2023 මැයි 28 වන ඉරිදා

ඒ් යකා මට හරිම සුවිශේෂීයි...

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 113

ශ්‍රියන්තගේ නව අධ්‍යක්ෂණයක් වන ''රාස්ස සහ පරාස්ස'' නැවතත් වේදිකා ගත වෙනවා. මුලින්ම ඒ සම්බන්ධව කතා කළොත්?

ඔව්. රාස්ස සහ පරාස්ස මීට වසර කිහිපයකට උඩදී නිෂ්පාදනය වුණ නිර්මාණයක්. ඒ නිර්මාණය නැවතත් ජන සමාජගත කරන්න ඕනේ කියලා අපිට හිතුණා. මෙම නිර්මාණය තුළ දේශීය ජන නාට්‍ය, ජන නැටුම්, ජන ගීත සහ මේ සියලු කාරණා එකතුවුණ පුංචි කවියක් වගේ නාට්‍යයක්. එය මේ නාට්‍යයේ විශේෂ ගුණයක් වෙනවා. ඒ නිසා නැවත නිෂ්පාදනය කිරීමේ අදහසක් ඇති වුණා. ඒ නැවත නිෂ්පාදනයත් ඉතාමත් සාර්ථක ලෙස ජනතාව අතරට ගියා. ඒ නිසා තමයි ජනතාවට මේ නාට්‍යය හුරුපුරුදු නාට්‍යයක් බවට පත්වුණේ.

රාස්ස සහ පරාස්ස වේදිකා නාට්‍යය 8 ශ්‍රේණිය සිංහල පෙළ පොතෙහි නිර්දේශ වුණ වේදිකා නාට්‍යයක්. එහෙම නේද...?

ඔව්... මේ නාට්‍ය නිර්මාණ කලාව පසුව මෙහි ජන නාට්‍යවල තිබුණ ගුණය නිසාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙය 8 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කළා. ඒ නිසාම කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි මහලු ඕනෑම කෙනෙකුට මේ නිර්මාණය රසවිඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම ''රාස්ස සහ පරාස්ස'' සුවිශේෂී නාට්‍යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. වසර ගණනාවක් පුරාවට මේ නාට්‍යය වේදිකාගත වෙනවා. විෂය නිර්දේශිත වේදිකා නාට්‍යයක් නිසා දරුවන්ට නැරඹීමට අවස්ථාව ලබාදීම නිසා මේ දිනවල වේගයෙන් ''රාස්ස හා පරාස්ස'' වේදිකා ගතවෙනවා.

මුලින්ම රාස්ස හා පරාස්ස වේදිකා නාට්‍යය වේදිකා ගත වුණේ කොයි කාලේදීද?

මේක මට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මේක මුලින්ම නිෂ්පාදනය වන්නේ 1980 අවුරුද්දෙයි. ඒ විමලරත්න අධිකාරි නම් නාට්‍යෙව්දියාණන් යටතේයි. 1980 අවුරුද්දේ තමයි මම මුලින්ම මේ වේදිකා නාට්‍යයේ මුලින්ම රඟපෑවේ. 1980 අවුරුද්දේ සිට අද වනතුරු වසර හතළිහකට වැඩි කාලයක් තුළදී එදා මම රඟපෑ ඒ චරිතය මමම විතරමයි රඟපෑවේ. මම රඟපෑවේ පූර්ණක නැමැති යක්ෂයාගේ චරිතයයි. ඒ යක්ෂයාගේ චරිතය රඟපාලා තමයි වේදිකාවෙන් ටෙලිනාට්‍යට මම සම්බන්ධ වුණේ. මේ වේදිකා නාට්‍යය ධම්ම ජාගොඩ මහතා ඒ කාලේ රූපවාහිනියට එළිමහන් මැදිරි නිෂ්පාදනයක් ලෙස පැවැත්වූවා. ඒ යකාගේ චරිතය දැකලා තමයි ඔහු මාව ඔහුගේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය සූරසේනගේ චරිතයට තෝරාගත්තේ. ඒ නිසා මේ යකා මට හරි සුවිශේෂියි. ඒ චරිතයට කරන ගෞරවයක් වශයෙන් අදටත් මම මේ නිර්මාණයේ යෙදිලා ඉන්නවා. එතෙක්, මෙතෙක් කිසි කෙනෙක් ඒ චරිතය මම හැර රඟපාලා නැහැ. දැන් නව නිෂ්පාදනයෙත් මම විතරයි පරණ චරිතවලින් රඟපාන්නේ.

මේ වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්න මහතා කලක් රඟපෑවා නේද?

ඔව්... එක්තරා යුගයක මේ වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්නයන් රඟපෑවා. ඒ වගේම නිශ්ශංක දිද්දෙණිය, සේනක පෙරේරා ඇතුළු මහ විශාල සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වුණා. වර්තමානය වනවිට මෙම වේදිකා නාට්‍යයට මා ඇතුළුව කුසුම් රේණු, ජයනාත් බණ්ඩාර, ප්‍රදීප්, මහේන්ද්‍ර වීරරත්න, තාරක ඇතුළු නව පරම්පරාවේ නිර්මාණකරුවන් රැසකුත්, ප්‍රවීණයන් රැසකුත් දායක වෙනවා. වේදිකා නාට්‍යයේ සංගීතය සහ නර්තනය රෝහණ බැද්දගේ මහතායි. එතුමාගේ සුවිශේෂී ගෝලයා වන පුබුදු වල්පිට මහතා සංගීතය මෙහෙයවනවා. ඒ නිසා මේ වේදිකා නාට්‍යය අපිට සුවිශේෂියි. ඉතිහාසය පුරාම ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට මේ නාට්‍යයට ශක්තියක් ධෛර්යයක් ලැබුණා.

වේදිකා නාට්‍යය නිර්මාණය කළ වසරේදීම යෞවන නාට්‍ය උළේලේදී රණමයුර සම්මානය දිනාගත්තා නේද?

ඔව්. ඒකත් හරිම සුවිශේෂියි. 1980දී තරුණ සේවා නාට්‍ය උළෙලේදී හොඳම නිෂ්පාදනය ලෙසින් විමලරත්න අදිකාරි මහතා සම්මානයට පාත්‍ර වුණා. මගේ මතකය නිවැරදි නම් ඒ සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් සේනක පෙරේරා සම්මානයට පාත්‍ර වුණා.  ඒ සම්මාන උළෙලේදී විශිෂ්ඨ රංග ප්‍රතිභාව යනුවෙන් මටත් සම්මානයක් හිමිවුණා. ඒ නිසා මේ ඉතිහාසය අමතක කරන්න බැහැ. මේ ඉතිහාසය වර්තමානයට, අනාගතයට අපිට හයියක් ලබලා දෙනවා.

ඉදිරියේදී කොයි ප්‍රදේශවලදී මේ වේදිකා නාට්‍යය රසවිඳින්න පුළුවන් වෙයිද?

පසුගිය දිනෙක ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී මෙය නැවතත් වේදිකා ගත වුණා. ඒ එක දවසේ අපි දර්ශන වාර හතරක් පැවැත්වූවා. නැවතත් මෙය ඉදිරියේදී ආඬිගම, මහනුවර, රත්නපුර ආදී ප්‍රදේශ කිහිපයකම අපේ රසවතුන් මෙම වේදිකා නාට්‍යය සංවිධානය කරනවා. ඉතින් හැකියාවක් ඇත්නම් ඉදිරියේදී ''රාස්ස සහ පරාස්ස'' දකින්නට එන්න.

I දිශානි ජයමාලි