2022 ජුලි 31 වන ඉරිදා

එහෙම ඉපදෙන්න මටත් තිබුණා නම්...

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 79

ජීවිතෙන් ඇසිල්ල ගෙත්තම් කර තැබීම විටෙක වෙහෙසකරය. තවත් විටක ආස්වාදජනකය. මේ ඉතා වෙහෙසකර නිමේෂයක ගෙත්තම් කෙරෑ ජීවිතයේ ඇසිල්ලක කතාවකි.

ඊයේ සවස් වරුවේ කන්තෝරුවේ ඉඳලා නිවස බලා එන ගමන අතරතුර ජංගමයාගේ අකුරු පොත මේ කතාව ලියන්න උත්සහා කරා. ඒත් පිළිවෙළ ගලපාගන්න බැරිවුණා. පහළ වුණු අදහස් දැනුණු දෙවල් යන්තමින් තමා සටහන් වුණේ. ඒ වුණත් අද උදේ මට හිතුණා මේ කතාව කොහොම හරි ගලපන්න ඕනෑ කියලා. ඒකට හේතුවක් තියනවා. පොඩ්ඩක් ඉන්න, මම ඒ මොහොතට කාලතරණය කරනවා.

අපේ කන්තෝරුවෙන් එළියට බැහැලා කොල්ලුපිටියට යන්න 177 බස් එකක් ගන්න ඕනෑ. මම පාර පැනලා මහජන පුස්තකාලය පහුකරගෙන ටෙනිස් කෝට් එක පැත්තට ඇවිදගෙන ආවා. ඔන්න ඉස්සරහ වටරවුමේ කොළපාට නිල් පාට රතුපාට කොඩි දාලා තියනවා. ආ... අලුත් ජනාධිපතිතුමා ආපු නිසා වෙන්න ඕනෑ. එහෙම හිතුණු ගමන්ම මම ජංගමය අරගෙන පින්තූරයක් ගත්තා. මුහුණු පොතට මොනවා හරි ලියලා දාන්න ඕනෑ. එහෙමයි හිතුණේ. ඔන්න ඒ අස්සෙ විදුලියක් කෙටුව වගේ එකපාර දෙයක් මතක් වුණා...

බස් එකට සල්ලි තියෙන්නේ ගානටනේ. අහ්..හා.., මේ දවස්වල බසුත් නෑ.  තප්පර දෙක තුනක් එතනම ඉඳලා කල්පනා කරලා ආපස්සට හැරුණා. ආයෙ ඇවිදගෙන ගිහිල්ලා පාක් එකළඟින් පාර පැනලා ඒ.ටී.එම් එකට ගිහිල්ලා පොඩි ගාණක් අතට ගත්තා. ගිණුමේ ශේෂය කියන්නේ මේ දවස්වල බලන්න හොඳ නැති දෙයක්, නිසා ලදු පත එපා කියලා බොත්තම එබුවා. ඉතින් ආයෙත් ටෙනිස් කෝට් එක ළඟ බස් නැවතුමට හිමීට තමා ඇදුනේ. ඔන්න අර පාට පාට කොඩි ටිකත් පහුකරගෙන බස් නැවතුමට ආවා.

හ්ම්ම්... බස් එකක් නම් එන පාටක් නෑ. එය හා පැත්තට පැත්තේ ටෙනිස් කෝඩ් එකේ පුංචි පුංචි දරුවන්ව තරුණයෙක් පුහුණු කරණවා. වෙන කරන්න දෙයක් නැති හින්දා මම ඒ පැත්ත බලාගෙන හිටියා. එක පැත්තක ඉඳන් අනිත් පැත්තට පොඩි උන් බෝල ටික ගහනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඇවිල්ලා බෝල ටික එකතු කරගෙන ආයෙම අර පැත්තට යනවා. හරියට පහරක් එල්ල කරන විදිය තමයි තරුණ පුහුණුකරුවා කියලා දෙන්නේ.

''මෙතනට ඇවිල්ල ගොඩක් වෙලාද? බස් එකක් තාම ආවේ නැද්ද...''

මම  තනියම හිටියේ. ඒත් කවුරුහරි පිටිපස්සෙන් ඇවිත් ප්‍රශ්නයක් අහනවා. බැලුවා හැරිලා. තරමක් වයසක මහත්මයෙක්. මැද තට්ටි තියෙන සුදු කෙස් දෙපැත්තට තියෙන කලිසමක් කමිසයක් පිළිවෙළට ඇඳගත්ත කෙනෙක්. ම්ම්..., මම බැලුවේ ඔරලෝසුව දිහා. හත්තිලව්වයි විනාඩි විස්සකටත් කිට්ටුයිනේ මෙතැනට ඇවිල්ලා.

''ඔව් දැන් ටිකක් වෙලා, තාම බස් එකක් ආවෙ නෑ...''

ඔහු ස්තුතිය පිරිනමමින් හිස වැනුවා. සංවාදයක් නෑ. සාමාන්‍ය කාර්යාල වෙලාව වෙනකන් හිටියොත් නම් මේ දවස්වල බස් එකක යනවා බොරු. ත්‍රීවීල් එකක් හරි යනවනම් අතදාලා යන්න තිබුණා. හම්ම්... එහෙම එකකුත් නෑ. දැන් ටික ටික මිනිස්සු එකතු එනවා. ඔන්න තව ගැහැනු කෙනෙක් පරණ ප්‍රශ්නෙම ආයෙ ඇහුවා. මේ පාර අපි දෙන්නටම ප්‍රශ්නය.

මම ආයෙ ඔරලෝසුව දිහා බැලුවා දැන් මිනිත්තු 30ටත් වඩා පහුවෙලා. පිළිතුර දුන්නේ අර සුදු කොණ්ඩෙ තියන මහත්තයා. කලකිරුණු ස්වරයකින් තමා ඔහු ඒක කිව්වේ. ''තාම නෑ'' අර කාන්තාව මොහොතක්වත් හිතුවේ නෑ අනිත් පැත්තට හැරිලා යන්න ගියා. ම්ම්... ඒ කෙනා කොල්ලුපිටියට යනවා. සමහර දවස්වලට මමත් එහෙම කරලා තියනවා. ඒ නිසාම මේ කෙහෙල් මල අතහැරලා දාලා පයින් ඕන කියන මටත් අදහසක් පහළවුණා. දැන් විනාඩි තිහකටත් වඩා මෙතන කට්ට කාපු නිසා ඔන්නො ඔහේ තව ටිකක් බලනවා, ආයෙත් හිතුණා.

තව ටික වේලාවක් වෙලාවක් ගතවුණා දැන්නම් කොල්ලුපිටියේ බස් නැවතුම වගේ මේ නැවතුමත්. මමයි මෙතනට මුලින්ම දැන් සෑහෙන්න පිරිසක් ඉන්නවා. දහයක් පහළොවක් විතර. මට තේරුණා අර මහත්මයා ටිකක් කලබලෙන් ඉන්නේ. මට පහළ වුණු අදහස ඔහුටත් පහළ වෙලාද කොහෙද? ඔව් හරියට හරි. ඔහුත් අනිත් පැත්ත හැරිලා පිටවෙලා ගියා. මට තවමත් මෙතනින් යන්න හිත හදාගන්න අමාරුයි.

මේ වගේ පුංචි කතාවක් ඇයි කියන්නේ. පොරොන්දු වුණා මුලින්ම හේතුව කියන්නම් කියලා. මේ තමා මේ ඇසිල්ලේ අපේ රටේ හැටියි. ඒ වගේම මේ තමා අපේ හිතේ හැටියි. ඒක ඔයලට තේරුම් කරන්න මට ඕනෑ වුණේ. ජීවිතයේ අපිට තිබිච්ච බලාපොරොත්තු මේ බස් එකවගේ. වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයක නිසා ඒ බලාපොරොත්තු කවදා කොහොම ඉෂ්ඨ වෙයිද කියලා අපි දන්නේ නෑ. ඕනෑ නම් අපිට බලාගෙන ඉන්න පුළුවන්. හරියට බස් එක එන කල් මම හිටියා වගේ. ඕනෑ නම් කොච්චර වෙහසකර වුණත් අපේම හයියෙ ඒ ගමන යන්න උත්සහා කරන්න පුළුවන්. හරියට අර අංකල් වගේ.

මට මෙහෙම හිතුණෙ කොල්ලුපිටියට ඇවිල්ලා ගාල්ල බස් එකකට ගොඩවුණාට පස්සේ. හිටගෙන පොදි කනකොට. ඒත් අනික් පැත්තට තව දෙයක් මට හිතුණා. කොල්ලුපිටියට පයින් ආවට මේ බස් එක නොතිබුණා නම් බේරුවලටම යන්න මට පුළුවන්ද? මම ගෙදර යන්නේ කොහොමද. දැන් දීපල්ලකෝ උත්තර. රටේ සිද්ධවෙන සමහර දේවල්වල බලපෑම් වලින් අපිට මිදෙන්න බෑ. කන්තෝරුවෙන් එළියට බැහැලා පැයක් එක හමාරකට වඩා මහ පාරේ රස්තියාදු වෙන්න මට වුණේ ඒකයි.
මේ බස් ඇතුළෙත් එකම ජංජාලයක්. බස් එකේ මැද්දට යන්න කියලා පුදුමාකාර කෑගැහිල්ලක් තියෙන්නෙ. කොන්දොස්තරයි ෆුට්බෝඩ් එකේ ඉන්න අයයි දෙගොල්ලොම කෑගහනවා. මැද්දට යනවා තියා කකුල් දෙකම පොළොවෙ තියාගන්නත් මට නම් අපහසුයි. හිර වෙලා තද වෙලා කොන්ද ඇඹරිලා හුස්ම නැතිවෙලා.

හැබැයි ටික වෙලාවකින් මට වාසනාව උදාවුණා. අමාරුම තැන්වලදී සමහරු හොර පාරවල් භාවිත කරනවා. කෙනෙක් ගාල්ල බස් එකට නැගලා දෙහිවලින් බහින්න බලාගෙන. මම තෙරපිලා හිරවෙලා හිටපු සීට් එකේ තමයි වාඩි ගෙන හිටියේ. මේ කෙනා නැගිටින කොටම මාව ඉබේම තල්ලු වෙලා වාඩි වුණා. අර මනුස්සයාට නම් බැනුම් කෝටියයි.

මෙතනදී තමයි මේ කතාව ලියන්න ඕන කියලා මට හිතුණේ. අමාරුවෙන් හරි බැරි ගැහිලා සටහනක් දෙකක් ලියන්න උත්සාහ කළා. ලේසි වුණේ නෑ වැඩේ. මගේ උරපත්ත කෙනෙක් තද වෙනවා. බොහොම අමාරුවෙන් හැරිලා බැලුවා. බෑග් එකක් නිසා තමයි ඔහු මෙහෙම හිර වෙන්නේ. මම තට්ටුවක් දලා බෑග් එක ඉල්ලා ගත්තා. තවත් සෙනඟ වැඩි වෙනවා. මේක සීටී බී බස් එකක්. දැන් පැත්තට බරවෙලා වගේ දැනෙනවා.

අවසානයේ මම තීරණය කළා බෑග් පුළුවන් තරම් ප්‍රමාණයක් ඔඩොක්කුට ගන්න. අවසානයේ බෑග් හතරක්, ම්ම්... යාන්තම් නිකට මට්ටට වෙනකල් මම තියා ගත්තා. සමහර තැන්වලදී අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒත් අපි කරන පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක්ට සැනසුමක් සහනයක් වෙන්න පුළුවන්. හදිස්සියෙම මට හැදුනු බෑග් පිස්සුට මම සාධාරණය කරගත්තේ එහෙම. මේ ගමනේ මට සුවපහසුවක් නොවුණත් මටත් වඩා අපහසුතාවට පත්වුණු අය ඉන්නවා.

තෙල් පෝලිම් සෑහෙන්න ගාණක් පහු කරගෙන පහුකරගෙන අවසානය පැය දෙකකට විතර පස්සෙ බස් එක අපේ නැවතුමට කිට්ටු කරා. ඉතුරුවෙලා තිබුණෙ බෑග් දෙකක් විතරයි. මම ඒ බෑග් දෙක දීලා නැගිට්ටා. තවමත් සෑහෙන්න පිරිසක් හිටගෙන. දෙතුන් දෙනෙක් ගෙන් ඉඩ ඉල්ලගෙන පාපුවරුවෙන් බැස්සා. පුදුම රස්නයක් ඇතුළේ තිබුණේ, දැන් තමා යම් තම් සුළං රුල්ලක් ඇගේ වැදුණේ. එතකොට මට හිතුණා.
''කාලය දීපය දේශය කුලය මව බලලා ඉපදෙන්න අපිත් පාරමී පුරලා තිබුණ නම්...''

I නිසල්