2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

බුද්ධික ජයරත්න පළමු වරට ජාත්‍යන්තර සිනමාවට පා තබයි !

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:01 236

 ලංකාවේ ගමක නමින් චිත්‍රපටයක්! අරුගම්බේ 

 ඊශ්‍රායල සිනමාවෙන් විශ්ව සිනමාවට තෑග්ගක් 

ප්‍රශ්නය:- ඔයා කී වතාවක් අරුගම්බෙට ඇවිත් තියෙනවද?

උත්තරය:- 36 වතාවක්

(සිතුවිල්ල):- හෑ... මම ඇවිත් තියෙන්නේ කීවතාවක්ද එතකොට.

ප්‍රශ්නය ඇසුවේ රංගනයෙන් රටක් වශී කළ ඩන්කන්ය. ඔව්.. දරාගන්න බැරි ආදරයට ''මම තෝව මරනවා'' යැයි කියමින් ''මම තෝව මරනවා'' යනු ආදරයේ සොඳුරුම ප්‍රකාශනයක් බවට පත් කළ, ලෝකයේ ආදරණීයම ප්‍රේමවන්තයා යැයි හිතෙන ආදරයකින් ගෑනු හිත් වශී කළ ඩන්කන්ය. හ්ම්... ජයන්ත චන්ද්‍රසිරි යන ගවේෂණාත්මක විචිත්‍රවත් සිනමාවේදියාගේ මිදුණු විශ්වයේ ඩන්කන්ය. චන්දෝලි හි දොස්තර මහත්තයාය. තවත් හඳුන්වාදීම් කුමට.. මිදුණු විශ්වයේ ඩන්කන්ගේ සිට එහාට කියෙව්වත්, මෙහාට කියෙව්වත් බුද්ධික යනු බුද්ධිකමය. ප්‍රශ්නය ඇසුවේ බුද්ධික ජයරත්නය. උත්තරය දුන්නේ Marco Carmel ය.

ඊශ්‍රාලයේ සිට අරුගම්බේ සුන්දර මුහුදු තෙර තිස් හය වතාවක් නිස්කාංසු සුව විඳින්නට සපැමිණි මාකෝය. අරුගම්බේට බැඳි මා‍කෝගේ ප්‍රේමය කොතෙක් වීද යත් අරුගම්බේ බලන්නට, ලගින්නට, ඇලෙන්නට, විඳින්නට ආ ගමනේ සොඳුරුතම සම්ප්‍රාප්තිය මාකෝ සනිටුහන් කළේ ලංකාවේ ගමක නමින් විශ්ව සිනමාවට එක්වන පළමු සිනමා වියමන ගෙත්තම් කරමිනි. ලාංකික සිංහල සිනමා වංශ කතාවේ අපූරු චමත්කාර පරිච්ඡේදයක් මාකෝ ඊශ්‍රායලයේ සිට සපැමිණ එසේ ලියද්දී ඒ සිනමා ගෙත්තම හැඩවත් කරන්නට ලාංකික සිනමාවේ සුවිශේෂ රංගධරයන් තිදෙනෙක්ද එක්කර ගත්හ. 

ඔව්... යුග ගණනක් අනේක මාවත් තුළ නළු භූමිකාවේ සැරිසරන්නා සනත් ගුණතිලක

ඔව්... අසීමිත භාවයන් ඉසියුම්ම වෙසින් ඇසින් පෙරා වත් කරන ලාංකික සිනමාවේ ලස්සනම විසල් කතා කරන ඇස් දෙකේ අයිතිකාරයා අශාන් ඩයස් සහ බුද්ධික ජයරත්න අරුගම්බේ සිනමා වියමන සැරසූ ලාංකික රංගධරයන්ය.  බුද්ධික ජයරත්න තම පළමු ජාත්‍යන්තර සිනමා නිර්මාණය ඔස්සේම ප්‍රධාන චරිතයක රඟපාන්නට ලද වරම ලංකාවේ ගමක නමින් ජාත්‍යන්තර සිනමාවට එක්වන චිත්‍රපටය තරම්ම ශ්‍රී ලාංකික අපට සුවිශේෂී වන්නේ එවැනි රංගනවරම් ශ්‍රී ලාංකික රංගධරයන්ට ලැබීම සුළභ නොවන පසුබිමක් තුලය.

Qචිත්‍රපටයක තියෙන්නේ ලොකු චරිත, පොඩි චරිත, ලොකු රඟපෑම් සහ පොඩි රඟපෑම් කියන බුද්ධිකගෙන් උත්තරයක් නොදී ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා..... අරුගම්බෙ චිත්‍රපටයේ පොලිස් නිල ඇඳුමක් ඇන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ චරිතය ප්‍රධාන චරිතයක් නේද?

කවදාවත් පුරසාරම් නොකියන බුද්ධිකගේ හැටි එහෙමයි... හිනාවෙනවා යන්තමින් එච්චරයි....

Qනෑ බුද්ධික උත්තරයක් ඕනෑ...

ඔව් එහෙම තමයි....

Qකොහොමද බුද්ධික ඊශ්‍රායල චිත්‍රපටයක නළු භූමිකාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණේ?

එහි සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනෑ Frames TV and Film productions ආයතනයට. ඊශ්‍රායල් කතාවක් වුණත් ලංකාව හා බැඳුණු මුහුවක් නිසා එයාලට ඕනෑ වුණා ප්‍රධාන චරිත කිහිපයකට ඊශ්‍රායල් අය ගන්න අතරේ චරිත කිහිපයකට ලංකාවේ නළුවන් ගන්න. Frames ආයතනය ලංකාවේ නළුවන් කිහිප දෙනෙක්ගේ පින්තූර වීඩියෝ යවලා ඒ අය අතරින් සනත් ගුණතිලක යන ප්‍රවීණ නළුවත්, අශාන් ඩයස් සහ මම තෝරාගත් බව පැය 24ක් ඇතුළත දන්වා තිබුණා.

ජාත්‍යන්තර යේ දොරටු හැරී විශ්ව සිනමාව හා යා වීමට ලැබීම කොතෙක් අවස්ථාවක්ද? වාසනාවක්ද? එහි ප්‍රධාන චරිතයක් නිරෑපණය කරන්නට ලැබීම රංගවේදියෙකුට ඊටත් වඩා වාසනාවකි.

Qකොහොමද සම්මුඛ සාකච්ඡාවට මුහුණ දුන් දවස... අහපු ප්‍රශ්න... අවසානයේ දැනිච්ච හැඟීම්....?

එයාලා මාව තෝරාගෙන තිබුණත් මාත් එක්ක දීර්ඝ සාකච්ඡාවක් කළා. පළමුව මාව ඒ චිත්‍රපටයට තෝරාගත් තීරණය ගැන සතුටු වුණා. මාකො ඇහුවා ඔයාට මේ චරිතය ගොඩ නගාගන්න මොනවද ඕනෑ කියලා. පොලීසියේ ඇඳුමනෙ අඳින්නෙ. ඔයා කණ්ණාඩි දෙකක් දාන්න කැමතිද? සිගරුට් බොන්න කැමතිද? ඔයාට පහසු මොන විදිහෙ සපත්තුද? කන්න කැමති මොනවද? ඔයාට ඇලජික් කෑම මොනවද? මේ වගේ ප්‍රශ්න හුඟාක් ඇහුවා. ඒ ප්‍රශ්න දිගේ මාව එක්ක ගියේ පුදුමාකාර පහසු කලාපයකට. එයාලට අවශ්‍ය එයාලා ගරු කරන්නෙ නළුවෙක්ගේ දක්ෂතාවයට. එයාලට අවශ්‍ය අපි මානසිකව සුවපත් භාවයට පත්කරලා අපේ රංගනය උපරිමයෙන් පෙරා අරගන්න. ඒ ප්‍රශ්න ටිකෙන්ම මාකො මාව දිනාගෙන ඉවරයි.

Qකොහොමද වෙනස?

මම පදනම හදාගත්ත ලාංකික සිනමාවට මගේ පළමු ගෞරවය හිමිවිය යුතුමයි.... ඒත් මට ඒ අය එක්ක වැඩ කරද්දී ඉගෙන ගත්ත දේවල් අපේ සිනමාවේදීත් දකින්න තියෙනවා නම් ආසයි. නළුවෙක් නිළියක් මානසිකව යම් ගැටලුවක පීඩනයක ඉන්නවා නම් එදාට රඟපාන්න එන්න කියන තැන ඔවුන් නෑ. ඔවුන්ට ඕනෑ තලා පෙලා සාරය උරාගන්න නෙවෙයි නිදහසේ තියලා අපේ උපරිමය උපරිමයෙන් අරගන්න. ඔවුන් නළු නිළියන් එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ නෑ. ඒ ඔවුන් නළු නිළියන්ට දක්වන ගෞරවය... පෞද්ගලිකව මම කවදාවත් ආධුනික අධ්‍යක්ෂවරයෙක්ගේ වුණත් පුටුවෙ වාඩි වෙන්නෙ නෑ..... ඒක මගේ ප්‍රතිපත්තියක්... ඒ අන්‍යොන්‍ය ගෞරවය පැවතිය යුතුයි. Frames Tv and Flim Productions, Shyaman Premasundara (Sri Lankan Production Company) අධ්‍යක්ෂ - Marco carmel, Script - Mor Polanuer, කැමරා අධ්‍යක්ෂ Saar Eliezer Mizrahi නිෂ්පාදන කළමණාකරු නිශාන්ත ප්‍රියදර්ශන, ශ්‍යාමන් ෙප්‍ර්මසුන්දර - ෙර්ඛීය නිෂ්පාදක අැතුළු හැම ෙකනෙක්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

Q අරුගම්බේ නිසැකවම ලංකාවේ නම ලෝකයට ගෙනයන චිත්‍රපටයක් අපි එහෙම කියනවා. ඔබ?

යුරෝපීය රටවල් 50ක සැප්තැම්බරයේ ඉදන් ප්‍රදර්ශනය කරන්නත් ජාත්‍යන්තර සිනමා උළෙලවල්වලට ඉදිරිපත්කරන්නත් ඔවුන් සූදානම් වෙනවා. ඇත්තටම අරුගම්බේ මුහුදු වෙරළ කියන්නේ ලෝකයේ සර්ෆින් ක්‍රීඩාවට හොඳම මුහුදු වෙරළක්. මෙම සිනමා කෘතිය හරහා ජාත්‍යන්තරයේ අවධානය විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය අලලාත් යොමුවෙනවානම් එය ආර්ථිකමය පැත්තෙනුත් අපවැනි රටකට වටිනා දෙයක්. තව එක දෙයක් කියන්නම් මට මගේ දෙවැනි ජාත්‍යන්තර චිත්‍රපටයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. නව පරපුරේ ඕන තරම් දක්ෂයෝ ඉන්නවා. ඒ අයටත් ජාත්‍යන්තර දිනන්න පාලමක්, සිනමාව ඔස්සේ නිසි ක්‍රමවේදයක් තුළින් හදාදෙන්න කියන ඉල්ලීම මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනවා.
 
I සංජීවිකා