කලාව යනු මේ විශ්වයට ස්වභාවධර්මය විසින් දුන් අනගිතම දායාදයක් බව මම විශ්වාස කරමි. සැබෑ කලාවේදියෙකු යනු කලාවේ මහ^රුත් මැනවින් හඳුනාගත් ආදරණීය මනුෂ්‍යයෙකු බව මම විශ්වාස කරමි. එසේම එවන් සැබෑ කලාවේදීන් විරල වගද මම විශ්වාස කරමි. කලා කෘතියකින් එළිදක්වන සොඳුරුතා ඒ කලා කෘතියේ අයිතිකාරයන්ගේ හදවත් තුළ සැබැවින්ම පවතීද නැත්ද යන්න අවිනිශ්චිතයකි. ඒ යථාර්ථය විනිවිද දකින අතරතුර මා දැනහඳුනාගත් ළෙන්ගතු හිත මිත්‍රයෙකි, සනත් විමලසිරි..
ප්‍රවීණ රංගධරයෙක් වන ඔහු ඔහුගේ ප්‍රියතම ගීතය ගැන කළ කතාබහ මෙසේය..
මගේම ගීතයක් කියලා හිතෙන ගීතයක් ඔබට තියෙනවද අහන එක තමා මගේ පළමු ප්‍රශ්නය?
එක එක කාලෙට මට මගේම වෙච්ච ගීත තිබුණා. මේ වෙද්දී මම මගේම ගීතය කරගෙන ඉන්නෙ මා තුළ භාවමය කම්පනයක් ඇතිකළ ඉරේෂා හේමමාලි ලියූ රවී රොයිස්ටර් සංගීතවත් කරමින් ගැයූ පුරුදු පාෙරම අදත් යනවා කියන ගීතය.
මේ ගීතය ඔබට ගයන්න හිතුණු බව මම අහලා තියෙනවා?
ඔව්.. හමාර බණවර කියන කවිපොත දොරට වඩින උත්සවයේ නිවේදන කටයුතු කළේ මම. ඒ නිවේදන කටයුතු සඳහා අවශ්‍ය පරිසරය හදාගන්න ඉරේෂා මට ඒ කවිපොතේ කවි ටික කලින් එවලා තිබුණා. ඔය කවි ටික කියවාගෙන යද්දි මේ කවිය ළඟ මම නැවතුණා. ඒ කවිය මාව කම්පනයට පත් කරන බව මට දැනුණා. මම හිතුවා ඒ කවිපොත එළිදැක්වුවාට පස්සේ මේ කවිය ගීතයක් සේ ගයන්න මම ඉරේෂාගෙන් ඉල්ලා ගන්නවා කියලා. හැබැයි පොත එළිදැක්වීමට අදාළ වැඩසටහන බලද්දි මේ ගීතය එදා රවී රොයිස්ටර් ගයන බව මම දැනගත්තා.
කෙනෙක් ගීතයක තනුවට, නැත්නම් භාවමය කටහඬට, නැත්නම් ගී සංකල්පනාවට ආදරය කරන්න පුළුවන්. ඔබ මේ ගීතය රසවිඳින්නෙ කොතනින්ද කියලා මම ඇහුවොත්?
කවියක සාහිත්‍ය කෘතියක වචන හා අර්ථ සමඟ අපිට රසවින්දනය හොයන්න පුළුවන්. මේ ගීතය මට පළමුව කියවන්න ලැබුණේ කවිපොතක කවියක් විදිහට. කාව්‍ය සාහිත්‍යයේ තියෙන මූලිකාංග එක්ක තමයි මුලින්ම මම මෙය රසවින්දේ. මෙහි අපූර්වත්වය, සංකේත භාවිතය, හැඟීම් අවුස්සන්න පුළුවන් තියුණු හැකියාව ගැන හිතලා ඒ කවියේ අර්ථ රසය මුල්කරගෙන මේ කවිය මම මුලින්ම වින්දා. ඒ කවිය ගීතයක් වුණාට පස්සේ එය වචනවලින්, සංගීතයෙන් හා ගායකයාගේ කටහඬ කියන ත්‍රිත්වය එකිනෙකින් වියුක්ත කරන්න බැරි තරම් වචනයේ පරිසමාප්ත අරුතින්ම සුසංයෝගයක් වුණා කියලා මට හිතෙනවා.
මේ ගීතය අහපු පළමු වතාවේ මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඔයාගේ හිතෙත් ඒ තරම් තියුණු සංවේදීත්වයක් මේ ගීතය ඇති කළාද?
මේ ගීතය හරියට නාට්‍යයක් වගේ මට දැනුණේ. මේ ගීතය පටන්ගන්න තැනදි මොකක්ද වෙන්නෙ කියලා අපි දන්නෙ නෑ. පුරුදු පාරෙම අදත් යනවා. ඒත් වෙන ගමනක් පුතේ කියද්දීම වෙන ගමනක් කියන එක තුළ මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සනවා මොකද්ද මේ ගමන කියලා. ඒක තේරුම් ගන්න උත්සාහ කරද්දි ඊළඟට හුඟාක් අය මගේ පස්සෙන් එනවා කියද්දි දැනෙනවා මේ යන්නෙ යළි නොඑන ගමන කියලා. කවමදාවත් මගේ බර උඹ කරේ තිබ්බේ නෑ පුතේ.. හුඟාක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ... ඒ තමා හැබෑ අම්මලා තාත්තලාගේ හැටි. වාවාගෙන හිටියත් ඇයගේ හිතේ දුක් ගින්දර ජීවිතේ බර තමන්ගේ පැටවුන්ට දෙන්නෙ නෑ කොයිම වෙලාවකවත්. කන්ද පාමුල සොහොන හුරු නෑ දන්නවා මං මයෙ පුතේ.... මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට උදේ ජීවිතයේ යථාර්ථය අඳුරාගත්ත තාත්තා කෙනෙක් මේ. සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ... ස්වභාවධර්මයයි මනුෂ්‍ය ජීවිතයයි එකට එක්කළ අවස්ථාවක් යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ කියද්දි තමා මේ ගීතය නාට්‍යයක් නම් ඒ නාට්‍යයේ උච්චතම අවස්ථාව, පිපිරීම තියෙන්නේ.. මේ ගීතයේ සමස්තය ඇතුළේ හිටිය රත්තරන් තාත්තා එළියට එන තැන තමා මෙතන. ඒ තාත්තා හදවතට දැනෙද්දි, තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ජීවිතයේ සෙවණැල්ලක් වගේ හිටපු දරුවෙකුට කවදාවත් ඇස්වලින් කඳුළක්නම් නොවැටෙන්න හේතුවක් නෑ. යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ කියන තැන තමා නාඩිය තියෙන්නේ... හිතට වදින ගැඹුරුම තැන එතන.
ගීතයක එක පද පේළියකට වුණත් පුළුවන් මිනිසුන්ගේ සියුම් නහරවැල් පවා කම්පනය කරන්න.. එහෙමද?
පපුව ඇතුළෙ තෙතමනයක් හදන දෑස් තෙත් කරන රෝම කූප ඍජු කරන්න තරම් ශක්තියක් වචන කීපයකට තියෙනවද කියලා පෙන්වන්න හොඳම සංනිදර්ශනයක් තමා යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ කියන වචන ටික. මේ වචන ටික මනෝ විශ්ලේෂණවාදීව හිතන්න පුළුවන් වචන ටිකක්. සිග්මන් ෆ්‍රොයිඩ් කියනවා වගේ මේ උඩු හිතයි යටි හිතයි අතර තියෙන තියෙන ප්‍රශ්නයක්. හුඟක් දරුවන්ගේ යටි හිත අවදි වෙන්නේ හුඟාක් දේවල් අහිමි වුණාට පස්සේ. හිත ඇතුළේ තාත්තා වෙනුවෙන් තිබූ මහා විසල් බලගතු ආදරය දැනෙන තැනක් එහෙම මොහොතක එන්න පුළුවන්.
මේ ගීතය ගැන මේ ගීතය ලියූ ඇය සමඟ ඔබ කතා කර තිබෙනවාද?
ඔව්.. ඇය මේ ගීතයට හරි ගැඹුරු අර්ථකථනයක් දෙනවා. හුදු සංසිද්ධියක් අතික්‍රමණය කළ මහා අර්ථයක් මේ ගීතය පතුලේ නිදන් වී තියෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මළගිය ඇත්තෝ පොතේ ලීවා වගේ ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න පුළුවන්... යෑම හොඳය. ගොස් ඊමද හොඳය නොගොසින් යළි එන්නට බැරිය. ලොව ඇත්තේ යාම් ඊම් පමණි. ජීවිතයේ අනියත බව හා යථාර්ථය පිළිබඳව වචන කීපයකින් ලබාදෙන ඉගැන්වීමක් මේ ගීතය විනිවිද ඇය කියවන බව මම ඇයට කීවා.. ඒ වගේම මේ පවුල කොච්චර ආදරයෙන් රැකගත්ත තාත්තා කෙනෙක්ද මේ ගීතය ඇතුළේ ඉන්නෙ. මෙච්චර කල් අම්මගේ බෙහෙත් ටික අරගෙන දෙන බරවත් මේ තාත්තා පුතාට දීලා නෑ. අම්මව පුදුම විදිහට පරිස්සම් කළ තාත්තා කෙනෙක් මේ. අම්මාව ආදරයෙන් රුකබලා ගත් හිතුවිල්ලෙන් නේද මේ තාත්තා කියන්නේ පුතේ මතක ඇතුව අම්මට බෙහෙත් ටික අරගෙන දීපන්.. අම්මව රැකගනින් කියලා. ඒ ස්නේහය මනුෂ්‍යත්වය, පීතෘත්තවය දනවන ඇගේ කවීත්වය, වාග් චිත්‍රණය මහා පුදුමාකාරයි.
ඔබ ප්‍රසංගවල ගී ගයනවා. මේ ගීතය ඔබට ගයන්න පුළුවන්ද කෙනෙක් ඉල්ලීමක් කළොත්?
කොච්චර පුහුණු වුණත් මට රවී වගේනම් ලස්සනට මේ ගීතය ගයන්න පුළුවන් වෙයි කියලා මම ජීවිතේට හිතන්නෙ නෑ. හැබැයි පුදුම පෙරේතකමක් තියෙන්නේ මට මේ ගීතය ගයන්න.
මේ කවිය කියවපු ගමන් ඔබ දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
මේ ගීතයේ වචන ටික දැකපු දවසෙම මම පුළුවන් තරම් ඉක්මනට මගේ අප්පච්චිට දුරකථන ඇමතුමක් ගත්තා. අප්පච්චිගේ දුක සැප ඇහුවා. අප්පච්චි මගෙන් ඇහුවා ඇයි පුතේ උඹට මොකක් හරි කරදරයක්ද? උඹ හොඳින්ද මගෙ දෙයියෝ කියලා. අප්පච්චි මගෙන් අහද්දි මම කීවා ඔව් අප්පච්චි හොඳින්ද අහන්න මම කතා කළේ කියලා.
මේ ගීතය ගැන ඔබ ඔබේ ආදරණීය බිරිඳ එක්ක කතා කරලා තියෙනවද?
ඇය හරිම සංවේදී කෙනෙක්. අපි දෙන්නම ඇස්වල කඳුළු පෙරාගෙන මේ ගීතය අහනවා. මම රසවින්දන වැඩසටහන්වලදී මේ ගීතය ගයනවා. ඒ ගයද්දි අඬන්නෙ නැති කෙනෙක් නෑ. මේ කඳුළුවලින් එළියට එන්නේ අපේ අම්මා තාත්තා එකතුවෙලා අපට දුන්න මනුස්සකම. අපේ ජීවිත දරාගන්න අපට උරුම මෙවලමක් තමා කඳුළ කියන්නේ.
ඇය සමඟ හැරෙන්න හුඟාක් ළඟ ළෙන්ගතු තව කෙනෙක් එක්ක ඔබ කතා කර නැද්ද?
මේ ගීතය ගැන මම කතා නොකරපු කෙනෙක් නෑ.
හැබැයි මේ වගේ ගීතයක් ඇහෙද්දි ඇහැට කඳුළක් නොඑන අසංවේදී පරපුරකුත් අද්‍යතනයේ අපි දකිනවා. ඒක නෙවෙයිද යථාර්ථය?
ගීත රසවින්දනයට දරුවන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවනම්, එහෙම රසවිඳින්න ගීත ලැබිලා තියෙනවනම්, රසවිඳින්න ආභාෂයක් ලැබිලා තියෙනවනම්, දරුවෝ මේ ගීත රසවිඳිනවා. එහෙම නැති අයටත් මෙවැනි ගී ගැන කියලා දුන්නම ඒ අයට සුභාවිත ගීත කලාව ගැන දැනෙන්න ගන්නවා. මම මේ කියන්නේ රසවින්දන වැඩසටහන් දෙසීයක විතර අත්දැකීමෙන්. ඇත්තටම මේ රස ග්‍රහණය කර නොගන්න පරපුරක් අද ඉන්නවා. ශබ්ද රසයට මුල්තැනක් දෙන පරපුරක් අද ඉන්නෙ. මෙය දරුවන්ගේ වරදක් නෙවෙයි. සමාජ ක්‍රමයේ වැරුද්දක්. විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයට වගකීමක් තියෙනවා දරුවන්ගේ රසවින්දනය මොට නොකරන්න. කලා ක්ෂේත්‍රයට එන අයට යුතුකමක් තියෙනවා මුදලටම නොවිකිණී මනුෂ්‍යත්වයෙන් මානවවාදී හැඟීමකින් සමාජය හා සොඳුරු ගනුදෙනුවක් කරන්න. ඔබ ඉතා කාර්යබහුල රජයේ වෛද්‍යවරයෙක් විදිහටත් කඩවත රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා විදිහටත් තවත් රුපියල් බර ගණනක් හොයන්න තියෙන වෙලාව රසවින්දනය ගැන කතා කරන්න, කලාව ගැන කතා කරන්න, ගීත, ග්‍රන්ථ හා රසවින්දන වැඩමුළු කරන්න වැය කරන්නෙ ඇයි? ඔබ එවන් වටිනා මෙහෙවරක වෛද්‍යවරයෙක් ලෙස යෙදෙනවනම් අපි කලාකරුවෝ ලෙස ඊට වඩා ප්‍රබල මෙහෙවරකට අවතීර්ණ විය යුතුයි කියලා මම හිතනවා. එය අපේ වගකීමක්. නිෂ්පාදන ආර්ථිකය පමණක් ගැන කතා කරන දේශපාලකයන් හා වගකිවයුත්තන් කලාව ගැනත් කතා කළ යුතුයි. අතේ සල්ලි විතරක් තියෙන මී හරක් ළඟ සල්ලි තිබුණට වැඩක් නෑ. මනුෂ්‍යත්වය දන්න මිනිස්සු ළඟ සල්ලි තිබුණානම් මනුෂ්‍යත්වය වපුරයි. චින්තනමය අතින් දුප්පත් භෞතික අතින් පොහොසත් මිනිස්සුන්ගෙන් විතරක් සුන්දර ලෝකයක් ගොඩනගන්න බෑ.