2022 ජුනි 19 වන ඉරිදා

කළුවර දැනෙන්නේ යාළුවෙක් විදිහට

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 565

කඳු පාරවල යද්දී වැටෙයි කියා හිතෙනවා

මම අවුරුදු 28ක තරුණියක්. මම උස් තැන්වලට ගොඩාක් බය කෙනෙක්. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ. මට පාලම්වල යන්න බයයි. ඒ නිසා මම %ට්‍රිප්^ යද්දි වුණත් උස් තැන්වල යන්නේ නෑ. ඒ වගේම කඳු තියෙන පාරවල්වලත් යන්න බයයි. බස් එකේ ගියත් වාහනයක ගියත් ඒම යද්දී මට ලොකු බයක් දැනෙනවා පහළට වැටෙයි කියලා. වෛද්‍යතුමනි, උපදෙසක් දෙන්න.  

ඉනෝකා - හොරණ 

පිළිතුර:

සාමාන්‍යයෙන් මෙවැනි බිය භීතිකා (Phobia) ලෙස හඳුන්වයි. භීතිකා වර්ග දහස් ගණනක් තිබෙන අතර නිතර දකින්නට ලැබෙන භීතිකා දෙතුන් සියයක් පමණ තිබේ. ඒ අතරින් ඔබ පවසා ඇත්තේ කිහිපයක් පිළිබඳවය. යම් යම් විශේෂිත ස්ථානවලට ඇති බියට අප කියන්නේ අංගන භීතිකාව ලෙසයි. බස්වල වාහනවල යද්දීත් බිය ඇතිවීම අංගන භීතිකාවේම කොටසක් බව කියන්න පුළුවන්.

ගුවන්ගමන්වලට ඇති බිය ඒරො ෆෝබියා ලෙස හඳුන්වයි. උස් ස්ථානවලට නගිද්දී සහ උස් ස්ථානයක සිට පහළ බැලීමේදී ඒ හා සමාන ගතියක් දැනී මේ බය එයි. පාලම් මතින් යාමේදී ඇතිවන බිය එෆයිරොෆෝබියා නම් වෙයි. එවැනි අයට මළ භූමියක් තරණය කිරීමට බියක් ඇතිවෙයි. අනවශ්‍ය ඉහළ ස්ථානයකට නැග පහළ බැලීම ආදියේදී සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුට සුළු වශයෙන් යම් බයක් දැනෙන්නට පුළුවන. එය ලොකු ගැටලුවක් නොවෙයි. එහෙත් එය භීතිකා තත්ත්වයකට එනවා නම් පපුව ගැහීම, තොල කට වෙව්ලීම, දහදිය දැමීම, සිත සවිමත් නොවීම ආදිය සිදුවීමට පුළුවන. මෙවැනි තත්ත්වයක පසුවන්නන්ට සුදුසුම දේ වනුයේ ක්‍රමානුකූලව එම ස්ථානවලට යමින්  පුහුණුවක් ඇති කරගැනීමයි. ඒ සමඟම ඇතිවන කාංසා තත්ත්වය අඩුකරගැනීමට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම තත්ත්වය ඉතාම පහසුවෙන් සුවකරගත හැකිය.


දුවගේ පුරුද්දට අපි බයයි

මේ ප්‍රශ්නය යොමු කරන්නේ දැන් ටික දවසක ඉඳන් මගේ දුවගේ තියෙන ප්‍රශ්නයක් නිසා උපදෙසක් ගැනීමටයි. දුවට වයස දැන් අවුරුදු 12ක්. දුව දැන් දවස් කිහිපයක ඉඳන් සමහර වෙලාවට ඇයගේ කොණ්ඩය කටේ දාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. කෙස් හපනවා. අපිට ‍බයයි මේක පුරුද්දකට යාවිද කියලත්. මමත් මගේ සැමියාත් කියන්න පුළුවන් හැම විදිහකටම දුවට කියලා දුන්නා මේ වැඩේ නවත්තන්න කියලා. ඒත් මේක හැමවෙලාවෙම නොවුණත් සමහර වෙලාවට එයා නොදැනුවත්වම වගේ වෙනවා. මටත් මගේ සැමියාටත් මේ සම්බන්ධයෙන් හරි දැනුමක් නෑ. තවම කිසිම වෛද්‍යවරයකුට පෙන්වා නෑ. වෛද්‍යතුමනි, දරුවාගේ මේ පුරුද්ද නවතාගන්න අපට උපදෙසක් දෙන්න.

මවක් - නාරම්මල 

පිළිතුර:

ඇතැම් දරුවෝ කොණ්ඩය සැපීම, කොළරයේ අග සැපීම, පෑන් පැන්සල් සහ නියපොතු කෑම ආදී දෑ කරති. එලෙසම සමහර දරුවෝ කොණ්ඩය කොටසක් අල්ලගෙන කරකවමින් සිටිති. ඇතැම්හු සිය කණ්ණාඩියේ දෙකෙළවර සපමින් සිටිති. මෙවැනි දෑ  සාමාන්‍යයෙන් සිදුවන්නේ එම අවස්ථාවේදී යම්කිසි කෙනකුට දැනෙන තරමක අපහසුතාව, එම අවස්ථාවට නොගැලපෙන ගතිය ආදී දෙය සමනය කරගැනීමට සිදුකරන අමතර දෙයකි. සමහරු මෙය කල්පනා කරන විට මෙන්ම යමක් සිතන විට එයට පහසුවක් විදිහට මෙවැනි දෑ සිදුකරති. මේ සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් ගතහොත් ඔවුහු ඒ අයට එන ඉච්ඡාභංගත්වයට ලක්වූ විට එහිදී දැනෙන මානසික අපහසුව සමනය කරගැනීමටත් මෙවැනි දෙයක් සිදුකරති. උදාහරණයක් කිවතොත් යම් දරුවකුට තමන් හදාරණ පාඩම්වල යම් විෂයක් පිළිබඳ ඉච්ඡාභංගත්වයක් පැමිණීමට හැකිය. මෙවැනි අවස්ථාවල මෙසේ සිදුකළ හැකිය. මේ ආකාරයට දරුවකුට මෙවැනි ලක්ෂණ ඇත්නම් අපි කොපමණ දෙයක් දුන්නත් දරුවාට මානසික වශයෙන් තනිකමක් දැනෙනවාදැයි සොයාබැලිය යුතුයි. ඒ සඳහා දරුවා තනි නොකර දරුවාට සහයෝගය ලබාදිය යුතුයි. එසේ නොමැති වුවහොත් එය පුරුද්දකට ගොස් දරුවා ලොකු මහත් වී කොපමණ ඉහළ රැකියාවකට ගියත් මෙවැනි දෑ ඔහු හෝ ඇය අතින් සිදුවෙන්නට තිබෙන ඉඩකඩ වැඩිය. එහෙයින් මෙහිදී දරුවා තනි නොකර දරුවා මානසික වශයෙන් ශක්තිමත් කිරීම මවුපිය ඔබගේ වගකීම බව සිහිපත් කරමි.

පාළු තැනක තනියම කතා කරන්න කැමතියි

මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නොමැති අතර මා තනිකඩව සිටී. රැකියාවක් නොකරයි. වත්තේ පොල්ගස් ටිකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙයි. මම ගොඩාක් කළුවරට කැමැතියි. පාළු නිදහස්  තැනකට ගිහින් තනියම මාත් එක්කම කතා කරන්න. මුහුද දිහා බලාගෙන ඉන්න. මට ප්‍රශ්න වැඩිවුණාම මම කරන්නේ මුහුද දිහා බලාගෙන ඉන්නවා. මට තේරෙන්නේ නෑ මම මොකක්ද කරන්න ඕනෑ කියලා. මම ගොඩාක් ආතතියකින් ජීවත්වෙන කෙනෙක්. මට හැමවෙලාවෙම හිතෙන්නේ මම තනිවෙලා කියලා. මට මේ ජීවිතය ගැන කියලා දෙන්න කවුරුත් නෑ කියලා හිතෙනවා. මට උපදෙසක් දෙන්න

මහේෂ්- ගල්කිස්ස

පිළිතුර:

මෙහිදී තමන්ට වගකීමක් නොමැතිකම, පිරිසක් නොමැතිකම, රාජකාරියක් නොමැතිවීම, තමන්ට වගකියන්නකුත් නොමැතිවීම, බැඳීම් පෙනෙන්නට නෑ. මේ ආදී අවස්ථාවලදී අධික හුදෙකලා බවක් දැනෙයි. මේ සමඟ කෙනකුට උග්‍ර නොවන නමුත් තරමක විශාද තත්ත්වයක් ඇතිවීමටද පුළුවන. එය පාරිසරික සාධක පදනම් වූ විශාද තත්ත්වයකි. එවැනි අවස්ථාවකදී මානසික වශයෙන් ඇති වූ දුක සහ කලකිරීම යන හේතු නිසා  ඉහත කී ලක්ෂණ පහළ විය හැකිය. බොහෝ වේලාවට තවදුරටත් දැනෙන අපහසුවෙන් මිදීමට අතිශය නිහඬ පාළු තැන්වලට ගොස් සිටීමට පුරුදු වෙයි. එහිදී මොළයේ රසායනවල ඇතිවන වෙනස්කම් නිසා අපි අඳුරට කැමැති වීමට පටන් ගනී. ඒත් එක්කම සමහර පුද්ගලයන් මනසින් මිත්‍රයකු ගොඩනගා ගනී. අපි මිතුරකු සමඟ දුක සැප බෙදාගන්නා ආකාරයට මනස විසින් මේ තත්ත්වය මැඩ පවත්වාගැනීමට දරන උපක්‍රමයක් ලෙස තනියම කතා කිරීමට පෙළඹෙයි. මෙහිදී ඔබ පවසා ඇති ලක්ෂණ අනුව ඔබට අධික විශාද තත්ත්වයක් දැකිය නොහැකිය. එහෙත් ඒ දෙස ගමන්ගන්නා සෙයක් පෙනෙයි. එම නිසා හැකි ඉක්මනින් බාහිර සමාජයේ ගැවසීම, නැතිනම් වගා කටයුතු සිදුකිරීම, තම ආගම දහමට අනුව අදාළ ආගමික කටයුතුවල නිරත වීමට ඔබට හැකිය. එසේම හොඳමිතුරන් හඳුනාගැනීමටත් ඔවුන් ආශ්‍රය කිරීමටත්, මනසට ප්‍රීතියක් විනෝදයක් දනවන සුදුසු මානසික ව්‍යායාම සහ විනෝදජනක ක්‍රියාවල යෙදීමට පුළුවන. ඔබ ප්‍රදේශයේ ඇති සමිතියක් සංවිධානයක් හා එක් වී සමාජ සුබසාධන කටයුතුවල නිරතවීමට පුළුවන. නිවෙසේ සුරතල් සතුන් ඇතිකිරීමත් සහ තමන්ට වගකීමක් ලැබෙන ආකාරයට ක්‍රියාකාරී දෙයක නිරත වීමෙන්ද මෙම තත්ත්වය ක්‍රමානුකූලව මගහරවා ගැනීමට ඔබට හැකිවෙයි. එයින් ලැබෙන ආදායම අනුව ඔබට සුදුසු රුකියාවක්ද සිදුකළ හැකි අතර ඔබ අවිවාහකයකු නම් ඔබට හැකියාවක් ඇතිනම් විවාහයක් සිදුකර ගැනීමත් සුදුසුයි. මෙය බිය විය යුතු රෝගී තත්ත්වයක නැති නමුත් සැලකිය යුතු තත්ත්වයක් පෙන්නුම් කරන හෙයින් ඉහත දුන් උපදෙස් සැලකිල්ලට ගෙන කටයුතු සැලසුම් කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන