2022 ජුලි 31 වන ඉරිදා

ආදරය කියන්නෙම අවර්ණ චිත්‍රයක්!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 32

හිස රන්දා හෙමිහිට සිත ගිම් නිවන්න උරහිසක්  නොඉල්ලන, දැවටෙමින් ඉසිඹුවක් උණුසුමට ගුලි වෙන්න තෙතමනයක් රැඳිච්ච පපුවක් නොඉල්ලන සිතක් හමුවෙනවා නම් ඒ කලාතුරකින්.... මම විශ්වාස කරනවා ආදරය තරම් ලෝකය සුවපත් කරන්න පුළුවන් සුවදායි හැඟීමක් මේ අහස පොළොව වටපිටාව අතර කොහේවත් නැහැ කියලා. කා වෙනුවෙන් ඉපදුනත්, කොතනකදී ඉපදුනත්, කොයි විදිහට ඉපදුනත්, ආදරය කියන්නේ ආදරය...... ආදරය නිර්වචනය කරන්න එපා...... කොන්දේසි විරහිත මානවීය හැඟීමක්, අවසානයක් මිස කෙළවරක් නැති මානවීය හැඟීමක්, සංසාර වීදියෙන් වීදියට අත් නොහැර එන දැනීමක් කොහොමද නිර්වචනය කරන්නෙ.....

ආදරය කවදාවත් මලක් වගේ දෝතට නෙලාගන්න එපා... කන්දක් වගේ තරණය කරන්න... ඒ ආදරය මිනිස්සු මිනිස්සුන්ට දක්වන ආදරය තුළ පමණක් රාමුගත කරන්නත් එපා. මම කතා කරන්නේ ලෝකයටම ආදරය කරන මානුෂවාදී චින්තනයක් ගැන. ගහ කොළට, සතා සිව්පාවාට, සියල්ලටම ආදරය කළ හැකි තෝතැන්නක් ගැන.ඒත් මම විශ්වාස කරන දෙවියන් වහන්සේගෙන් මට අහන්න එක ප්‍රශ්නයක් තියනවා..... මම විශ්වාස කරන එකම එක දෙවියන් මේ ස්වභාවධර්මය... ඒ දෙවියන් වහන්සේගෙන් මම අහන්නෙ ඇයි මේ ලෝකයේ හැම බිම් අඟලකම ආදරය වපුරන්න මිනිස්සුන්ට කියලා නොදුන්නෙ කියලා.....සොඳුරු මන්ත්‍රයක් වගේ ආදරය මතුරන්න ඇයි මිනිස්සුන්ට කියලා නොදුන්නෙ කියලා. ආදරය ගැන මට මෙහෙම කතා කරන්න හිතුණේ සමාජ මාධ්‍යයේ සැරිසැරූ හිත හුඟක් කෙනිත්තුව තප්පර දෙක තුනක වීඩියෝ පටයක් දිහා බලාගෙන ඉද්දී... පුංචි පූස් පැටියෙක්  එයා නොදන්න කෙනෙක්ගෙ පපුවේ දැවටි දැවටී තුරුල් වෙන්න හදනවා.... නොදන්නවා වුණාට එයාට දැනෙනවා ඇති ඒ පපුවෙන් දෝර ගලන ආදරයක් කරුණාවක් මෛත්‍රියක් ළඟ කාත් කවුරුත් නැති තමන් ආරක්ෂිතයි කියලා, හැමදාටමද නැද්ද නොදන්නා මුත් ඒ මොහොතට හරි... වාචිකවත් නිර්වාචිකවත් ප්‍රකාශනයක් බවට පත්වෙන ආදරය ළඟ මිනිස්සුන්ටත් වඩා සතුන් හරි සංවේදීයි කියලා මට හිතෙනවා... ආදරය ඇත්තටම දැනෙන තැන්වලට හුස්ම ටික දෙන්න තරම් බැඳීමකින් උන් ළංවෙන්නෙ ඒකයි... හුඟක් මිනිස්සු අතරේ ඒ පුංචි පූස් පැටියා ඒ ආගන්තුකයාගෙ තුරුල්ලට පැන්නෙ වචනයෙන් කතාකරලා කියන්න බැරිවුණාට ආදරෙන් දැවටෙන්න සුරතලයට නොරිදෙන්න හපන්න තහනමක් නැති වග දැනුණු හින්දා වෙන්න ඇති. සල්ලාප වීදි දිගේ ඇවිදින්න බැරිඋන් නොරිදෙන්න හපන්නේ ආදරය දනවන්න කියලා මට හිතෙනවා.

ඇත්තටම සමහර  බැඳීම් අපි අරන්  එන්නෙ සංසාරයේ කොච්චර දුර ඉඳන්ද කියලා කියන්න දන්නෙ අපි කවුද? භවයෙන් භවය පැලවෙමින්, දලුලමින් සංසාර මුදුන් මුල තෙක් විහිදිච්ච බැඳීම් ඇති නේද මේ ජීවිතයේ.... මෙතෙක් හමුවූ සහ හමුනොවුණු.... තිගැස්මකින්, කලබලයකින් තොරව දැවටෙන, සුරතල් වෙන, වචන නැතත් කතා කරන ඒ පුංචි පූස් පැටියා මගේ හිත හුඟක් දුර අරන් ගියා.... මගේ හිත මගෙන් අහන්න පටන් ගත්තා... කාත් කවුරුත් නැති අම්මෙක් තාත්තෙක් නෑදෑයෙක් නැති හුදකලා ලෝකයකද ඒ පුංචි පූස්පැටියා ජීවත් වෙන්නේ කියලා..... දැවටී වෙලී දිලිසෙන ඇස්වලින් ලගින්න ඉඩක් ඉල්ලමින් ඒ පුංචි පූස් පැටියා ඇත්තටම ඉල්ලන්නේ මොනවද? මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි සතුන්ගෙත් ඇස් දිහා බලාගෙන ඉන්න පුරුද්දක් මට තියෙනවා. මිනිස්සු නොකියන සහ සත්තුන්ට කියාගන්න බැරි හැඟීම් සංවේදනාවන් මම කියවන්නේ ඇස්වලින්. ඇස් දෙකක් කියන්නේ හදවතේ චිත්‍රයක් කියලා මම විශ්වාස කරනවා. ඒ පුංචි පූස් පැටියා එයාගේ දිලිසෙන ඇස් දිගේ මාව එක්ක ගියා මගේ පුංචි කාලයටම. පුංචි කාලේ මහපාරේ අතරමඟ අතරමං වෙච්චි පුංචි බලු පැටව් පූස් පැටව් දක්කම මම නැවතිලා උන් දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්වල කතන්දර මට පුංචි දවස්වල ඉඳන්ම කියවන්න පුළුවන්. ඒත් අතරමඟ තනිවෙච්ච උන් නවාතැනකට ගෙනියන්න නවාතැනක් නැතුව උන් මගේ දිහා බලන බැල්මෙන්ම මම උන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා. පුංචි බලු පැටවු පූස් පැටව් එයාගේ අම්මාගෙන් වෙන් කරලා ගේන පළවෙනි දවසේ එයාලගේ ඇස් අස්සේ ලියවෙච්ච කතන්දරේ‍ කියවලා තියෙනවාද? මගේ පපුව හෝස් ගාලා ඇවිලෙන කතන්දර මම ඒ ඇස්වල කියවලා තියෙනවා. ඇහැට උනන එක කඳුළක් කියන්නේ ආත්මීය හේතුවක සහේතුක යථාර්ථයක්. පුංචි පූස් පැටව් බලු පැටව් කකුල්වල දැවටෙද්දී ඌට රිදෙන්න පයින් ගහන මිනිස්සු දැක්කම හිතට එන්නෙ කොහොම හැඟීමක්ද? මට හිතෙනවා එහෙම මිනිස්සුන්ට මනුස්ස දරුවෙක්වත් පයින් ගහලා විසි කරන්න පුළුවන් කියලා.

මම දකින විදිහට ආදරය කියන්නේ අවර්ණ චිත්‍රයක්. ඒ චිත්‍රය මත තවත් එක පාට ඇබින්දක්වත් ගල්වන්න එපා. රතු පාටක කළු පාටක සේයාවක්වත් ඒ චිත්‍රය මත වැටෙන්න අංශු මාත්‍රයක ඉඩහසරක්වත් තියන්න එපා... අවර්ණව තියෙන තාක් ඒ චිත්‍රය හරි සුන්දරයි... සැහැල්ලුයි.... පාරිශුද්ධයි... 

මට ඇත්තටම හිතෙනවා මිනිස්සුන්ට වඩා ආදරයට ආදරේ කරන්න, ආදරේට අවංක වෙන්න, ආදරේට කෘතවේදී වෙන්න, ආදරය හැර නොයන්න ආදරේට පිටුනොපාන්න සත්තුන්ට පුළුවන් කියලා..... 

නොඉල්ලමි කිසිවක්ම  ආදරය හැරෙන්නට

ඒ දිලිසෙන පූස් ඇස්වල ලියවිලා තිබුණේ එහෙම දිග කතාවක්.......

මහ වැස්සක් වෙලා වහින්න බැරිවුණාට කමක් නෑ... පිනිබිඳක් වෙලා ඉහුණොත් ඇති. ඇත්තටම න්‍යාය, සංකල්ප හරහා නෙවෙයි ළය ලෙස හරහා ලෝකයට ආදරය කරන්න ඉගෙන ගන්න.... එහෙම ඉගෙන ගත්ත මිනිස්සු තමන්ට වගේම ලෝකයටත් ආදරෙයි.

සංජු