2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

Gossip

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 76

දක්ෂයාට දෂ්ට කිරීම

කලාවට සම්බන්ධ ආයතනයක සතිපතා වැඩසටහනක් මෙහෙය වන්නට බොහෝ අය මාන බලමින් හිටියත්, එම තනතුරේ සිටි ප්‍රවීණයෝ පුටුවලින් ඉවත් කිරීම පහසු වුණේ නැහැ.

ඒත් කුමන හෝ අදහාගත නොහැකි ක්‍රමවේදයකින් එතනට අද පත්ව ඉන්නේ ඒ සඳහා සුදුසු කෙනෙක්ද කියන ප්‍රශ්නය ආයතනයට සම්බන්ධ බොහෝ අය අහනවා.

ඒ බව දැනගෙන අලුතින් පත්වූ කෙනා දක්ෂතා පෙන්නන අය පන්න පන්නා කැපිලි දානවලු.

සැබෑ දක්ෂතාවය යටපත් කරන්න කිසිම බලවේගයට බැරි බව තමයි හැමෝම කියන්නේ.

පැච් එකක්ද?

පහුගිය දවසක ගාල්ල පැත්තෙ ටෙලි නාට්‍ය රූපගතකිරීම නිමා කරමින් එක්තරා කණ්ඩායමක් කොළඹ පැත්තට එමින් හිටියලු. ඒ වෑන් එකේ හිටියෙ නළු නිළියො. ඕනෑම දේකට මුලින්ම ඉදිරිපත් වෙන ප්‍රවීණ නළුවෙකුත් හිටියලු.

විශාල ශබ්දයක් සමඟ එක පාරටම වෑන් රථය නැවතුණාලු. වෙලාව පාන්දර 2යි. පැච් එකක්. ඒ වෙලාවෙ හැමෝටම නින්ද ගිහින්ලු. අර කාටත් උදවු කරන්න මුලින්ම ඉදිරිපත් වෙන නළුවත් හිටියෙ නින්දෙන්ලු.

රියැදුරු මහතා මුලින්ම කතා කළේ ඔහුටලු.

“මහත්තයෝ... පැච් එකක්.”

“හා පැච් එකක්ද?” ඔහු නැවත නින්දට වැටුණාලු.

“සර්... පැච් එකක්.”

“මල්ලි පැච් එකක්ද...” ඔහු ආයෙත් නිදාගත්තා.

කට්ටිය ඇහැරිලා තියෙන්නෙ එළිවෙලා.

එකමුතු මාවතේ වලි

ටෙලි නාට්‍යයක් රූපගත කරන්න ජනාකීර්ණ පෙදෙසක් තේරීම සඳහා නිෂ්පාදන කණ්ඩායමක් ලොකු වෙහෙසක් ගත්තලු.

අන්තිමේදී වැඩේට සුදුසු තැනක් තෝරාගෙන රූපගත කිරීම්වලටත් දින යොදා ගත්තලු.

ඔන්න දැන් ෂූටිං පටන් ගත්තා. සීන් දෙකක් ගන්න ලැබුණේ නෑ අහල පහල විශාල කාලගෝට්ටියක සද්දයක් ඇහෙනවලු.

“මල්ලි ගිහින් අර සද්දෙ එන්නෙ කොහෙන්ද කියල බලලා ඕක නවත්තන්නකො.” අධ්‍යක්ෂකවරයා නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙකුට කිව්වලු.

ටික වෙලාවකින් මල්ලි දුවගෙන එනවලු හතිදාගෙන. ඒ අතර අද ඝෝෂාව තවත් වැඩිවෙලා.

“අනේ අයියෙ ඕක නම් අද නවතින වලියක් නෙවෙයි. මෙගා ටෙලියක් වගේ ඇදෙන එකක්.”

“කොහෙද බං ඒ වලිය...?”

“අල්ලපු ලේන් එකේ. එකමුතු මාවතේ.”

රංගනය උගන්වන මල්ලි

ඔහු ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් ඇති. පත්තර පිටුවල පින්තූර පළ කරමින් මුලින්ම කලා ලොවට පිවිසි ඔහු පසු කලෙක ටෙලිනාට්‍ය කීපයක සුළු චරිත රඟපෑවා.

ඉන් පස්සෙ ඔහු පේන්නෙම නැතුවම ගියා.

ඔන්න ඔහු යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඔහු රඟපාන්න නෙවෙයි නැවත ඇවිත් ඉන්නෙ.

ඔහු දැන් එන්නෙ රංගනය ගැන නවකයින්ට පාඨමාලා පවත්වන්න.

මාළු ටිකක් ගේන්න එපායැ

කවදත් බස්වල ගමන් කරන, බස් ගැන රස බස් කියන, ප්‍රවීණ කලාකරුවා පහුගිය දවසක ඔහු වැඩකරන ටෙලි නාට්‍යයක නළු නිළි කණ්ඩායමක් එක්ක තවත් අපූරු කතාවක් කිව්වලු.

ඔහු ඇවිත් තියෙන්නෙ AC බස් එකක. ලොකු බෑග් එකක් එක්ක ජෝඩුවක් බස් එකට නැග්ගලු. බෑග් එක රියදුරු මහතා ළඟ තබා ඔවුන් පස්සට ගොස් වාඩි වුණාලු. ටික වෙලාවකින් රියැදුරු මහතා කොන්දොස්තරට කතා කරනවලු.

“මල්ලි අහන්න මේ බෑග් එකේ මාළු තියෙනවද කියලා. මාළු ගඳත් එනවා. මාළු නම් මේ අයව බස්සන්න සල්ලි දීලා.”
“නෑ නෑ ඒකේ මාළු නැහැ. තියෙන්නෙ ගෝවා...” පසුපසු ආසනයේ සිටි අර මගියා කිව්වලු. බස් එකේ හිටිය කාටත් හිනාලු. ඔන්න ඒ සිද්ධියෙන් පස්සෙ බස් එකට නඟින හැමෝගෙන්ම කොන්දොස්තර අහනවලු මලුවල මාළු තියෙනවද කියලා.

“නැහැයි” කිව්වම 

කොන්දොස්තර කියනවලු “ඇයි ඒ? මාළු ටිකක් ගේන්න එපායැ” කියලා.

අපි නළු අංශයේ

පහුගිය දවසක පැවැති සිනමා සම්මාන උළෙලක් සඳහා ජනප්‍රිය තරුණ සිනමා නළුවෙකුට ආරාධනා පත්‍රයක් ලැබිලා තිබුණෙ තැපෑලෙන්. එය ලැබී දවස් දෙකකට පසුව ඔහුට සම්මාන උළෙල සංවිධානය කළ ආයතනයෙන් දුරකතන ඇමතුමක් ලැබුණාලු.

“අහවල් උත්සවයට ඔබට ආරාධනා පත්‍රයක් ලැබුණාද?” ආයතනයේ නිලධාරියා ඇහුවලු.

“ඔව්...”

“මහත්තයාට පුළුවන් ඒකෙ ඔයාට දලා තියෙන ආසන අංකය කියන්න...”

“ආසන අංකය? ඇයි ඕගොල්ලො දාපු අංකය මතක නැද්ද? මගේ අතේ මේ වෙලාවෙ ආරාධනා පත්‍රය නැහැ.”

“ඔයාව සම්මානෙකට නිර්දේශ වෙලා... කොහොම හරි එන්න.”

“ඇත්තද මොන අංශයෙන්ද නොමිනේට් වෙලා තියෙන්නෙ?”

“ඒක නම් හරියටම දන්නෙ නෑ. ඒත් නළු අංශයෙන් තමයි...”

“මාර වැඩක්නෙ. මම නළුවෙක් නිසා නළු අංශයෙන් නිර්දේශ නොවී නිළි අංශයෙන් නිර්දේශ වෙයි කියලා හිතන්නෙ නෑ.”

Text – Mithra