2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රෑ එකොළහටත් ඒ කාලේ මම ඉස්කෝලේ

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

චානු.... යූ ටර්න් චිත්‍රපටයට මුලින්ම ආරාධනා ලැබුවේ කොහොමද?
මට මේ චිත්‍රපටයට මුලින්ම ආරාධනාව ලැබුණේ මම සේවය කරන මහරාජා ආයතනයෙන්. මේ චිත්‍රපටයේ රවීනා කියන චරිතය මාධ්‍යවේදිනියක් විදිහට තමයි රඟපාන්නේ. ඉතින් ඒ අයට ඒ චරිතයට සැබෑ මාධ්‍යවේදිනියක් යොදාගෙන චරිතය කරන්න ඕනෑකම තිබුණා. 

ඒ නිසා ඒ වෙනස ඇති කරන්න ඒ අය මට මේ චරිතය ලබලා දෙන්න තීරණය කළා. මම පුංචි කාලේ ඉඳන්ම රංගනයට හරි කැමති කෙනෙක්. පසුකාලීනව පාසැල් කාලයේදීත්, විශ්වවිද්‍යාල කාලයේදීත් මම රංගනයට ආසා කළා. ඒ දේ මගේ සේවා ආයතනය පවා දැනගෙන හිටියා. ඒ නිසා ඒ ආසාව ඉටුකරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න කියලා තමයි මහරාජා ආයතනය මට මේ අවස්ථාව ලබලා දුන්නේ.

පුංචි කාලේ චානු මොනවගේ චරිතයක්ද?
පුංචි කාලේ මම ගොඩක් හිතුවක්කාර චරිතයක්. මම හැමදේම කරන්න කැමති, හැමදේටම යන චරිතයක්. ඉස්කෝලේ කාලේදී කිසිම දේකට මම බැහැ කියලා නැහැ... ක්‍රීඩා, නැටුම්, සංගීතය, නාට්‍ය හැමදේම මම කළා. මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකාවේ. මම කවදාවත් පන්තියක හිටපු ළමයෙක් නෙමෙයි. ඒක ඉස්කෝලේ ගුරුවරු පවා දැනගෙන හිටියා. මුළු වසරේදීම මම පන්තියෙන් එළියේ තමයි හිටියේ. උසස් පෙළ පන්තියට එනතුරුම මම අධ්‍යාපනයට මූලික තැනක් දීපු ළමයෙක් නෙමේ. විශ්වවිද්‍යාලයේදීත් මම ලෙක්චර්වල හිටපු ළමයෙක් නෙමෙයි. මම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ඉගෙන ගත්තේ.

පවුලේ එකම දරුවා වුණු චානු පාසැල් අධ්‍යාපනයට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට මුල්තැන දෙද්දී ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
මම පවුලේ එකම දරුවා. මගේ අම්මා ගුරුවරියක්. මගේ දක්ෂතාවය මොන පැත්තකද තියෙන්නේ කියලා අම්මා තාත්තාත් දැනගෙන ඉන්න ඇති. මගේ ගමනේ කිසිම දෙයකට මගේ අම්මයි තාත්තයි අවහිර කළේ නැහැ. සමහර දවස්වල මම රෑ දහය එකොළහ වෙනතුරැ ඉස්කෝලේ හිටියේ. මගේ තාත්තා පුටුවක් තියාගෙන ඉස්කෝලෙට වෙලා මම එනතුරු බලාගෙන හිටියා. මම පවුලේ එකම දරුවා නිසා ඒ දෙන්නට ආරක්ෂා කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ. මට කිසිම දෙයක් කරන්න එපා කියලා කිව්වේ නැහැ. විශ්වවිද්‍යාලයට ආවට පස්සෙත් ඔයා යන්න ඕනේ ගමන ගැන දන්නවා ඒ ගමන ඔයා යන්න කියලා මාව විශ්වාස කළා. දැන් අවුරුදු අටක් නවයක් තිස්සේ මම කොළඹ තනියම ඉඳගෙන හැමදේම තනියම කරගන්නවා. අම්මගෙයි තාත්තගෙයි අවවාද සහ ආශීර්වාදය මට හැමවෙලාවෙම ලැබෙනවා.

පුංචි කාලෙ හීන දැක්කේ කවුරු වෙන්නද...?
පුංචි කාලේම මම හීන දැක්කේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්නයි. පාසැල් කාලේදී මම නර්තන කණ්ඩායමේ හිටියා. කොළඹට ආවට පස්සේ රවිබන්දු විද්‍යාපති ගුරුතුමා යටතේ ඉගෙන ගෙන රාජ්‍ය සංස්කෘතික අමාත්‍යංශ කණ්ඩායම වෙනුවෙන් නර්තනය කළා. බොහෝ රටවල්වල ගියා. විශ්ව විද්‍යාලයේදීත් මම නර්තනය කළා. නමුත් ඔය අතරේ විශ්වවිද්‍යාලයේදීත් මම නිවේදන කටයුතුත් කළා. රංගන කටයුතුත් කළා.

පළමු චිත්‍රපට රංගනය නුහුරු වෙන්න ඇති නේද?
ඔව්. මේ රංගනයට කතා කරද්දී මුලදී මට ලොකු බයක් හිතුණා... යූ ටර්න් කණ්ඩායම අති විශිෂ්ට කණ්ඩායමක්. චන්න දේශප්‍රිය කියන්නේ අති දක්ෂ නිර්මාණකරුවෙක්. ඒ මුළු කණ්ඩායමම එහෙමයි. ඒ වගේම රංගන ශිල්පි ශිල්පිනියන් ගත්තත් ලංකාවේ ඉතා දක්ෂ රංගන කණ්ඩායමක් එක්ක තමයි මම රංගනය කරන්න තිබුණේ. මට තිබුණ එකම වාසිය වුණේ මම කැමරාවට බය නැතිවීමම තමයි. කැමරාව මට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. එහාට මෙහාට කැමරාව දෝලනය වෙද්දී මම ඒ කැමරාවට සූදානම්ව හිටපු කෙනෙක්. හැබැයි සිනමා රංගනය කියන දේ එක සැරේම කරන්න පුළුවන් දෙයක් නෙමේ. හැබැයි සිනමා රංගන ශිල්පිනියක් වෙන්නේ කොහොමද කියලා මට බයක් තිබුණා. ඒ බය නැති කරන්න චන්න අයියා ඇතුළු මුළු කණ්ඩායමම මට උදව් කළා.

රූගත කිරීම් කරද්දී අමතක නොවන සිදුවීම් වුණේ නැද්ද?
මේක මගේ පළමු සිනමා නිර්මාණය නිසා මුළු චිත්‍රපටයම රෑගත කිරීම් මට අමතක කරන්න බැහැ. මේක ත්‍රාසය, භීතිය එක්ක ගෙතුණු කතාවක්. වැඩිපුරම රූගත කිරීම් කළේ රාත්‍රී කාලයේදීයි. ඒ වගේම වැඩිපුරම වැස්සේ තමයි රූගත කිරීම් කරන්න තිබුණේ. ඒ නිසා හැමවෙලේම අපි තෙමි තෙමියි හිටියේ. ඒක කෘත්‍රිම වැස්සක් නිසා ඒ වතුර පහර පාලනය කරගන්න හරි අමාරුයි. එළිවෙනතුරු මුළු කණ්ඩායමම දින කිහිපයක් හොඳටම තෙමුණා. ඒක අපිට කවදාවත් අමතක කරන්න බැහැ.

රූගත කිරීම් කරන්නට පෙර චානුට බයිසිකල් පදින්න හැකියාවක් තිබුණද?
නැහැ. ඊට කලින් නම් මට බයික් පදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ චිත්‍රපටයට තමයි මම බයිසිකල් පදින්න පුරුදු වුණේ. මගේ තාත්තා තමයි මට රෑ දහය එකොළහ වෙනතුරු බයිසිකල් පදින්න පුරුදු කළේ. ඒකත් මට අමතක කරන්න බැහැ.

මුලින් යූ ටර්න් චිත්‍රපටය දකිද්දී මොකද හිතුණේ?
මම හිතන විදිහට මං තමයි වැඩිපුරම බයවෙලා චිත්‍රපටය බලපු කෙනා. ඇත්තටම චිත්‍රපටයේ මට පෙනුණේ මගේ අඩුපාඩුයි. බලපු අය නම් නවක නිළියක් හැටියට මම හොඳටම රඟපාලා තියෙනවා කියලා කිව්වා. මගේ හදාගන්න බොහෝ අඩුපාඩු තියෙනවා. සිනමා රංගනය කියන්නේ හරිම සියුම් දෙයක්. ලොකු තිරයකයි අපට පේන්නේ. වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණ ගැම්ම මට තිබුණට සිනමා රංගනය කියන්නේ ඊට වඩා හැඟීම් නිරූපණය කරන රංගනයක් කියලා මට හිතෙනවා. බොහෝ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මට කතා කරලා තව පුතා ඔයා ඉගෙන ගන්න ඕනේ. හැබැයි බලාපොරොත්තු නොවුණ රංගනයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මාව දිරිමත් කරලා ඒ අය මගේ බය නැති කළා.

අද වෙනකොට චානු පෙම්වතියක්ද?
ඒ සම්බන්ධව ළඟදීම අලුත් ආරංචියක් ලැබේවි.

 

► Text - Dishani   /  Pic – Internet