- වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
සෞඛ්‍ය අධ්‍යාපන කෘති රැසක් ලියූ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත නවතම කෘතිය රට කට හා හෙට ග්‍රන්ථය සුරස ප්‍රකාශනයක් ලෙස දොරට වැඩීම පෙබරවාරි 20දා සවස 3.00ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේදී සිදුවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මුලසුන හොබවන මේ අවස්ථාවට පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමි සහ හෑගොඩ විපස්සි හිමි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහභාගී වීමට නියමිතය.
ඔබේ නවතම කෘතිය ගැන විස්තර කළොත්?
මගේ අලුත්ම කෘතිය වන “රට කට හා හෙට” කෘතියෙන් විස්තර වන්නේ රටේ කාලීනව කතා කළ යුතු මාතෘකා කීපයක්. රට කිව්වම සෞඛ්‍යය පමණක් නොවෙයි. වෙනත් දේශපාලන කාරණාත් මෙහි කතා කරනවා. දේශපාලනයේදී වියයුතු හා නොවිය යුතු දේ ගැනත් මැදහත්ව සාකච්ඡා කරනවා.
දේශපාලනය සාහිත්‍යයට අප්‍රසන්න මාතෘකාවක් නේද?
ඔව්. සීමානිර්ණ නොවේ, මොකක් ආවත් මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් වේවි කියලා හිතන්නවත් බැහැ.
සෞඛ්‍ය අධ්‍යාපනය ගැන ජනතාව දැනුම්වත් කිරීමට කෘති රචනා කළ ඔබ හිටිගමන් දේශපාලන විචාරයට එන්නේ ඇයි?
මම කලින් කරපු සමහර පොත්වලත් දේශපාලනය තරමක් කතා කළා. නමුත් මේ පොතේදී ඊට වඩා ගැඹුරට ගිහින් දේශපාලන කරුණු විග්‍රහ කරනවා. අද රටේ කතා කරන්නේ සහ කතා කරන්න ඉඩ තිබෙන්නේ දේශපාලනඥයන්ට පමණයි. අපි වගේ මැදහත්ව කතා කරන්න ඉදිරිපත් වන අයට ඇති ඉඩ ඇහිරිලා යන බවත් දැනුණා. ඒ නිසයි, මේ පොත ඉක්මන් කළේ.
දේශපාලනය ගැන කතා නොකරම බැරිවුණාද?
ඔව්. අපේ රටේ දේශපාලනඥයන්ගේ කතාව විතරයි. ක්‍රියාව නැහැ කියලා අපට හොඳටම දැනිලනේ තියෙන්නේ. “කටට නොහැකි රට හැදීම” කියලා මෙහි පරිච්ඡේදයක් තිබෙනවා. “රට කට හා හෙට” කියන නමත් පොතට යෙදුවේ ඒ නිසයි.
පොදු ජනතාව අතර මතයක් තිබෙනවා වෛද්‍යවරුන්ගේ යහපත් සමාජය ගැන අදහස්ද කටින් බතල කොළ සිටුවීමක් පමණක් බව. ඔවුන් ඉල්ලීම් දිනාගැනීමට පෞද්ගලිකව තම වෘත්තීය මුලට යොදා රෝගී ජනතාව අමතක කරන බවට මතයක් පැතිර ගිහින්?
මමත් වෛද්‍ය වෘත්තීය සමිතිවල හිටියා. භීෂණ සමයේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෙලා හිටියා. ඒ කාලේ මරණ තර්ජනවලට ලක්වුණා. මොන ප්‍රශ්නයට වුණත් වෛද්‍යවරැ වර්ජනය නොකළ යුතු බවටයි මගේ හැඟීම වුණේ. දුප්පත් මිනිහා මේ වර්ජනවලට විරුද්ධයි. වර්ජනවලින් ඔවුන් තුළ වෛද්‍යවරු කෙරෙහි අනවශ්‍ය වෛරයක් ගොඩනැඟෙනවා. එවිට ඒ ප්‍රශ්නය තවත් පිරිසකට වෙනත් පැත්තකට හරවන්න පුළුවන්.
ඔබත් මේ පොතේ විරෝධතා ගැන කතා කරනවා?
ඔව්. විරෝධතාවය අට්ටාලගත වීම කියන ලිපියෙන් ඒ ගැන කතා කරනවා. අද විරෝධතාවය කියලා වැඩි දෙනෙක් කරන්නේ විරෝධතාවය පවත්වන අය පවා අපහසුතාවයට පත්වන දේවල්. මහාමාර්ග වැසෙනවා. පොදු ජනතාව තමයි එවිට දුකට පත්වෙන්නේ.
වෛද්‍ය ශිෂ්‍යයන් මේ වනවිටත් අට්ටාල මත විරෝධතාව දක්වනවා නේද?
අවුරුද්දකට වැඩි කාලයක් ඔවුන් අට්ටාල මත. මම වැඩිහිටියෙක් විදිහට ඔවුන් සමඟ මේ ගැන කතා කරනවා. ඔවුන් පවා එය වැරදි බව පිළිගන්නවා. දැන් අට්ටාලයෙන් බහින්න බැරුවයි ඉන්නේ.
මෙවැනි පොතක් පළ කිරීමෙන් රට හැදේවි කියලා ඔබ හිතනවාද?
ටිකක් අමාරුයි හිතන්න. පොත්වලින්, මුද්‍රිත මාධ්‍යවලින්, විද්‍යුත් මාධ්‍යවලින් අප කතා කරනවා. යම් කෙනෙක් මේවා හිතට ගන්නවා නම් හැදෙන්න පුළුවන්.
ඔබේ පොතට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?
යම් යම් අය අතර කතාබහක් තිබෙනවා. කියවූ අයගේ ප්‍රතිචාර හොඳයි.
මෙවැනි විචාරාත්මක කෘතිවලට බටහිර දියුණු යැයි සම්මත රටවල ලැබෙන ප්‍රතිචාර කෙසේද?
ඇත්තටම ඒ රටවල මෙවැනි කෘතිවලට වඩාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් ගමනක් බිමනක් යන විටත් පොතක් අතේ තබාගෙන යන්නේ එය කියවමින්. මිනිසුන් වටපිට බලමින් යන්නේ නෑ. ටැබ් එක ඔස්සේ පවා ඊ පොත් කියවනවා.
දැන් උසස් පෙළ පාසල් ළමුන්ට ටැබ්ලට් දුන්නාම ඊ පොත් කියවාවිද?
නැහැ. අපි එන්නේ වැරදි තැනට. මේ ළමයින්ට සාහිත්‍ය ගැන, රසවින්දනය ගැන උගන්වන්න කෙනෙක් අද ඉන්නවද?ටැබ් එක දෙනවට වැඩිය හොඳ සාහිත්‍ය ගුරුවරු පුහුණු කරගන්න අපට පුළුවන්නේ. ටැබ් එකෙන් මේ ළමයි මොනවා බලාවිද දන්නෙ නැහැ.
♦ කුසුම්