2022 ජුනි 19 වන ඉරිදා

කොච්චර දුප්පත්ද කියනවනම් අප්පච්චි කොළඹ ආවේ අම්මගේ ගවුමක් ඇඳගෙන - සංජය මුරමුදලි

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 268

සංජය... අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න

මම සංජය කසුන් මුරමුදලි. මගේ ගම හඟරන්කෙතයි. ඒක නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති හරි සුන්දර, කොළඹට වඩා හාත්පසින්ම වෙනස්, ලස්සන පරිසරයක තියෙන ගමක්. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, නංගියි. අම්මයි අප්පච්චියි දෙන්නම ගොවිතැන් කරන්නේ. නංගි තාම ඉස්කෝලේ යනවා.

ඔබ ඉගෙන ගත්තේ....

මම ඉගෙන ගත්තේ හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විදුහලෙයි. පාසැල් අධ්‍යාපනයෙන් පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරිලා උපාධිය හැදෑරුවා. දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෙනත් විෂයන් වලින් උපාධිය හදාරමින් ඉන්නවා.

පුංචි කාලේ සංජය මොන වගේ චරිතයක්ද?

පුංචි කාලේමම ගමේ මිනිසුන්ට පවා එපා කරපු චරිතයක්. මම හරි දඟ චරිතයක්. අඹ ගහකට හරි ගල් ගහලා, ගෙදරක වීදුරුවක් හරි කඩලා අනන්තවත් ප්‍රශ්න ඇතිකරගෙන තිබෙනවා. ඒකට මට ලොකු පිරිසක් හිටියා. අදටත් මට ඒ යාළුවෝ ටික ඒ විදිහටම ඉන්නවා. මම ඉන්න තැන සහ සමහර යහළුවෝ ඉන්න තැන එක්ක කිසි වෙනසක් නැතිව, ඔවුන්ගේ කිසිම ඉරිසියාවක් නැතිව අද වනතුරු ඒ අපේ යාළුකම ඒ විදිහටම කරගෙන යනවා. අදටත් ඒ සහෝදර බැඳීම ඒ විදිහමයි.

පාසලේදී ඔබ මොන විදිහේ චරිතයක්ද?

පාසැලේදී මට විශේෂ හැකියාවන් ටිකක් තිබුණා. මම පාසැලේදී නම් තුනකින් පෙනී සිටියා. සංජය කියන්නේ දරුණු විදියේ වැඩකරපු, රණ්ඩුවලට පැටලුණු කෙනෙක්. පාසැලේදි මාව හොඳ ශිෂ්‍යයෙක් විදිහට දැණුනු ගුරුවරුන්ට මම කසුන් වුණා.පාසැලේදී විදුහල්පතිතුමා මාව මුරමුදලි කියන නමින් තමයි දැනගෙන හිටියේ. මොකක් හරි ප්‍රශ්නයකදී විදුහල්පතිතුමා ළඟට ප්‍රශ්නය ගියා නම් &අන්න අර සංජය කියන කොල්ලා ගහලා* කියලයි ප්‍රශ්නය ගියේ. හැබැයි විදුහල්පතිතුමා සංජයව දැනගෙන හිටියේ නැහැ. මම සංජය කියලත් දන්නේ නැහැ. දවසක් මටම &අර දහතුන වසරේ සංජය කියලා එකෙක් ඉන්නවා. අන්න ඌව එක්කගෙන එන්න* කියලත් කියලා තිබුණා. පාසැල් කාලෙත් හරිම දඩබ්බරයි. ඇත්තම කිව්වොත් පාසැල් ගියේ නැති තරම්.

පාසැලේදී තිබුණ හීනය මොකක්ද?

මම සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳන්ම මගේ මාමා ජපානයේ හිටියේ. එයා ලංකාවට වාහන එවනවා මම දැක්කා. බඩු භාණ්ඩ එවනවා මම දැක්කා. ඒ දේවල් මට මැජිත් වගෙයි. මම දුප්පත් පවුලක ඉපදුන කොල්ලෙක්. ඒ කාලේ මට වාහනයක් ගන්නවා කියන්නේත් හීනයක්. ඒ නිසා ජපානයට ගියපු ගමන් වාහනයක් ලංකාවට එවල මම ආයෙත් ලංකාවට ඇවිත් ඒක පදින හීනයක් මට තිබුණේ. ඒ නිසා ඉලක්කය වුණෙත් ජපානයට යාමයි. මම ඉංග්‍රීසි විෂය වගේම ජපන් භාෂාවත් ඉගෙන ගත්තා. ඒ පැත්තට අදාළ බොහෝ දේවල් මට ජපන් යන්න තිබුණ හීනය නිසාම ඉගෙන ගත්තා. උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට තේරුණේ නැත්නම් ජපන් යන හීනයමයි මට තිබුණේ.

කොච්චර දඩබ්බර වැඩ කළත් සංජය හොඳට ඉගෙන ගත්තා?

ඔව්... දහතුන වසරේදී ශිෂ්‍ය නායක තනතුර දෙන්නෙත් පාසැලේ හිටපු හොඳම සිසුන් තෝරලා. අපේ විදුහල්පතිතුමා ළඟ තිබුණ ප්‍රගති වාර්තා පොතෙත් මගේ කිසිම පිටුවක හොඳක් ලියලා තිබුණෙම නැහැ. රතු පෑනෙන් ලියලා තිබුණෙම නරක වැඩ. දඟ වැඩ විතරමයි. එහෙම කෙනෙක්ට ශිෂ්‍ය නායක පදවිය දෙනව කියන්නෙත් ගැටලුවක්. පාසැලේ හාමුදුරුවන් පවා මට ශිෂ්‍ය නායකකම දුන්නොත් අස්වෙලා යනවා කියලා කියලත් තිබුණා. එහෙම තැනකදී විනය භාර කමිටුව මට ඒ පදවිය දීලා මට ලොකු අභියෝගයක් ලබලා දුන්නා. ඒ නිසා එදා සිට පාසැලේදී මම හොඳ ශිෂ්‍යයෙක් වුණා. වගකීමක් දැරුවා... ජීවිතේ පිළිවෙළක් වුණා.

සංජයගේ ළමා කාලයේදී ආර්ථික අපහසුතා පවුල තුළින් විඳලා තියෙනවාද?

ඔව්. සෑහෙන විඳලා තියෙනවා. මම අවුරුදු හතරේදී විතර මම ගෙදර තිබුණ ඡායාරෑපයක් දැකලා තිබුණා. ඒක ගැන හරියටම මම දැනගත්තේ පසුවටයි. මට අවුරුදු තුනේදී මගේ අම්මා රට ගියා. මට පහ වසරේදී ඉඳිද්දී තමයි ආයෙත් අම්මා ලංකාවට ආවේ. ඒ වෙනතුරු මම අම්මා කියන්නේ කවුද කියලවත් දැනගෙන හිටියේ නැහැ. ලංකාවට ආපු අම්මා මාව බදාගෙන ඇඬුවට මට ඒක දැනුණේ නැහැ. මම අප්පච්චිගෙන් මේ කවුද කියලා ඇහුවා. ඒ අවස්ථාවේ ඉඳන් අදටත් මට අම්මා නැතිව පොඩ්ඩක්වත් ඉන්න බැහැ. දැන් මම අවුරුදු පහක් විතර කොළඹ ඇවිත්. අද වනතුරු හැමදාම රූට මොන වැඩේ තිබුණත් අම්මට කතා කරනවා. එයාගේ කටහඬ මට අහන්නම ඕනේ...!

අවුරුදු හතරේදී සංජය දැකපු ඡායාරෑපය මොකක්ද?

මට අවුරුදු හතරේදී අම්මයි, අප්පච්චියි දෙන්නම ගවුම් ඇඳගෙන මුහුදු වෙරළේ ඉන්න ඡායාරෑපයක්. ඒකේදී මාව අප්පච්චියි වඩාගෙන හිටියා. ඒක ගැන මට ලොකු තේරුමක් තිබුණේ නැහැ. දෙන්නම ගවුම් දෙකක් ඇඳලා තිබුණේ. හැබැයි ඒ ඡායාරෑපයේ හරි තේරුම අප්පච්චියි අම්මයි මට කියලා දුන්නේ මට තේරෙන වයසට ආවට පස්සෙයි. ඒ කාලේ අප්පච්චිට අඳින්න ඇඳුමක්වත් තිබිලා නැහැ. ඒ නිසා එදා අප්පච්චියි, අම්මයි කොළඹ ඇවිත් තිබුණේ අම්මගේ ගවුමක් අප්පච්චි ඇඳගෙනයි. මුහුදු වෙරළේදී අහම්බෙන් දැකපු කෙනෙක් ඒ කාලේ තිබුණ කැමරාවකින් ඒ දෙන්නාගේ ඡායාරූපයක් අරගෙන ඒක අතට දීලා තිබුණා. ඒ කාලේ ඒ වෙලාවෙම පින්තූරය ගන්න පුළුවන් කැමරාවක් තිබුණා. එහෙම අතට දීපු ඒ මනුස්සයා &මේක කවදාහරි මේ පුතාට වැදගත් වේවි* කියලා තිබුණා. අදටත් ඒ පින්තූරය මගේ ළඟ තියෙනවා. ආර්ථික අපහසුතා අපේ ජීවිතේ ඕනෑතරම් තිබුණා. ඒක දැනිලා තිබෙනවා. අදටත් මම කීයක් දුන්නත් අප්පච්චි ඒ සල්ලි ගන්න කැමැති නැහැ. ඒ දෙන්නා වැඩ කරනවා. ඒ වගේ දෙන්නෙක්ගේ දරුවෙක් වෙලා ඉපදීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.

හඟුරන්කෙත ඉඳන් සංජය කොළඹට මුලින්ම ආවේ ඇයි?

ඇත්තටම මම මුලින්ම කොළඹට ආවේ ජපානයට යන්න ජපන් භාෂාව ඉගෙන ගන්නයි. මම මහරගම තරුණ සේවා සභාවෙන් ඒ පාඨමාලාව හැදෑරුවා. ඒ ජපන් භාෂාව ඉගෙන ගන්න හරි තැම්පත්, පිළිවෙළට හිටපු ළමයි ටිකක් මම දැක්කා. මට ඒක හරියන්නේ නැහැ. මගේ ජීවිතේ වෙනස්. හැබැයි ඒ වෙද්දී වෙන පැත්තක කට්ටිය පෝලිමේ හිටපු, කෑගහපු, නටපු, සිංදු කියපු තැනක් තිබුණා. මම පැත්තකට වෙලා ඒක බලාගෙන හිටියා. දවසක් මම නාට්‍යවලින් අපි දකින දැවැන්ත චරිත ඇස් ඉදිරියේදී දැක්කා. ඒ අයගේ ළඟට ගිහින් බලාගෙන හිටියා. එක්තරා දවසක විවේක කාලයේදී අනිත් ළමයි සේරම කෑම කන්න ගිය වෙලාවක මම බැම්මට හේත්තුවෙලා මේ ප්‍රවීණ, දැවැන්ත චරිත දිහා බලාගෙන හිටියා. ඒක දැකපු ඔවුන් මට කතා කරලා මට අවස්ථාවක් ලබලා දුන්නා. පාසැල් කාලයේදී මම පාසැල් නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තිබුණා. ඒ නිසා ටිකක් පහසු වුණා. ඒ නිසා ජපන් යන්න ජපන් භාෂාව ඉගෙන ගන්න කොළඹ ආපු මම ඒක නතර කරලා කලාව ඉගෙන ගත්තා. එදා ඉඳන් වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය වලින් මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා.

හඟුරන්කෙත ඉඳන් කොළඹ එද්දී නතර වෙන්න දන්න කියන කෙනෙක්, තැනක් කොළඹ තිබුණද?

ඒක තමයි අදටත් මට පුදුම. එදා මම කට්ටක් කෑවා. ඒ කට්ට අද මට පට්ට රහයි. මම ගෙදර ඉඳන් හඟුරන්කෙත ටවුමට පැය එකහමාරක් පයින් ඇවිත් තියෙනවා. සමහරදාට අප්පච්චිට කියලා ත්‍රීවීල් එකෙන් රූ දොළහමාරට ටවුමට ගෙනත් දා ගත්තා. එතැන ඉඳන් පැය පහකින් විතර කොළඹට ආවා. බස් එකේ එද්දීත් වාඩිවෙන්න තැනක් ලැබෙන්නේ නැහැ. පැය පහක් හිටගෙන එන්නත් බැහැ. ඒ නිසා බස් එකට නැගපු ගමන් මම පිටිපස්සේ දොර ගාව වාඩිවුණා. ඒ පිටිපස්සේ දොර වහලයි තියෙන්නේ. එතැන බිම වාඩිවෙලා මම නිදාගන්නවා. කොළඹ ඇවිත් පුහුණුවීම් කරලා ආයෙත් රූ නවයහමාරේ බස් එකට නැගලා පාන්දර හඟුරන්කෙතට ගිහින් ටවුමෙන් බැහැලා පැය එකහමාරක් පයින් ගියා. මට කොළඹ නවතින්න බෝඩිම් තිබුණට ඒවාට ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. වීදි නාට්‍ය කරද්දී අපි විවිධ පන්සල්වල නැවතුණා. කැලණි පන්සලේ, මහරගම නීලම්මහර පන්සලේ නතර වෙලා හිටපු කාලය මට අද අමතක නෑ. කොච්චර දුක් වින්දත්, සල්ලි එකතු කරලා හැම අවුරුද්දකදීම මම අම්මටයි, අප්පච්චිටයි, නංගිටයි අවුරුද්දට අලුත් ඇඳුම් අරන් දුන්නා. අද මගේ ජීවිතය ගැන මට සතුටුයි.

 දිශානි ජයමාලි

සේයාරුව - සුමුදු හේවාපතිරණ