකෘතියක් වෙන්නෙ ගෝත්‍රික සංකල්ප ඔස්සේ ඒ දේවල් නිර්වචනය කරන මිනිසුන්ට පමණයි. කවර හෝ ආදරයක් තුළ කෙනෙක් වින්දනයක් සැනසීමක් ලබනවා නම් ඒ ආදරය වැරදි නැහැ. එය සාපේක්ෂයි. කිසිම මිනිසෙකුගේ නිර්වචන හෝ සංකල්ප තුළ තව කෙනෙක් සිරකාරයෙක් විය යුතු නැහැ. ආදරය තරමටම මේ ලෝකෙට එන මිනිස්සු හොයන දෙයක් තියෙනවා නම් ඒ නිදහස. සමරිසි පුද්ගලයන් දෙස වගේම ලිංගික සංක්‍රාන්තිකයන් දිහාත් දූපත් මානසිකත්වයෙන් බලන්න එපා කියන ඉල්ලීම මම කරපු සහ කරන දෙයක්. 

Q අරාජිකාවී පිටු සැලසුම් සහ කවර නිර්මාණය කරන්නෙ සදාර්ත ජයසිංහ. කවුද මේ සදාර්ත?

සදාර්ත මගෙ පුතා. එයාට දැන් අවුරුදු දොළහයි. මගෙ පොතේ පිටකවරය නිර්මාණය සහ පිටු සැලසුම් කළේ එයා. මම හිතන දෙයක් තමයි දරුවන්ව අපි ළඟට ගෙන්වගන්නෙ, ඒගොල්ලන්ව උපද්දවන්නෙ අපේ වුවමනාවට. ඉතින් දරුවා කියන්නෙ අපේ හීන බලාපොරොත්තුවල හිරකාරයෙක් නෙවෙයි. එයා වෙනම ජීවියෙක්. ඒ නිසා ඒ දරුවන්ට ජීවිත නිදහසක් අපි දෙන්න ඕනෑ. මම මගේ පුතාට අවුරුදු පහේ ඉඳන් පරිගණකය පරිහරණය කරන්න දුන්නා. ඒ නිසා අද එයාට අයි.ටී තාක්ෂණය ඉතා හොඳින් පුළුවන්. එයා යන ගමන වගේම මම ලියපු පොතේ පිටකවරය සහ පිටු සැලසුම්කරණය එයා අතින් සිදු කිරීම ඇත්තටම මට හරි සතුටක්.  

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ