2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කකුල් දෙකේ ඉඳන් පපුවට එනකම් කූඩැල්ලෝ

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 193

සචින්.. මේ දවස්වල මොනවද විස්තර?

මේ දවස්වල අලුත් විස්තර කියන්නෙ පාර දිගේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ දෙකත් එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. 

සචින්.. ඔබ Travel කියන දේට කැමති කෙනෙක්ද?

මම පට්ට ආසා දෙයක් තමයි Travel කියන්නෙ. මට වෙලාවක් හම්බවුණොත් සෑම වෙලාවකම Travel කරන එක තමයි කරන්නෙ. හැබැයි මේ දවස්වල කොරෝනා ප්‍රශ්නත් එක්ක Travel කියන දේ කරන්න ටිකක් අමාරු වුණා. ඒත් මේ ප්‍රශ්න ඉවර වුණු ගමන් ඉස්සර වගේ Travel කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.

ඔබ කුඩා කාලේ සිට Travel කරන කෙනෙක්ද?

පොඩි කාලේ ඉඳන්ම Travel කියන දේ මම කළා. මොකද පොඩි කාලේ ඉඳන්ම රංගන කටයුතුවල නිරත වෙද්දි රෑගත කිරීම් කටයුතු සඳහා ලංකාවේ ගොඩක් තැන්වල Travel කරන්න පුළුවන් වුණා.  

ඔබ වැඩිපුර Travel කරන්න කැමති කාත් සමඟද?

ගොඩක් වෙලාවට ගෙදර කට්ටය එක්ක මම ට්‍රිප් එහෙම යනවා. හැබැයි මම වැඩිපුර කැමති මගේ හොඳම යාළුවොත් එක්ක Travel කරන්න. මම එහෙම කියන්නෙ පවුලේ කට්ටියත් එක්ක ගියොත් විනෝදය කියන දේ ටිකක් අඩුයි. හැබැයි මගේ යාළුවොත් එක්ක යන ගමන්වල අමුතුම දෙයක් තියෙනවා. ඒ නිසා මම වැඩිපුර කැමති මගේ හොඳම යාළුවෝ කිහිප දෙනත් සමඟ ඇවිදින්න යන්නයි. 

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්චම ගමන කුමක්ද?

මීට මාස හයකට විතර කලින් අපි ගියා සිංහරාජයේ. ඒ ගමනට මම ගොඩක් කැමතියි. 

ඇයි ඒ ගමනට ඔබ එච්චර කැමති?

ඒ Travel එක කළේ අපේ පල්ලියේ කට්ටියයි. පල්ලියේ කණ්ඩායම් කිහිපයක් එකතුවෙලා තමා ඒ ගමන ගියේ. අපි දවස් කිහිපයක්ම එහේ හිටියා. හොඳම දේ තමයි එක කණ්ඩායමක් එක දවසක් අනෙක් සියලුම කණ්ඩායම් බලාගන්න ඕනෙ. ඔය විදිහට එක එක කණ්ඩායම් එක එක දවස්වලට බෙදලයි තිබුණේ. ඒක අමුතුම අත්දැකීමක්. අනෙක් කාරණය තමයි සිංහරාජය වනාන්තරය ඇතුළේ දුරකථනවලට සිග්නල් කිසිවක් නෑ. මම හිතන විදිහට Travel එකක් කරනකොට දුරකථනයක් ළඟ නොමැතිව ඇවිදින එක තමයි වැදගත්ම කාරණාව වන්නේ. ඒ නිසා ඒ ගමනට මම පට්ට විදිහට කැමතියි. 

ඒ ගමනෙදි සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඔව්. ගොඩක් තියෙනවා. සිංහරාජයේ කූඩැල්ලෝ ගොඩක් ඉන්නවා. මම කූඩැල්ලන්ට මාර බයයි. අපි කන්දක් උඩට නැග්ගා. අපි එහෙම නගින බහිනකොට ඒ අවස්ථාවේ මට දැනුණා මගේ ඇඟම සීතල වෙනවා. ඊට පස්සෙ මොකද කියලා බැලුවා. බලනකොට මගේ ඇඟේ කූඩැල්ලෝ හත් දෙනෙක් හිටියා. මගේ කකුල් දෙකේ ඉඳන් පපුවට වෙනකම් ඒ කූඩැල්ලෝ ඇවිල්ලා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ. මොකද මම ගොඩක් බය සත්තු වර්ගයක් තමයි කූඩැල්ලො කියන්නෙ.

ඔබ දැනට කරපු විදෙස් සංචාරවලින් ඔබ කැමතිම සංචාරය කුමක්ද?

දැනට මම රටවල් හතර පහකම සංචාරය කරලා තියෙන්නෙ. නමුත් 2010 වසරේ තරගයකින් මම ලෝකයෙන්ම දෙවැනි හොඳම ළමා නළුවා වුණා. ඒ සම්මාන උළෙල තිබුණේ ස්පාඤ්ඤයේ. ඉතින් මට ඒ රටටත් යන්න අවස්ථාව ලැබුණා. මම දැනට දැකපු හොඳම සහ ලස්සනම රට තමයි ස්පාඤ්ඤ කියන්නෙ. ඒ නිසා මම ඒ සංචාරයට ගොඩක් කැමතියි. නමුත් මම ඉදිරියේදි තවත් රටවල්වල සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. 

සචින්.. ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?

ජීවිතය විඳවන්නෙ නැතුව විඳින්න සහ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න හොඳම දේ තමයි Travel කියන්නෙ. 

ඔබ කවදාවත් නොගියපු හැබැයි යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?

මම තවම සිරීපාදේ ගිහිල්ලා නැහැ. කොහොම හරි රටේ කොරෝනා ප්‍රශ්න ඉවර වුණාම සිරීපාදේ යන්න ආසාවෙන් තමයි ඉන්නෙ. 

ඔබ වගේ Travel කරන සහ කරන්න ඉන්න අයට මොනවගේ පණිවිඩයක්ද ඔබ දෙන්නෙ?

Travel කරනවා කියන්නෙ හරිම සුන්දර දෙයක්. අපේ රට ඇතුළේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා මම කියන්නෙ විවේකයක් ඇති සෑම මොහොතකම Travel එකක් කරන්න. ඒ වගේම අපි කරන Travel එක පරිස්සමට සහ පරිසරයට ආදරය ඇති කෙනෙක් විදිහට කරන්න කියලයි මම කියන්නෙ.