2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ආදරෙයි... රාත්‍රිය...

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

දන්නවද? අපි නිදි අතරේ රාත්‍රිය හුස්ම ගන්නවා. ම්ම්ම්... මට ඇහෙනවා. වෙලාව රෑ එකොළහත් පහුවෙලා. ලියන මේසේ ළඟට ඇවිල්ල මම ජනේලේ ඇරියා. මුලින්ම මගේ වටේ එතුණේ සුළං දැලක්. හ්ම්ම්... ඒ මිහිර විඳගන්න ඇස් දෙක වහගන්න ඕනෑ. කොහෙද? මට ලැබුණේ නෑ ඒකට විරාමයක්. ඔය තියෙන්නෙ මගේ ඇස් මානේ ඇඳුන දර්ශනය.

විශ්වාස කරන්න, කැමරා කාචයකට බෑ මේ හුළඟට පුර දවස්වල හඳට සුදුපාට කැටි වලාකුළුවලට සාක්ෂි දරන්න. මම බලන් හිටිය සෑහෙන වෙලාවක්. ඇත්තමයි.... මේ මිහිර විඳගන්න පුළුවන් ඇස් දෙකටයි සන්සුන් හිතටයි විතරමයි. දන්නවද මගේ හිතත් එච්චරම සන්සුන් නැහැ. හැබැයි මේ රාත්‍රියකට පුළුවන් මාව සන්සුන් කරන්න. ඒකට රාත්‍රියට තියෙන්න මහ පුදුම හැකියාවක්.

ගෙවෙන මේ තත්පරෙත් මට වටිනවා. ඔව්... ඒත් මේ සටහන ලියන්නම ඕන කියලත් හිතෙනවා. ම්ම්ම්... දන්නවද රාත්‍රියක ගැඹුරටම කිඳා බහින විදිය. ඒක රහසක්. හ්ම්ම් ඒක නම් කියලා දෙන්න අමාරුයි තමයි. නොකියා හිටියොත් මම වැරැදියිද? එහෙනම් ඇස් දෙක වහගන්න. අහන් ඉන්න. ඇහෙන හැමදෙයක් ඇතුළෙම හිමිහිට ඇවිදගෙන යන්න. ලොකු සද්දවල ඉඳලා පුංචිම සද්ද වෙනකල්. සුළඟේ තාලය හොයන්න උත්සාහ කරන්න මට නම් තවම බැරිවුණා. ඒත් ඒක අපූරුයි. හ්ම්ම්ම්...

රාත්‍රිය හුස්ම ගන්න අතරේ හුස්ම ගැන කතාවක් කියන්නද, මුලින්ම මම ප්‍රශ්නයක් අහන්න නම්...

අපි මේ ජීවිතේ කරන වැදගත්ම වැඩේ මොකක්ද...?  දවසක ඔයාට හුස්ම ගන්න අමතක වුණොත්. ම්ම්....... ම්ම්... එකපාරට නම් හිතාගන්න බෑ නේද...? හරි කමක් නෑ... ඒත් කාටහරි හිතුණද මෙහෙම ''හුස්ම ගන්න එක තමා අපි මේ ජීවිතේ කරන වැදගත්ම වැඩේ කියලා'' ආ... එහෙම හිතුණා නම්, ඒ අය තවත් මේ කතාව කියවන්න ඕනේ නෑ... හැබැයි නොහිතුණා නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද....? උත්තරේ දැනගෙන හිටපු අය වගේම, නොදැන හිටපු හැමෝමත් මැරෙන්නේ හුස්ම ගන්න එක නතරවුණදාට. නෑ... විහිළුවක් නම් නෙවෙයි. මේක ජීවිතේ ගැන පොඩි කතාවක්.

ජනේලේ වහලා... හිමීට ඉස්තෝප්පුවට ආවා. හුස්ම ඒක මාව හොයාගෙන යන්න පටන් ගන්න ඕනෑ දැන්නම්. මහා රෑ ඉස්තෝප්පුවේ සිය ලියමි...

ප්ලාස්ටික් පුටුවෙ ඉඳගෙන ඉන්න මගේ නිරුවත් උඩුකයට සීතල හාදු දෙන හීන් සුළඟ දැනෙනවා. පළඟැටියෝ කෑගහන ශබ්දේ එක දිගට නැවතුමක් නෑ. ඒක මේ රෑ ආත්මයේ කොටසක් වගේ. මිදුලේ ඉස්සරහා දෙල් ගහේ පහළ අතුවලට ලයිට් එළිය වැටිලා මේ අමුතු සුළඟට හෙළවෙනවා. නෑ ඒකට හරියන වචනේ ලෙළදෙනවා. සුළඟ වෙලාවකට හිමීට ආයේ ඔන්න හයියෙන් හමනවා. මේ මුළු රාත්‍රියේම රහස් දන්න ලොකුම කවිය වෙන්න ඕනෑ මේ සුළඟ. ඇස් දෙක වහලා හොඳට අහගෙන ඉන්න ඕනෑ ඔන්න මුහුදේ ශබ්දේ හිමිහිට ඔව්... ඈතින්ම. අද නම් මුහුද සැර නෑ වගේ. ගාලුපාරේ වාහනයක් යනවා. ඒකනම් ඇහෙන්නේ නැතිතරම් යාන්තමට. ඉස්සෙල්ලා බල්ලෙක් උඩුබිරුවා ඒක ගැලපෙන්නේ නෑ. ඌට තිබ්බේ කටවහගෙන ඉන්න.

ජනේලෙන් දැක්ක සඳයි සුදුපාට කැටි වළාකුළුයි බලන්න ඕනෑ. තරු පායලාද දන්නේ නෑ... මිඳුලට බැහැලා බලන්න ඕනෑ... ලයිට් එළිය වැටුණු හරියේ මිඳුලට බැස්සා... ආ... අද නම් තරු නෑ වගේ වලාකුළු වැඩියි. මේ සුළඟ එක්ක ඇවිදින්න ආසයි. මිඳුලේ දෙල් ගහ යට අඳුරුයි කොස් පැළේට එහා පැත්තේ ලොකු බට පඳුර ඊට එහා තිත්ත කළුවරයි. බට පඳුර සංගීතයක් මවනවා සුළඟ එක්ක හවුලේ. ඔන්න වවුලෙක් පොඩි එකෙක්. ආ වලාකුළු අතර තරු තියෙනවා. අන්න ඉස්සෙල්ලා හරියට පෙණුනේ නෑ. මේ වැහි වලාකුළු නම් නෙවෙයි සුදු වලාකුළු ඔව්.. ඒ වගේ තමා. ගස්වල අතු අතරින් බැලුවම අහස එළියයි මේ මහ පොළොවට වඩා. අන්න කණාමැදිරියෙක්. අනේ ඌ ඉන්නේ විදුලි එළිය තියෙන පැත්තේ. යාළුවා උඹට ඉන්න තිබ්බේ මේ කළුවර පැත්තේ එතකොටනේ ලස්සන.

ඉතිං ඇති, මේ ලියන වැඩෙන් හිත පිරෙන්නේ නෑ මම තව විඳිනවා... ආදරෙයි රාත්‍රිය.

පසුව ලියමි. ආයේ ආවා කාමරයට. ජීවිතේ අපිට වැඩියෙන්ම මඟහැරිලා තියෙන්නේ මොනවාද? ඔන්න තවත් ප්‍රශ්නයක්. හැබැයි උත්තරේ සරලයි. අපිට වැඩියෙන්ම මඟහැරිලා තියෙන්නේ අපිව. මට මාව. ඔයාට ඔයාව. ඒකත් හරියට හුස්ම වගේ. කවම කවරදාවත් අපි, අපි ළඟ නතර වෙන්නේ නෑ. එහෙම නතර වුණත්, ඒ එක ඇසිල්ලකට විතරයි.

''ඇත්තටම අපි හුස්මගන්න එක අමතක කරලා... තමන්වම මඟහැරගෙන... අපි මේ මොනවාද කරන්නේ...? ''මගේ අම්මට තාත්තට, මගේ බිරිඳට දරුවන්ට, කොටින්ම මගේ උන්ට. මම මේ හැමදේම කරන්නේ ඒ අය වෙනුවෙන්. ''මම... මගේ... මට... මාව...'' ම්ම්... විකාරයිනේ... අපි මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන්ම නෙවෙයිද?

ඒත් අපි අපිව දන්නේ නෑ. මම මාව අඳුරන්නේ නෑ. උඹ උඹව අඳුරන්නේ නෑ. ඉතින්... පුංචි දෙයක් කරන්න, හුස්ම ගන්න... රාත්‍රියක පපුව පිරෙන්න හුස්ම ගන්න. මෙන්න මේ වගේ. හ්ම්ම්ම්ම්... ඊටපස්සේ හුස්ම ඒක තමන්ව අඳුරගන්න. ඇත්තටම හුස්ම පස්සෙන් තමන් ඇතුළට කිඳා බහින්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් කළේ ඒක නෙවෙයිද?

♦ නිසල්