රජත් - ඒත් ඔබ කියන කාලය තුළ ප‍්‍රශ්නයක් ඇතිවුණා කියලා කියද්දී දැන් අගමැතිතුමා මේ ප‍්‍රශ්නය ඇති කළා වගේ හැඟීමක්නේ එන්නේ?
අමීර් - නැහැ.... නැහැ.... අපි ගොඩාක් ඉදිරිටම යා යුතුයි. ඒ වෙනුවෙන් අපි සෘනාත්මක ආකල්ප නැති කරගත යුතුයි කියලානේ. එතුමා කියන්නෙත් අපි අපේ රට වෙනුවෙන් කළ යුතු බොහෝ වැඩ කොටසක් තියෙනවා. ආගම වෙනුවෙන් හෝ භාෂාව නිසා හෝ ජාතිය නිසා හෝ අපිව මොන විදියකින් හරි වෙන කරන්න හදන අය ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. මේ මනුස්සයා ඇයි අපේ රට බෙදන්න හදන්නේ කියන එකයි අපි හිතන්න ඕන. මම මුස්ලිම්, මම හින්දු, මම සික්, මම ක‍්‍රිස්තියානි කියලා නෙවෙයි මම ඉන්දීය ජාතිකයෙක් කියලයි අපි හිතන්න අවශ්‍ය.
(ප්‍රේක්ෂකයින්ගේ අත්පොළසන් හා විසිල් නාදය)
රජත් - ඒත් ජාවේද් අක්තර් කියලා තියෙනවා අමීර් ඛාන් ඔහොම විඳවන්න ඕන මොකද අමීර් ඛාන් පීකේ චිත‍්‍රපටය හදලා හින්දු දෙවි දේවතාවුන්ව උපහාසයට ලක්කළා. ඒත් හින්දු ජනතාව ආමීර්ගේ චිත‍්‍රපටය බල බලා ආදායම් වාර්තා චිත‍්‍රපටයක් කළා කියලා.
අමීර් - රජත් සර් මම එයාගේ කතාව ගැන...මේ එයා එහෙම කියලා තියෙනවද? නැහැ එහෙම නැහැ නේද?
රජත් - බලන්න මේ පුවත්පත් වාර්තාව. එයා මේ ලයින් එකෙන් කියනවා යම්කිසි දෙවි දේවතාවෙක්ට විහිළුවට ලක්කළාද එම දෙවිවරුන්ම වාර්තා පිට වාර්තා තැබීමට උදව් දුන්නා.
ආමීර් - මම ජාවේද් මහතාගේ කතාවත් එක්ක එකඟවෙන්නේ නැහැ. පීකේ සිනමාපටයේ අධ්‍යක්ෂ සහ ලේඛක රාජ් කුමාර් හිරානිජී සහ පීකේ සිනමා පටයේ ලේඛකයෙක් වන අභිජිත් ජෝශී ගේවත් මනසේ ඒ වගේ දෙයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. ඒ ෆිල්ම් එකේ රඟපෑව නළු නිළියන්ගේ හිතවලත් අනුෂ්කා, බොර්මන් ඉරානි මම ඇතුළු සියලුම රංගන ශිල්පීන්ගේ හිත්වල ආගම්වලට අපහාස උපහාස කරන්න හිත්වල තිබුණේ නැහැ. අපි හැදුව ෆිල්ම් එකෙන් අපි කිසිම ආගමක් විහිළුවට ලක් කළේ නැහැ. අපි හැම ආගමකටම ගරුකරනවා.
රජත් - ඒත් ඒ ෆිල්ම් එකේ ශංකර් දෙවියන් ඔබට භයවෙලා දුවනවා දකිනවා. මිනිස්සු අතරින් සැඟවිලා දුවනවා. ඔබ කියන්නේ ඒක විහිළුවක් නෙවෙයිද?
අමීර් - ශංකර් දෙවියන් කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨත්වයට පත්වූ දෙවිකෙනෙක්. එතුමා සර්වබලධාරීදෙවි කෙනෙක් එතුමව විහිළුවට ලක් කරන්න අපි කවුද?
රජත් - ඒක තමයි මම ඔබෙන් අහන්නේ?
අමීර් - ඒ ෆිල්ම් එකේ හිටියේ ශංකර් දෙවියන් විදියට නාට්‍යක රඟපාන්න හිටිය නළුවෙක්. එයා මනුස්සයෙක්. එයා දෙවි කෙනෙක් නෙවෙයි. තව ෆිල්ම් එකක් ආවා ජානේ භී තෛයාර් හෝ (යන්න සූදානම් වෙන්න) කියලා. සමහරවිට ඔබලා ඒක බලන්න ඇති. කොමඩි ෆිල්ම් එකක් ඒක. ඒකේ දෘශ්‍යරාෂ්ට‍්‍රජී ඉන්නවා. ඒකෙත් ගොඩාක් දේවල් තියෙනවා එතුමට විහිළුවට ලක්කළ දේවල්. ඒවා අපි යොදාගත්තේ දෙවියන් නමින් මිනිස්සු කරන ව්‍යාපාර ගැන පෙන්නලා දෙන්න. අපි කළේ හරිදෙයක්. අපි දෙවියන් ගැන කවදාවත් එහෙම හිතන්නේ නැහැ. අපි කිසිම ආගමක් විහිළුවට ලක් කළේ නැහැ.
රජත් - තව දෙයක් ජාවෙද් කියලා
අමීර් - මම ඔහුගේ කතාවට එකඟ නැහැ.
රජත් - මඳක් ඇහුම්කන් දෙන්න. ඔහු කියනවා ඔබ යම්කිසි මුස්ලිම් රටක කෙනෙක් ගැන මේ වගේ ෆිල්ම් එකක් තැනුවනම් මොනවා වේවිද?
අමීර් - අපි හින්දුවත්, මුස්ලිම්වත්, සික්වත්, ක‍්‍රිස්තියනිවත් වෙන කිසිම ආගමකටවත් උපහාස කිරීමේ අරමුණින් අපි ඒ ෆිල්ම් එක හදලත් නැහැ. එහෙම අදහසකින් ෆිල්ම් එක පෙන්නලත් නැහැ. මම ඔහුගේ කතාවට පොඩ්ඩක්වත් එකඟ නැහැ. අපි ඒ ෆිල්ම් එකෙන් පෙන්නුවේ ආගම යොදාගෙන වැරදි කරන අය ගැනයි. අපි ඒ ෆිල්ම් එකෙන් කිව්වේ උඩ ඉන්න දෙවියන් එක්ක ඔබ මොන ආගමක වුණත් ඔබේ සම්බන්ධය ඩිරෙක්ට් තියෙන දෙයක්. ඒ සම්බන්ධය සඳහා අතරමැදියන් අනවශ්‍යබවයි අපි පෙන්නලා දුන්නේ. ඔබ කිසිම රෝන්ග් නම්බර් එකකට අහුවෙන්න එපා කියන එකයි අපි පෙන්වා දුන්නේ. ඔය කතාව රාජු ජීවත් අභිජිත් ජීවවත් කිව්ව දෙයක් නෙවෙයි ඒක ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පවා කියලා තියෙන දෙයක්.
රජත් - පරේශ් රාවල කියලා තියෙනවා හින්දුන්ගේ විශ්වාසය බිඳලා තියෙනවා. ඒත් එහෙම වෙලත් හින්දු සමිති සමාගම් ඒ ගැන විරුද්ධත්වයක් පෙන්නුවේ නැහැ. ඒ නිසා මේ ෆිල්ම් එක හැම එකකටම වඩා හිට් එකක් වුණා.
අමීර් - රජත්ජී මම ඔබට කියන්නේ මේ ෆිල්ම් එකෙන් මිනිස්සු කරන වැරැදි දේවල් ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දුන්නා කියන එකයි. එහෙම නොවුණනම් එතරම් සාර්ථක වෙන්න බැහැනේ.
Translation — Chandana waravitage