පහුගිය දවස්වල ලංකාවේ හිටපු අපේ මිත්‍ර හැරී, ඔන්න නැවත හැරී ඉන්දියාවට ගියා. ඒ වුණාට ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා පැයකට වඩා වැඩි දිග වීඩියෝ එකක් YouTube වලට දාන්න හැරී අමතක කළේ නැහැ.
ඔන්න හැරී ගියා මේ වීඩියෝ එකේ එක තැනකදී සර්පයෝ ඉන්න ගෙදරකට තවත් යාළුවො දෙන්නෙක් එක්ක. සර්ප ගෙදරදි හරි ජරමර සිද්ධ වුණා.
“මම නම් මේ වැඩේට එච්චරම කැමති නෑ."
සර්පයෝ දැකලා හැරී ටිකක් බය වෙලා එහෙම තමා කිව්වේ.
ඊටපස්සේ හැරීගේ වීල් එකෙන් ටවුමට ඇවිල්ලා ටවුමෙ ඉන්න කට්ටියට මෙයාලා කතා කළා හයර් යන්න. කතා කළේ විහිළුවට. හැරීගෙන් යාළුවන් ඇහුවා ලංකාව ගැන.
“ලංකාව හරි හොඳ රටක්. ආගන්තුක සත්කාරය බොහොම ඉහළයි."
එයාලා එහෙම කියනකොට හැරී කිව්වා ඔන්න දැක්කද මම යන්නෙ ලංකාවේ Tourist board එකට කියලා. එහෙම කිව්වේ විහිළුවට.
මෙයා එංගලන්ත ජාතිකයෙක්. කොහොම හරි ඒ රටේ සංචාරකයන්ට ලංකාව සම්බන්ධව කියලා තියෙන දේවල් බොරුයි කියලා වෙබ් අඩවිය පවා උපුටා දක්වමින් පැහැදිලි කරන්න හැරී කටයුතු කළා.
කොහොම හරි මේ වීඩියෝ එක ඇතුළෙ තවත් ගොඩක් දේවල් සිද්ධ වුණා. දවසක් කෝච්චියේදි කොල්ලො කට්ටියක් බුලත් කන්න දීපු නිසා, මඟදී විට කඩේකට ගිහිල්ලා බුලත් විටක් අරගෙන කෑවා අපි කිහිප දෙනෙකුගේ උදව්වෙන්. තව ලංකාවේ පුංචි කඩයක් කරපු කෙනෙක්ට සල්ලිවලින් උදව් කළා. හාමුදුරුවෝ කෙනෙක් හම්බවෙන්න ගිහිල්ලා භාවනා කරන්නත් ඉගෙන ගත්තා.
ඉතින් ඔහොම එකී මෙකී නොකී ගොඩක් දේවල් කරලා කියලා හැරී ලංකාව ගැන හොඳ පණිවිඩයක් ලෝකෙට දුන්නා. ඊටපස්සේ ඉන්දියාව පැත්තට ගියේ ආයෙත් එන බලාපොරොත්තු ඇතිව.
කටකාර චූටි පැංචිගේ ගැටේට අහුවුණු ඇමෙරිකන් කොණ්ඩකාරයා
ස්ටීව් කාලෙකට කලින් YouTube channel එකක් කරගෙන ගියපු කෙනෙක්. කොහොම හරි පහුගිය කාලේ වැඩේ අතහැරලා වගේ තිබුණේ. ඇමෙරිකාව පැත්තේ තමයි ජීවත් වෙන්නෙ. මෙන්න හිටිහැටියේම ලංකාවෙන් මතු වුණා. ස්ටීව් කොණ්ඩෙ එහෙම වවලා අමුතු විදිහට ඉන්න කෙනෙක්.
මුලින්ම ලංකාවේ පුංචි පැටියෙක්ට තමා යාළුවා වුණේ. අතහැරලා දාපු සෙල්ලම් පිට්ටනියක හිටපු පොඩි සෙට් එකක් මෙයාව එක්කරගෙන ගියා කඩේකට. ටිකක් කටකාර අවුරුදු පහක විතර චූටි ගෑනු ළමයෙක් මෙයාට දැම්ම දඩයක්.
සව්කොළ, නූල් බෝල, ටොෆි, චොකලට්, මුරුක්කු මෙයා ලවා අරගත්තා. මේ පොඩි කෙලි පොඩිත්තගෙ වැඩවලට අපේ මුදලාලි පවා පුදුම වුණා. කොහොම හරි ඇමෙරිකන් කොණ්ඩ අයියා නම් ආසාවෙන් මෙයාලට පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන දුන්නා.
ඊටපස්සේ අපේ යාළුවෝ ස්ටීව් පාරේ යනකොට ගෙදරකින් කතා කරලා තේ බොන්න දුන්නා. ඒ ගෙදර කට්ටිය එක්ක ස්ටීව් බොහොම හිතවත් වුණා.
“ඒක තමයි මම කියන්නේ ලංකාව තමයි මම ආසම රට. බලන්න මේ මිනිස්සු දිහා."
Electric ත්‍රීවිල් හාදයා ආයෙත් පොලීසියට කොටුවේ
පහුගිය දවස්වල මුහුණුපොතෙන් සෑහෙන්න ජනප්‍රිය වුණු පොලිසියේ රස්සාව වැරදියට තේරුම් ගත්ත මේ හාදයා ඔන්න ආයේ පොලිසියට හමුවෙලා.
මේ පාර පොලිසියේ කට්ටිය කිහිප දෙනෙක්ම මෙයා එක්ක ලොකු කතාවක් දැම්මා. තරහකට නෙවෙයි, යාළු ෆිට් එකට. පොලිස් අයියලා මෙයාගේ වීල් එක ඉල්ලගෙන වටයකුත් පැදලා බැලුවා.
“වාව් මේක නියමයිනෙ. කිසි සද්දයක් නෑ. ඉලෙක්ට්‍රික් කාර් එකක් වගේ."
පොලිසියෙන් කිව්වේ එහෙම.
කොහොම හරි මෙයා පොලිසියට සමුදීලා ගමන පටන් ගත්තා.
මේ පාර යාළුවා ගියේ අම්බුලුවාවේ. ඒත් ඒ ටුක් ටුක් එකට අම්බුලුවාව කන්ද නැඟගන්න බැරි වුණා. ඉතින් වීල් එක මඟ දාලා මෙයාට පයින් තමයි ඉතුරු කොටස යන්න වුණේ.
කොහොම හරි ටවර් එකේ උඩට නැඟලා කට්ටිය අතර තදබදයටත් අහුවෙලා මෙයා පට්ට කට්ටක් කෑවා.
I චමිඳු