හින්දී සිනමාවෙහි අම්මා ලෙසින් විරුදාවලිය ලත් 1958 ජුනි 21 වැනි දින උපත ලද රීමා ලැගූන් 2017 මැයි 18 වැනිදා තම ජීවිත රංගනයෙන් සදහටම සමුගත්තාය. හින්දි සහ මරාති සිනමාවෙහි ජනප්‍රිය නිළියක් වූ ඇය ටෙලිනාට්‍ය නිළියක් ලෙසින්ද තම රංගන ප්‍රතිභාව ලොවට පෙන්වූ නිළියකි. සිංහාසන් නැමති මරාති චිත්‍රපටයෙන් 1979 දී ඇය රංගන ශිල්පිනියක් ලෙසින් තම ජීවන වෘත්තිය ඇරඹීය.
බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් සහ තාරකාවක් වන අම්මා විරුදාවලියෙන් පිදුම් ලද රීමා ලැගූන් 2017 මැයි 18 වැනි දින හෘදය වස්තුවෙහි ඇතිව තිබූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගතව සිටියදී අභාවප්‍රාප්ත වූවාය. හෘද රෝගයකට ප්‍රතිකාර ගැනීමට ඇය මුම්බායිහි කෝකිලාබේන් ධිරුභායි අම්බානි රෝහලේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටි අතර 2017 මැයි 18 වැනිදා උදෑසන 3.15ට සදහටම මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහයේ අවසන් කටයුතු එදිනම සවස 2.45ට දුවගේ ප්‍රධානත්වයෙන් ජොගේෂ්වරී නගරයෙහි ඔෂිවාරේ ආදාහනාගාරයෙහිදී සිදුකරන ලදී.
ලේකුරේ උඩාන් ජාහලේ නැමති මරාති වේදිකා නාට්‍යයෙහි ජනප්‍රිය නිළිය මංදාකිනි භද්භදේ රීමා ගේ මව වූ අතර විවාහයට ප්‍රථමයෙන් රීමා ලැගූන් ගේ නාමය නයන් භද්භදේ විය. මරාති නළුවෙක් වූ විවේක් ලැගූන් සමඟින් විවාහවීමෙන් අනතුරුව රීමා ලැගූන් ලෙස තම නම භාවිත කරන්නට ඇය පටන් ගත්තාය. වසර කිහිපයකට පසු ඔවුන් වෙන්වී ජීවත් වුවද ඔවුන්ට මෘන්මයී නමින් එක දුවක් සිටින්නීය.
පූනේවල හුසුර්පාගේ එච්.එච්.සී.පී. ද්වීතීයික පාසලෙන් ද්වීතීයික අධ්‍යාපනය නිමාකළ රීමා 1979 දී මුම්බායිහි පිහිටි යූනියන් බෑන්ක් ඔෆ් ඉන්ඩියාහි සේවය කරන අතරතුර රංගන ශිල්පිනියක් ලෙසින් හින්දී සිනමාව සමඟින් එක් වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නිවැසියන්ගෙන් වූ බලපෑමට කිසිදු යටත් බවක් නොදක්වමිනි. රීමාද වේදිකා නිළියක් ලෙසින් රංගනයට පිවිස ඇති අතර 1970-1980 කාලවකවානුවේදී හින්දි සහ මරාති සිනමාව සඳහා එක් වී ඇත. වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙසින් සිටියදී ඇයට තම ස්වාමියා මුණගැසී ඇත.
රීමා ලැගූන්ගේ වියෝව පිළිබඳව ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා තමන්ගේ ට්විටර් ගිණුමෙහි රීමා ලැගූන් සිනමාවෙහි වගේම පුංචි තිරයෙත් ඉතා අනර්ඝ රංගනයක් ඉදිරිපත් කළ දක්ෂ ප්‍රතිභා සම්පන්න නිළියක්. ඇයගේ වියෝව සිනමාවට සහ රටට ඉමහත් පාඩුවක් වගේම අපි හැමෝගෙම සිත් සංවේගයට පත්කරන්නක් ලෙසින් දක්වා තිබුණි.
හොඳ යෙහෙළියක්. හදවතින්ම ශෝකය ප්‍රකාශ කරනවා.... ලෙසින් තමන්ගේ ට්විටර් ගිණුමෙන් ජනප්‍රිය සම්මානනීය නළු
රිෂී කපූර් තම සංවේගය ප්‍රකාශ කොට තිබුණි.
අපි හැමෝගෙම අම්මා යන්න ගිහින්....* රීමාගේ අභාවය දැන්ගත්විට සල්මාන් තමන්ගේ සංවේගය පළකොට ඇත්තේ එලෙසිනි.
මේ සංවේග ජනක ආරංචිය දැනගත් බොහෝ දෙනෙක් සල්මාන් ඛාන්ගේ මව නැති වෙලා යනුවෙන් කියන්නට පටන් ගත්තේය. රීමා සහ සල්මාන් අතර වැඩි වයස් පරතරයක් නොතිබුණද, ඇයගේ මුහුණෙන් විදහා දැක්වුණු මවු සෙනෙහස නිසා ඇත්ත ජීවිතයේදීද ඇය සල්මාන්ගේ මව ලෙසින් මිනිසුන්ට දැනෙන්නට ඇති බව ඉන්දියාවේ බොහෝ මාධ්‍යවල වාර්තා කොට තිබුණි. සල්මාන් ඛාන්ගේ මව ලෙසින් රීමා ලැගූන් මෑනේ ප්යාර් කියා හම් ආප්කේ හෑ කෞන්, හම් සාථි සාථි තමන්ගේ මව් සෙනෙහස උපරිමයෙන් දක්වමින් රංගනයෙන් දායකත්වය ලබා දුන් සුපර් හිට් ෆිල්ම් වලින් කිහිපයක් පමණි. ඊට අමතරව ආශිකී, සාජන්, වාස්තව්, කුච් කුච් හෝතා හෑ, ආදී දැවැන්ත සිනමාපට සඳහාද රීමා ලැගූන් තම රංගන ප්රතිභාවය මැනවින් දැක්වූ සිනමාපට කිහිපයකි.
රීමා 1988 දී තිරගතවුණු ක්යාමත් සේ ක්යාමත් තක් හින්දි චිත්‍රපටයේ ජුහී චාව්ලාගේ මව ලෙසින් රඟපාමින් හින්දි සිනමාවට එකතු වුණි. ඉන් අනතුරුව 1989 දී සල්මාන් ඛාන්ගේ මව ලෙසින් මෑනේ ප්යාර් කියා, 1991දී සාජන් චිත්‍රපටයෙහිදී රංගනයෙහි යෙදුණි. 1993දී ශ්‍රී දේවි ගේ මව ලෙසින් ගුම්රාහ් සිනමාපටයද, 1994 දී තිරගත වුණු ජායි කිශන් චිත්‍රපටයේ ආක්ෂය කුමාර්ගේ මව ලෙසින්ද, 1995 දී තිරගත් වුණු රංගීලා සිනමා පටයේ උර්මිලා මතොන්ද්කාර්ගේ මව ලෙසින්ද රංගනයේ යෙදී සාර්ථකත්වයට පත්වුණි.
මීට අමතරව 1994 දී හම් ආප්කේ හෑ කෞන්, යේහ් දිල්ලගී, දිල්වාලේ, සිනමාපටවලද 1998 හිදී කුච් කුච් හෝතා හෑ, 2003 දී කල් හෝ න හෝ, සිනමා පටයන් සඳහාද මවගේ චරිතවලින් තම රංග ප්‍රතිභාව ලෝකයාට දැක් බලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුණි. 1980දී තිරගතවුණු ආක්රෝෂ් සිනමාපටයෙන් ඩාන්සර් (නර්තන ශිල්පිනියකගේ) කෙනෙක්ගේ චරිතයක්ද, 1994 දී තිරගත වුණු යේහ් දිල්ලගී සිනමාපටයෙහි හොඳ හදවතක් ඇති ව්‍යාපාරික කාන්තාවකගේ චරිතයකින්ද හින්දී සිනමාලෝලීන්ව අමන්දානන්දයට පත් කරමින් සිදු කළ චරිත නිරෑපනයන් වේ.
මරාති සිනමාපට රාශියකද විවිධ චරිත නිරූපණය කොට ඇති රීමා ලැගූන් පුංචි තිරයෙන් හින්දි සහ මරාති භාෂාවන්ගෙන් කරන ලද ටෙලිනාට්‍ය වන ලැගූ 1985 දී හින්දි මාලා නාටකයක් වූ ඛාන්දාන් ආදී ටෙලිනාට්‍යවල ඉතාමත් ජනප්‍රියට පත්වූ චරිත නිරූපනය කොට ඇත. ඇය දක්ෂම කොමඩි චරිත නිරූපණය කිරීම වෙනුවෙන් තූ තූ මෑන් මෑන් කියන ටෙලිනාට්‍ය උදෙසා ටෙලි සම්මානයන්ද දිනාගෙන ඇත. මීට අමතරව ඇය හින්දී සිනමාපට සඳහා කරන ලද රංගනයන් සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් වී ඇත.
රීමා ලැගූන් හින්දී සහ මරාති චිත්‍රපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබාදී ඇති අතර ඒවා එකින් එක මෙහි ගොනු කිරීම අනවශ්‍ය කාරණයක් වනුයේ ඇයව දුටු සැනින් රීමා ලැගූන් සිටි චිත්‍රපට ඔබට මතක් වෙන තරමේ ප්‍රබල රංගනයක් ඇය තමන්ගේ චරිත තුළින් සිදු කළ නිසාවෙනි. රීමා ලැගූන් අවුරුදු 59ක් ආයු වළඳා තමන්ගේ නාමය ඉතුරුකොට තම ජීවිත රංගනයෙන් සදහටම සමුගත්තාය.
NDTV, හින්දුස්ථානි ටයිම්ස්, ආජ් තක් ඇසුරෙන්
Text — Chandana Waravitage