2021 මැයි 08 වන සෙනසුරාදා

ප්‍රේමය නම් හමුවිය යුත්තේම පමා වීමය...

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ප්‍රේමය කියන්නේ නිර්වචන විරහිත ආඛ්‍යානයක්. ඒ ආඛ්‍යානයට නිශ්චිත අරුතක් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ නෑ... ඕනෑම තැනකදී ප්‍රේමයක් ඇතිවිය හැකි සේම ඕනෑම තැනකදි ප්‍රේමයක් වෙනස් වී යා හැකියි... නොඑසේනම් වියැකී යා හැකියි.

ප්‍රේමය හමුවුණ තැන හමුවුණේ ප්‍රේමයමද යන්නත් අවිනිශ්චිතයක්. ප්‍රේමය ප්‍රේමයේ වෙසින්ම පැමිණෙනවාද යන්නත් අවිනිශ්චිතයක්. ප්‍රේමය වින්දනයේ වෙසින් සේම විඳවීමේ වෙසින්ද පැමිණිය හැකියි... ප්‍රේමය වින්දනයක ස්වරූපයෙන් පැමිණෙද්දි ප්‍රේමය කියන්නෙ ජීවිතයම සුවපත් කරන්නක්. 

එහෙම ප්‍රේමයක් ගැන තමයි ප්‍රේමම් දමිළ චිත්‍රපටය තුළ කතා කරන්නේ. ආදරය හමුවෙන හුඟාක් තැන්වලදිම ආදරය මඟහැරෙනවා. මට හිතෙන්නේ එහෙම. අපි ආදරය කියලා විශ්වාස කරන හුඟාක් තැන්වල තියෙන්නේ ආදරය නෙවෙයි. බැඳීම් කියන්නේ භෞතික සාධක මත තීරණය වෙන හුදු ගනුදෙනුවක් හෝ හුවමාරැවක් නෙවෙයි. එය සැමවිටම ආධ්‍යාත්මික පිරිනැමීමක්. එහෙත් පිරිනමන්නා සහ ලබන්නා යන දෙදෙනාගේම අවංකත්වය මත තමයි ප්‍රේමයේ රැඳීම රඳා පවතින්නේ. ඒ වගේම තමයි විශ්වාසය කියන සාධකය. මට හිතෙන්නේ ආදරයක් හෝ ප්‍රේමයක් ගොඩනැගෙන්නේ විශ්වාසය කියන පදනම මත. ආදරයක් බිඳෙන තැනකදි මඟහැරෙන තැනකදි එය දරාගන්න පුළුවන්. ඒත් විශ්වාසයක් බිඳවැටෙන පළුදු වෙන ගිලිහෙන තැනකදි එයා දරාගන්න අමාරුයි. ආදරයක් සාධාරණ හෝ අසාධාරණ හේතු මත මඟහැරෙන්න පුළුවන්. ඒත් විශ්වාසයක් බිඳවැටීම සාධාරණීකරණය කරන්න පුළුවන් සාධකයක් ලෝකයේ නැහැ.

ප්‍රේමම් කියන්නෙම ප්‍රේමය ගැන අපූරැ කියැවීමක්. ඒ කියවීම තුළ ප්‍රේමයේ හමුවීම් සහ වෙන්වීම් ගැන හරිම සුන්දර විදිහට කතා කරනවා. ප්‍රේමය හමුවීමෙන් සුන්දර වෙන තරමටම ප්‍රේමය අහිමිවීම, වෙන්වීම වේදනාත්මකයි. ප්‍රේමම් තුළ ප්‍රේමය හොයාගෙන හොයාගෙන ඔහු යන ගමනක් තියෙනවා. ප්‍රේමය දැනෙන තැන්වල ඔහු නවතින තැන් තියෙනවා. එහෙත් ප්‍රේමය හමුවන්නේ හරිම අමුතු තැනකදි... ඒ වෙද්දි ඔහු ප්‍රේමය පිළිබඳ පරිණත නොවූ පරිණත බවක හිමිකාරයෙක්.
ප්‍රේමයේ පරිණත බව කියන්නේ ප්‍රේමය භුක්ති විඳීම නෙවෙයි. ප්‍රේමය තුළ පවතින හා පැවතිය යුතු ගුණාත්මක වටිනාකම් ආධ්‍යාත්මිකව පිරිපහදු කර ජීවිතය මත කිඳාබැස්සවීම කියලා මට හිතෙන්නේ. එහෙත් ප්‍රේමය නම් බොහෝ පසුවී ජීවිතයට හමුවිය යුතු දෙයක් යැයි මට හිතෙනවා.

කලින්ම ප්‍රේමය මුණගැහෙද්දි ඒ ප්‍රේමය කොතැනකදි හරි වෙනස් වේ යැයි මඟහැරේ යැයි බියක් හිතට එන්න පුළුවන්... ඒත් පමා වී මුණගැසෙන ප්‍රේමයක් ප්‍රේමයේ පරිණත බව තුළ ජීවිතය අත්නොහැර ජීවිතය මත රැඳී ඉන්න පුළුවන්. ප්‍රේමය ප්‍රේමයක් විදිහට දැනෙන්නේ ප්‍රේමය පමා වී මුණගැසීම තුළ කියලා මට හිතෙනවා. 
ප්‍රේමම් තුළ ප්‍රේමය මුණගැසෙන්නෙත් එවන් පමාවීමකින් පසුවයි.
වසන්තය කියන්නේ වසන්තයටම නෙවෙයි. ජීවිතය දැනෙන තැනට. ජීවිතය දැනෙන තැන කියන්නෙ හුස්මක් වැටෙන තැනට නෙවෙයි. ආදරයක් දැනෙන තැනට. ආදරයක් දැනෙන්න ඒ ආදරය බොරුවෙන් අවිශ්වාසයෙන් රැවටීමෙන් වියුක්ත වෙච්ච නිර්මල ආදරයක් විය යුතුමයි.

එහෙම ආදරයක් ජීවිතය තුළ මුණගැසෙන්නේ හුඟාක් කලාතුරකින්.

එහෙම ආදරයක් ප්‍රේමම් තුළ ඔහුට මුණගැහෙනවා. එහෙත් මේ ජීවත්වීම තුළ එහෙම ආදරයක් කොහේදි කොතැනකදි මුණගැසේ යැයි කොහොම විශ්වාස කරන්නද? 
ආදරය හමුවෙන හැම තැනකම තියෙන්නෙ ආදරයම නෙවෙයි... ඒත් ජීවිතය කියන කටු අත්තේ මලක් පූදින්නනම් ආදරයක් මුණගැසිය යුතුමයි.
එහෙත් ජීවිතය කියන්නේ අපි ඉල්ලා හිඳින දෙය විතරක්ම නෙවෙයි. අපට අවැසි දෙය පමණක්ම නෙවෙයි. ජීවිතය කියන්නේ ජීවිතය විතරක්ම නෙවෙයි. මේ ලෝකයේ කිසිවකට තවෙකක් හා සංයෝග නොවී හුදෙකලාව පවතින්න බෑ. එහෙයින් හුදෙකලා වූ හෝ තනි වූ කිසිවක්ම මේ ලෝකයේ නැහැ. ප්‍රේමම් තුළ කතා කරන මේ යථාර්ථය ලෝකයේ හැමවිටම පවතින්නක්.