2017 මැයි 27 වන සෙනසුරාදා

මගෙ අතීතය මට අයිති නැද්ද සිස්ටර්...

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

ඇය මොහොතක් මගේ දිහා බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්. මම තැතිගත් හදවතකින් ඈ දිහා මොහොතක් බලාගෙන හිටියා.

කියන්න කවුද මැරුණේ ?
ඒක ඔයා සිස්ටර් සේරාගෙන්ම අහගන්න.
නෑ ඔයා මට කියන්න.

ඔයාලගේ ජීවිතවලට අයිති දේවල් ගැන කතා කරන්න මට අයිතියක් නෑ... ඔයා ඒක සිස්ටර් සේරාගෙන්ම අහගන්න.
ඇය අහක බලාගත්තේ තවදුරටත් කතාබහක් අනවශ්‍යයි කියන හැඟීමෙන්. මගේ හිතට පිවිසුණේ තනිවෙච්ච හැඟීමක්. මගේ ළමාවියේ සිටම දිගු කාලයක් ගෙවී ගියේ මේ පල්ලියේ. පල්ලියේ උද්‍යානය මගේ ජීවිතයේ මට සුවිශේෂී තැනක් වුණා. එහෙත් ඒ පරිසරය දැන් මා පිළිගන්නේ බොහෝම ආගන්තුක හැඟීමකින්. ඒ වෙනස්වීම දරාගත නොහැකි පීඩනයක් වෙසින් මා දවමින් සිටියා. මගේ අතීතය සහ මගේ ජීවිතයේ මතක සමුදාය සින්නක්කර අයිතියට ලියාගත් මේ පල්ලිය අද මා දෙස බලා සිටින්නෙ අනුකම්පා විරහිත හැඟීමකින්... මම පල්ලියේ සොහොන් බිම දෙසට ඇවිද ගියේ මහ හුදෙකලා හැඟීමකින්.
සිස්ටර් සේරා රෝස පැහැ පීත්ත පටියකින් බඳින ලද මල් කළඹක් සොහොනක් මත තබා නිසල බැල්මකින් බලාගෙන සිටියා.

සිස්ටර්....
ඇය හිස ඔසවා බැලුවේ තවත් මිනිත්තුවක් ගතවූ පසුවයි... මොහොතකින් ඇගේ දෙනෙත් මත ඇදී ගියේ මහා විස්මයක්.
ඔයා?
ඔව් සිස්ටර් මම දුල්යානා....
ඇය තවත් මොහොතක් මා දෙස නිහඬවම බලාගෙන හිටියා.
ඇයි ඔයා ආයෙත් පල්ලියට ආවේ.... මම ඔයාට කීවා ආයෙමත් ඔයා මේ පල්ලියට අවශ්‍ය නෑ කියලා.
නමුත් සිස්ටර්.....
නෑ දුල්යානා මට ඔයාගෙන් කිසිම දේකට නිදහසට කරුණු අවශ්‍ය නෑ....
මට සමාවෙන්න සිස්ටර්.... ඒත් මට මේ පල්ලියෙන් ඈත්වෙලා ජීවත් වෙන්න බෑ... මගේ මුළු ජීවිතයම බැඳිලා තියෙන්නෙ මේ පල්ලියත් එක්ක.
දැන් ඔයාට අයිති කිසිම දෙයක් මේ පල්ලියේ නෑ දුල්යානා.

ඇයි මගෙ අතීතය... මගෙ අතීතය මට අයිති නැද්ද සිස්ටර්... මම ආදරේ කරපු පුංචි කෙල්ල අංජලී මට අයිති නැද්ද සිස්ටර්.
ඔයාගේ අතීතය ඔයා යන තැනකට අරගෙන යන්න... ඔයාගේ අංජලී දැන් මෙහෙ නෑ.
ඇයි සිස්ටර් අංජලීගේ අම්මා ආයෙත් එයාව අරගෙන ගියාද?
අංජලීගේ අම්මා නෙවෙයි දෙවියන්වහන්සේ අංජලී එයා ළඟට අඬගහගත්තා...
මොකක්?
ඔව් මම මේ මල් තිබ්බෙ අංජලී වෙනුවෙන්.
සිස්ටර් නෑ සිස්ටර් ඒක එහෙම වෙන්න බෑ.
මොකක්ද වෙන්න බැරි?

මට අර ගෑනු ළමයා කීවා පල්ලියේ හිටපු කෙනෙක් නැතිවුණා කියලා... මම හිතුවේ ඒ මම දන්න සිස්ටර් කෙනෙක් කියලා... මට බොරු කියන්න එපා සිස්ටර් ඒ පුංචි කෙල්ල මැරෙන්න විදිහක් නෑ.
දැන් කවුද දුල්යානා මරණයක් ගැන කීවේ. මම කීවේ ඒ කෙල්ල දෙවියන් වහන්සේ ළඟට ගියා කියලා.... උන්වහන්සේගේ කැමැත්තට පිටුපාන්න අපි කාටවත්ම බෑ... උන්වහන්සේ කියන වෙලාවට අපි එනවා යන්න කියන වෙලාවට අපි යනවා... ඉතින් අඬන්න දුක්වෙන්න අපිට කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ.
සිස්ටර්... මොනවද සිස්ටර් මේ කියන්නෙ... මට ඇත්තටම කියන්න කෝ මගේ අංජලී දැන් කෝ කියලා?
දුල්යානා දැන් අංජලී කෙනෙක් මේ ලෝකෙ නෑ. කරුණාකරලා ඔයා දැන් මෙහෙන් යන්න ඔයාට ඔයාගෙ අතීතය මිසක් දැන් මේ පල්ලියේ කිසිදෙයක් ඔයාට අයිති නෑ.
මට එක්වරම ඉකිගැසුනා. සියලු වේදනාවන් හමාර වෙනතුරු කල්පාන්තයක් වුව හඬා වැටීමේ වුවමනාවක් මගේ ඇතුළු හදවතට දැනෙමින් තිබුණා.
සිස්ටර් මම යන්නම්. ඒත් මට අංජලීට වෙච්ච දේ විතරක් කියන්න. මට ඕනැ අංජලී ජීවත්වෙන බව දැනගන්න විතරයි.
අංජලී දැන් ජීවත්වෙන්නෙ දෙවියන් වහන්සේ එක්ක... 
ඒක එහෙම වෙන්න බෑ සිස්ටර්.

ඒ පුංචි කෙල්ල එයාගෙ මුළු ජීවිත කාලයම ගත කළේ දුකින් සහ පාළුවෙන්... ඒක නිසා එයාට වඩා ප්‍රීතිමත් ජීවිතයක් ලබාදීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එච්චරයි. මීට වඩා කිසිම කිසිදෙයක් ඔයා මගෙන් අහන්න එපා දුල්යානා... දැන් ඔයා යන්න... ආයෙ කවමදාකවත් ඔයා මේ පල්ලියට එන්නත් එපා.
නෑ සිස්ටර් අංජලීට වෙච්ච දේ කියනකම් මම මේ පල්ලියෙන් යන්නෙ නෑ.