2023 මාර්තු 19 වන ඉරිදා

කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 94

එක මොහොතක් අනන්තයක්! 

ඔව් ඔබේ හඬ නෑසෙන, ඔබ නොදකින, ඒත් ඔබ සිහිපත් වෙන, ඔබ නැතුව ඔබ එක්කම මා නිබඳ සරණ එක මොහොතක් මට අනන්තයක්! 

ආදරය කියන්නේ ආදරය.. ප්‍රේමය කියන්නේ ප්‍රේමය.. කොහේ කොතැනකදි කා වෙනුවෙන් දැනුණත් ආදරය කියන්නේ ආදරය... ප්‍රේමය කියන්නේ ප්‍රේමය... ඉන් එහා නිර්වචන නෑ මැණික...

බොහෝ විට බොහෝ තැන්වලදි මට මාව අමතක වුණා... මට මාව මඟහැරුණා... වචනයෙන් නොකීවත්, වචනයෙන් නොලීවත්, හැම තැනකම රුඳුණේ, හැම තැනකදිම ලියැවුණේ ප්‍රේමය.. ඔයාට දැනුණත් නොදැනුණත් වචනවල විතරක් නෙවෙයි මැණික ප්‍රේමය තැවරුණේ.. රිදුණම නැගුණ බැණුමක තිබුණෙත් මොකක්දෝ විදිහක ප්‍රේමයක්ම තමයි... දින පොතේ දවසින් දවස ලියපු කවි පද අතරේ කොම්බුවක්, ඉස්පිල්ලමක්, ඇලපිල්ලමක්, හල්කිරීමක්, කාව්‍යයෝක්තියක්, ව්‍යාකරණයක් ගාණේ තැවරිලා තිබුණේම ප්‍රේමය... 

අනේ මැණික කල්පයක් සේ හැඟෙන කාලයකට පස්සේ, අනන්තයක් සේ දැනෙන විරාමයකට පස්සේ ආදරය ඇබින්දක් නළල මැද්දේ මම තවරන මොට්ටුවක් තරම් බිඳක් ගල්වලා නිවන්න පුළුවන්ද බං ගෑනියෙක්ගේ ආදරයේ ගින්දර... මොකටද මට කවියක ගීයක මිහිරක් නුඹ හෙමින් හෙමින් සවන් පත් පතුලටම වත්කරන්න හදන... එක් රුයක්.. ඔව් මැණික, එක් රුයක් ආදරයේ පිනි බිංඳුව බිංඳුව ගාණේ වත්කරමින් ආත්මීය දාහයට කියාගන්න බැරුව ලතැවෙන දුක අහන්න පුළුවන් නම්...

කොවුලෙක් මොටද
මට මිහිරිම ගී ගයනා
උලලේනෙක් වෙයන් 
ඉඳහිට දුක අහනා...

මම දන්නවා මැණික කවදා හරි දවසක් නොවැරදීම එනවා අපි මඟින් හැරී යා යුතු... අපිට අපි තෝරාගත්ත ගමන් මඟක් ඇති වෙන වෙනම ගමනක් යන්න... අන්න එදාට පපුව මැදටම දැනෙන වේදනාව කොච්චර වුණත් සිදුවෙනවා සිනාසී සමු දෙන්න... හමුවුණා වගේම ආදරයෙන් සමු දෙන්න... ඒත් ඒ දවස එනකම් ඔයාට පුළුවන්නම් ආදරයට ආදරය කරන්න... මගේ හදගැස්මට ආදරය කරන්න... මම ඔයාට පිරිනමන ආදරය නෙවෙයි... මම ඔයාගෙන් ඉල්ලන ආදරයට ආදරය කරන්න... අපිට පුළුවන් වෙයි සමුගන්න දවසකත් ආදරයෙන් සමුගන්න... 

සිනාසී සමුගන්න... 
හඬමින් නොහඬමින් නික්මෙන්න...

ආදරය කියන්නෙ මැණික හිමිවීමට පෙම් කිරීම විතරක්ම නෙවෙයි. අහිමිවීම, මඟහැරීම, නොලැබීම, මේ හැමදේමත් ආදරය ඇතුළේ ආදරයෙන්ම විඳගැනීම...

ප්‍රේමයක් අවසානයේ ශේෂ කරන දුක මහ කන්දක් තරම් නම් ඒ කන්දක් තරම් දුක ඇති තරම් දරාගත්ත මගේ හදවතට, අසීමාන්තිකව වේදනාවන් ඉවසාගත්ත මගේ හදවතට නුඹේ ප්‍රේමය අවසානයේ ශේෂ කරන වේදනාවත් අරුමයක් නෙවෙයි. 

ඒත් ඒ දවස වෙනකම් ඔබ මට ඔබව දෙන්න
මට ඔබව මගේ තුරුල්ලට මුදා හරින්න

මගේ ඇඟිලිවලට හයියක් වෙන්න මගේ අත හයියෙන් අල්ලා ගන්න.

රුවලක් මොටද
සුළඟක් එනතුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරළට ගේනා

සංසාර වීදියෙන් වීදියට තැබූ පියවරක් පියවරක් පාසාම මතක මහ කන්දරාවක් ඇති, අමතක වෙච්ච අපි දෙන්නටම, ඒ මතක අස්සෙත් දුක සතුට හිමිවීම් අහිමිවීම්වල සුවඳ ඕනෑ තරම් විසිරිලා ඇති. සමහර විට ඉතුරු වෙච්ච පොරොන්දු වෙනුවෙන් වෙන්න ඇති මේ භවයේ මේ හමුවීමත්.

හැබැයි මම එක දෙයක් දන්නවා මැණික. මම ඔයාට දුන්නේ මෙපමණකැයි කියන්න බැරි තරම් ආදරයක්... ඒත් ආයෙත් සංසාරය පුරා ගැටගැහි ගැහී යන ආදරයක් වෙනුවෙන් අංශුමාත්‍රයකවත් ඉඩහසරක් නොතියාම අන්තිම පොරොන්දුවත් ඉටු කරපු දවසක අපි අපෙන් මඟහැරෙමු. අපි අපෙන් සමුගනිමු.

මේ අනන්ත සංසාර ගමනට ප්‍රාර්ථනාවක් වී නෑවිදින් ඉන්න මැණික...

නටුවක් මොටද
මට ළා සුළඟට සැලෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා 

නුඹෙන් නොලැබුණු කිසිම දෙයක් ගැන කිසිවක්ම නොකියා මම හැමදේම දරාගන්නම්...

සොබාදහම මලකට නටුවක් දුන්නේ, නටුවට කටුවක් දුන්නේ මලට තියෙන ආදරේට... නටුව මල දරාගනිද්දි මලක් මුර කළේ නටුව නෙවෙයි කටුව... නටුව කියන්නේ ආදරය... කටුව කියන්නේ රුකවරණය... ඒත් නටුවයි කටුවයි දෙකම අහිමි මලක් වෙලා පිපෙන්න වුණාම අසීමාන්තික හුදෙකලා ප්‍රේමයක් වෙනුවෙන් මොකටද මැණික තවත් සංසාර නැවතුමක්... 

ඒ හින්දා
මේ ඇති
මේ මොහොෙත් ඔබ ළඟින් නැවතී
ඔබේ පසෙකින් හිඳ
ඔබ නමින්
ප්‍රේමය විඳගන්න මට ඉඩ දෙන්න...

සංසාරයක් සැනසෙන්න, සංසාරයක් නිවෙන්න ඒ තත්ත්පරය මට ඇති...

පද රචනය - අරුණ ගුණවර්ධන
සංගීතය - සුජීව හෙට්ටිතන්ත්‍රී
ගැයුම - සමනලී ෆොන්සේකා

I සංජු