2022 නොවැම්බර් 20 වන ඉරිදා

අඳුරු ඇසින් අකුරු දකින පොතුත් ලියන සත්‍යා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 39

ජීවිතය විනිවිද යා හැකි එකම කලාව, මාධ්‍ය කලාව විශ්මිතයි. අසීමාන්තිකයි. කලාවේ ඒ විශ්මයට අසීමාන්තික බවට (ඇය) අපූරු උදාහරණක්. අද කතාව ඇය පිළිබඳව. සත්‍යා නිර්මාණි. සත්‍යා තරුණ ලේඛිකාවක්. විශ්මය තමා ඇය දෘශ්‍යාබාධිත තරුණියක් වීම.

පහුගිය දවසක ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සුමංගල සභා සාදයේදී ඇය එළිදැක්වූවා ඇගේ පළවෙනි කෙටිකතා සංග්‍රහය. එතැනදීත් සත්‍යා හරි අපූරු දෙයක් කරලා තිබුණා. ඇය තමන්ගේ කෙටිකතා සංග්‍රහය මුද්‍රිත, ශ්‍රව්‍ය, බේල් කියන මාධ්‍ය තුනෙන්ම ජනගත කළා. ඇත්තට ඒක අපේ වගේ රටක තරමක් සුවිශේෂී කටයුත්තක්.

ඒ ගැන වැඩි විස්තර කතා කරන්න ඉස්සෙල්ලා, අපි පොඩ්ඩක් සත්‍යගේ ජීවිත කතාව කෙටියෙන් කියවා ගන්න ඕනෑ. ඇයි සත්‍යා නිර්මාණි විශේෂ චරිතයක් වෙන්නේ. මෙන්න ඒ ප්‍රශ්නයට උත්තරය.

සත්‍යා උපතින් දෘශ්‍ය ආබාධිත දරුවෙක් නෙවෙයි. පාසලේ දෙකේ පන්තියේදී, වයස අවුරුදු හතේදී කරපු සැත්කමකට පස්සේ තමයි ඇය දෘශ්‍යාබාධිත වෙලා තියෙන්නෙ. එතකොටත් ඇය ගම්පොල දොළුව මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටියේ. දෘශ්‍යාබාධිත වීමෙන් අනතුරුවත් බේල් ක්‍රමය භාවිතයෙන් අටේ පංතිය වෙනකන්ම සත්‍යා පන්තියේ අනිත් දරුවො එක්කම අධ්‍යාපනය ලබනවා.

මේ අතර කාලේ දවසක් තවත් හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා. එතකොට සත්‍යා යන්තම් හයේ පංතියේ විතර ඇති. සංගීත විෂය වෙලාවේදී පන්තිය හැම දරුවෙකුටම කවියක් ලියන්න කියලා ගුරුතුමිය කියනවා. ඉතින් හැමෝම කවි ලියනවා. ඒ කවි ඔක්කොම කියවලා ගුරුතුමිය මෙහෙම කියනවා. ''සත්‍යාගෙ කවිය තමා ලස්සනම කවිය'' ඉතින් සත්‍යාගේ නිර්මාණ ජීවිතය ආරම්භ වෙන්නෙ මේ ඇගයුමත් එක්ක.

දොළුව මහා විද්‍යාලයෙන් පස්සේ සත්‍යා නිර්මාණි ඇතුළුවෙනවා රත්මලාන අන්ධ විද්‍යාලයට. මේ ගමනට ඇයට උදව් කරපු සුවිශේෂී චරිතයක් හිටියා. ඒ දෘශ්‍යාබාධිත ගුවන්විදුලි ශිල්පිනියක් වුණු බිසෝ මැණිකේ ග්‍රේරෝ මහත්මිය.

ඇත්තටම සත්‍යා ඒ කාලේ පාසලේ කලා කටයුතු, ක්‍රීඩා කටයුතු  ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රුසකට සම්බන්ධ වෙච්ච දරුවෙක්. ඇය හැමදාමත් සාමාන්‍ය සුවපහසු ජීවිතයක් තමා හීන මැව්වේ. ඉතින් ඒ වෙනුවෙන් සත්‍යා මහන්සි වෙලා වැඩකළා. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ, සත්‍යා උසස් පෙළ කරන්න යන්නෙ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. උසස් පෙළට ඒ සාමාර්ථම තුනක්. සත්‍යාගෙ ඊළඟ නැවතුම ශ්‍රී ජයවර්ධනපුර සරසවිය. සරසවිය කවදත් කලාවට ක්ෂේම භූමියක් නිසා සත්‍යාගෙ නිර්මාණකරණ හැකියාව මේ කාලයේදී තවත් දළුලා වැඩුණා.

සත්‍යා නිර්මාණි, සරසවි අධ්‍යාපනය නිමා කරන්නේ දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව ලබාගෙන. පස්සේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියටම සම්බන්ධ විශේෂ ව්‍යාපෘතියක, ව්‍යාපෘති සමායෝජක විදිහට කටයුතු කරන්න ඇයට අවස්ථාව හිමිවෙනවා. මේ ව්‍යාපෘතිය දෘශ්‍යාබාධිත දරුවන් ඇතුළු දෘශ්‍ය ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ශ්‍රව්‍ය ග්‍රන්ථ නිර්මාණ කරන ව්‍යාපෘතියක්.

දැන් සත්‍යා විවාහකයි. ඇයට අවුරුදු 3ක විතර පුංචි දියණියකුත් ඉන්නවා. අධ්‍යාපනය, විවාහ ජීවිතය මේ සියල්ල සමබරව ඉදිරියට ගෙනියන්න ඇය සමත්වෙලා. ඒ අතරේ ඇගේ නිර්මාණ ජීවිතයේ සුන්දරම දවසක් පහුගියදාක උදාවුණා. ඇගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය ''දූවිලි'' නමින්. දැනගන්න ලැබෙන විදිහට ශ්‍රී ලංකාවේ පළමු මුද්‍රිත, ශ්‍රව්‍ය, බ්‍රේල් කෘතිය තමා ''දූවිලි'' කෙටිකතා සංග්‍රහය.

සාහිත්‍යධරයෝ කියන විදියට කෙටිකතාවක් ජීවිතයෙන් පෙත්තක් වගේ. ඉතින් සත්‍යාගෙ ජීවිතයේ විවිධ තැන්වල ඇසුණු, මුණගැසුණු මිනිසුන් තමයි මේ කෙටිකතා සංග්‍රහය ඇතුළෙ ජීවත්වෙන්නේ. කෙටිකතා බොහෝමයකට පාදකවෙලා තියෙන්නෙ ඇගේ ජීවන අත්දැකීම්.

මීට කාලයකට ඉහත ''Sera audio books'' පවත්වපු තරගාවලියකදී සත්‍යාගේ මේ කෙටිකතා පෙළ ජය ලැබුවා. ඒ ජයග්‍රහණයත් එක්කම වර්තමානයේ මේ කෘකියේ ප්‍රකාශකයා බවට පත්වෙලා තියෙන්නේ මේනකා ජයසුන්දර විසින් නිර්මාණය කරපු Sera Audio Books ආයතනය. කවදා හරි තමන්ගෙ නිර්මාණයක් ඉදිරිපත් කරද්දී මුද්‍රිත, ශ්‍රව්‍ය, බේල් කියන්න මාධ්‍ය තුනෙන්ම ඒ නිර්මාණය ඉදිරිපත් කරන්න ඕනෑ කියලා හීනයක් සත්‍යාට තිබුණා. ඒ හීනෙ අද හැබෑවෙලා. ලංකාවේ ග්‍රන්ථකරන ඉතිහාසයටත් ඇගේ කතාව එකතුවෙලා.

දෘශ්‍යාබාධිත අයට කියවන්න පොතපත හරි අඩුයි. ඒ අයගේ කියවීමේ අයිතිවාසිකම් වෙනුවෙන් සත්‍යා නිර්මාණි කාලයක ඉඳන් පෙනී ඉන්නවා. විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් හඬ නගමින් පුවත්පතකට තීරු ලිපි පෙළක් පවා ඇය ලිව්වා. එනිසාම ඇය ගැන ක්ෂේත්‍රයේ සමහරු කාලෙක ඉඳන් දන්නවා.

ඇගේ දූවිලි කෙටිකතා සංග්‍රහය දිහාවට නැවත හැරුණොත්, විශේෂ දේවල් ටිකක් තියෙනවා ඔබත් එක්ක බෙදාගන්න. ඇත්තටම මේ කෙටිකතා සංග්‍රහය තුළ සැරිසරන කොට මෙහි ලේඛිකාව දෘෂ්‍ය ආබාධිතයි කියලා ඔබට හැඟෙන්නෙ නෑ. ඒ වගේමයි මෙහි අන්තර්ගත සමහර වස්තු විෂයයන් පිළිබඳව මවිතයක් ඔබට දැනෙන්න පුළුවන්. සත්‍යා කැමති සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත්වෙන්න. ඒ සඳහා අවශ්‍ය පරිසරයක් මේ වෙනකොටත් බොහෝදුරට නිර්මාණය වෙලා තියෙනවා. ඇයට ලස්සන පවුලක්, විශිෂ්ට හැකියාවක් තිබෙනවා.

මේ නිර්මාණය ඇතුළෙ රචකයා දෘශ්‍ය ආබාධිතයි  කියලා අනිත් අයට නොදැනෙන එක ඇයට සතුටක්. සත්‍යා ළමා කාලයේ දුටු පරිසරය, පසුව මනසින් ග්‍රහණය කරගත්තු පරිසරය තමා මේ නිර්මාණය ඇතුළේ ඇය නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නෙ. කොහොම නමුත් සත්‍යා කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වීමම පමණක් නෙවෙයි අපේ ලිපියට අපි ඇයව තෝරාගන්න හේතුව. සත්‍යා නිර්මාණිගේ ධෛර්යය ඇගේ අපූරු ජීවන චාරිකාව බොහොම සුවිශේෂියි. උත්සාහවන්තයට ජීවිතය දිනන්න ස්වභාදහම කවමදාවත් බාධාවක් වෙන්නෙ නෑ. අපිට ඒ ගැන ඔබට කියන්න ඕනෑවුණා.

එහෙම උත්සාහයෙන් ගමනක් ආපු අය ආත්මාර්ථකාමී වෙන්නෙත් නැහැ. සත්‍යා මෙහෙම කතාවක් කියනවා. ''ඉස්සරහට ග්‍රන්ථකරණයේ යෙදෙන අයට කියන්න, පුළුවන් නම් ශ්‍රව්‍ය සහ බේල් මාධ්‍යවලිනුත් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා, කෙනෙකුට මගපෙන්වීමක් සහයෝගයක් ඕනෑනම් ඒ සහයෝගය ලබාදෙන්න මම ලෑස්තියි...''

නවකතා, ළමා කතා, කෙටිකතා තව බොහෝ නිර්මාණ සත්‍යා නිර්මාණි නමින් ඉදිරියට පළවේවි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ''මිනිස්සු ලෝකේ දකින්නේ දෑසින් නෙවෙයි මනසින්.'' සත්‍යාගෙ කතාව ඒකට අපූරු සාක්ෂියක්.

I නිසල්