2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

කිරළ කැලේ මකර කටේ

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 961

 

සෑම වර්ෂයකම පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් දිනය ලංකාවේද ජයටම සමරයි. එහෙත් ලංකාවේ රැකගත යුතු බොහෝ තෙත්බිම් නම් දිනෙන් දින අභාවයට යන බවය. දසතින්ම ආරංචි වන්නේ. මාතර කිරළ කැලේ තෙත්බිමටද ඒ ඉරණමෙන් මිදීමට වාසනාව ලැබී නැත. කඩොලාන ශාකයක් වන කිරළ ගස් බහුලව පැතිරීම නිසා කිරළ කැලේ නම් ලද මෙම තෙත් බිම දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැර තිබිම නිසා අද වනවිට හංසගීතය ගැයීමට සූදානම්ව සිටී.

මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර තිබෙන කිරළ කැලේ තෙත් වගුරු හෙක්ටයාර් 530ක්ද සමග හෙක්ටයාර් 1800ක පමණ ප්‍රදේශයක පැතිර පවතී. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම අසලින් දකුණට ඇති අඩි පාර වැටී ඇත්තේ කිරළ කැලේටය. මාතර සිට ඒ වෙත දුර කි.මී. 3කි. කිරළ කැලේ නමින් දක්ෂිණ අධිවේගි ප්‍රවේශය අසල පුවරුවක්ද සවිකර ඇත. දක්ෂිණ අධිවේගයේ බෙලිඅත්ත දක්වා කොටස කිරළ කැලේ හරහා ඉදිකිරීමට මුලින්ම සැලසුම් කර තිබුණත් පරිසරවේදීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා එය වෙනස් කෙරිණි.

පසුගිය දිනවල කිරළ කැලේට පක්ෂිවේදීන්ගේ අවධානය යොමු වූයේ මෙවර පක්ෂි පර්යටනික සමයේදී එහි ගොඩ වැදුණු විදේශීය දුලභ පක්ෂීන් විශේෂ නිසාය. ඒ එක් පක්ෂියෙක් නම් Baillon’s Crake (මිටි විල් කෙරැලියා)ය. කලාතුරකින් දක්නට ලැබෙන මෙම පර්යටනික පක්ෂියාගේ සත්ත්ව විද්‍යාත්මක නාමය Porgana Pusilla ය. අළු සහ කහ පැහැයෙන් යුත් ඌ දිගින් සෙ.මී. 19කි. පහතරට තෙත් කලාපයෙන් කලාතුරකින් වාර්තාවේ. මිටි විල් කෙරැලියාගේ නිජබිම නැගෙනහිර යුරෝපය සහ ආසියාවයි. ඌ බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල නේවාසිකයෙකි. එම රටවලට ශීත සෘතුව ලබන විට මේ පක්ෂියා උණුසුම සොයාගෙන කි.මී. දහස් ගණනක් පියාසර කරයි. ඒ ඉන්දියාව සහ ලංකාවද ඇතුළු දක්ෂිණ ආසියාවට සහ නැගෙනහිර අප්‍රිකාවටය. ඔබ සැප්තැම්බර් අප්‍රේල් දක්වා කාලයේ කිරළ කැලේ සංචාරය කළොත් යුරෝපයෙන් පැමිණි මේ පක්ෂියාද සමහරවිට දැකගැනීමට වාසනාවන්ත වනු ඇත.

මෙවර උන් රංචුවක්ම කිරළ කැලේ සමහර ස්ථානවලදී නිරීක්ෂණය වී තිබේ. එම පක්ෂියාට අමතරව රතු දුඹුරු ටුටුර කොබෙයියා (Turtte Dove) ද කිරළ කැලෙන් මෙවර වාර්තා විය. මෙම කොබෙයියාගේ නිජබිම අප්‍රිකාව වුවත් නිවර්තන සහ දකුණු ආසියාවෙන්ද වාර්තා වේ. දිගින් සෙ.මි. 33කි. අඳුරැ රතු හා දුඹුරු පැහැතිය. කැබලිතියා නම් තාරාවාද (Comb Duck) මෙහි තවත් දුලබ පර්යටනික පක්ෂියෙකි. ඌ දිගින් සෙ.මී. 76කි. පියාඹන විට කළුපැහැ පියාපත් දිස්වේ. තෙත්බිම්වල ජලාශ සහ කුඹුරු ආශ්‍රිතව හමුවේ.

භූ විද්‍යාත්මක සාධක අනුව වසර මිලියන ගණනාවකට පෙර කිරළ කැලේ ප්‍රදේශය මුහුදට යාටව පැවතිණි. අදත් ඒ ප්‍රදේශය කැණීමේදී බෙලිකටු, සිප්පිකටු ආදිය හමුවන්නේ ඒ බව සනාථ කරමිනි.

වර්ෂ 2003දී විශේෂ ගැසට් නිවේදනයක් මගින් එහි අක්කර 750ක රක්ෂිත ප්‍රදේශයක් බවට ප්‍රකාශ කෙරිණි. කඩොලාන වනාන්තර, කුඹුරු, විල්, වාරිමාර්ග ඇළවල් ආදී පාරිසරික ලක්ෂණ මෙහි දැකගත හැකිය. වසරකට දෙවරක් නිල්වලා ගඟ උතුරා යන ජලය එක්රැස් වන්නේ කිරළ කැලේටය. මේ නිසා මාතර නගරය හා අවට ගම්මාන ගංවතුරින් ආරක්ෂා කර ගැනීමේ ස්ථානයක් වශයෙන්ද කිරළ කැලේ වැදගත්ය. එමෙන්ම වියළි කාලයේදී ප්‍රදේහයේ තෙතමනය රැකගැනීමට මින් සුවිශාල මෙහෙවරක් ඉටුවේ. 

ලේනදුව, වටගෙදර, කුඩාලේනදුව, අත්තුඩාව, පාලමුව, ගොඩගම, හිත්තැටිය, තුඩාව ආදී ගම්මාන රාශියක් මේ අවට පිහිටා තිබේ. ගම්වැසියන් දශක කිහිපයකට සිටම මෙහි කඩොලාන ශාක ප්‍රජාව විනාශ කළහ. ඉඩම් ගොඩකර ගොඩනැගිලි තැනූහ. මෙහි සුලබව තිබු කිරළ ගස් අද වඳවීයන තත්ත්වයට පත්ව තිබේ. නිල්වලා යෝජනා ක්‍රමයෙන් පසු මේ තත්ත්වය තවත් උග්‍ර විය. 

1989දි ක්‍රියාත්මක කළ නිල්වලා ගංවතුර වැළැක්වීමේ යෝජනා ක්‍රමයට ගඟ දෙපස බැමි ඉදි කෙරිණි. ඒ සඳහා පස් ප්‍රවාහනයට කිරළ කැලේ වගුරුබිම් හා ඇළවල් හරහා පස් පුරවා මාර්ග ඉදි කළේය. මේ නිසා ඇළවල් ගොඩවි පරිසර පද්ධතිය වෙනස් විය. තෙත්බිම් ශාක විශාල ප්‍රමාණයක් විනාශ විය. ඒ නිසා කිඹුල් මිනිස් ගැටුමක්ද නිර්මාණය විය. ඒ නිල්වලා ගඟේ කිඹුලන්ට කිරළ කැලේට සංක්‍රමණය වීමට නොහැකි වීමෙනි. ඒ අතර කිරළ කැලේ සිටි කිඹුලන්ද ඒ තුළ සිරගත විය.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්දන එදිරිවීර පවසන්නේ මෙම ප්‍රදේශය මාතර දිස්ත්‍රික්කයේ අනගි තෙත්බිම් වාසස්ථානයක් බවත්, ඒ නිසා සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්ය. ලෝක ස්වභාව සංරක්ෂණ සංගමයේ අධ්‍යයනයකට අනුව පැළෑටි විශේෂ 83ක්, මත්ස්‍ය විශේෂ 25ක්, ක්ෂීරපායී විශේෂ 13ක් මින් හමුවෙලා තිබෙනවා. ඒ අතර අප රටට ආවේණික දම් මුහුණැති කොළ වඳුරාත් සිටිනවා. ඒ වගේම එම අධ්‍යයනයට අනුව පක්ෂි විශේෂ 103ක් වාර්තා වුණා. ඔහු සඳහන් කරයි. 

කිරළ කැලේට ගමන් කරන ඔබට එහි මසුන් මරන ධීවරයන් හමුවේ. අවට සැරිසරන නිල් කිතලා, පැස්තුඩුවා, සැවුල් පෙඳ දිය සෑනා, පොදු ගැලිනුවා, ලතුවැකියා, සේරුවා වැනි ජලාශ්‍රිත පක්ෂින් ද බහුලව දැකගත හැකිය. අවට පැතිර ඇති මාදං, ඇඹුල් පේර, මසන්, කිරළ, අඹ වැනි පළතුරුද ඔබට කඩාගැනීමට ඉඩ ලැබේ. ඒ අතර ජලාශවල ඕලු, කුමුදු, කෙකටිය, නෙළුම් ආදී පුෂ්පය. මේ මල් කඩාගෙන ගොස් අලෙවි කර ජීවනෝපාය සලසා ගන්නා පවුල් කිහිපයක්ද මෙහි වෙසෙති. 

ක්‍රිම්සන් රෝස්, කොමස් රෝස්, රෙඩ් හෙලන්, බෑන්ඩඩ් පීකොක්, බ්ලූ බොට්ල් ඇතුළු සමනළ විශේෂ 43ක් මෙහි සරති. සර්ප විශේෂ අතර නාගයා, පිඹුරා, පලා පොළගා විශේෂිතය. සර්ප උකුස්සා, බ්‍රාහ්මණ උකුස්සා, මුහුදු රාජාලියා වැනි මාංශ භක්ෂක පක්ෂිහු අහසේ කරකැවෙති.

ක්ෂිරපායින් අතර කලවැද්දා, උරුළෑවා, හාවා, කබල්ලෑවා, ඉත්තෑවා, දියබල්ලා, කොළ දිවියා, මීමින්නා සිටිති.
මෙහි ජෛව විවිධත්වය සහ පාරිසරික වැදගත්කම උපයෝගී කරගෙන සංචාරක ආකර්ශනය ළඟාකර ගැනීමට 2010දී කිරළ කැලේ රූදෙස් සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. එහෙත් අවාසනාවකට මෙන් එය ලත් තැනම ලොප් වූයේ නාම පුවරුවට පමණක් සීමා වෙමිනි.

මානව ක්‍රියාකාරකම් නිසා කිරළකැලේට සිදුව ඇති හානිය ඉමහත්ය. කසළ බැහැර කිරීම, ඉඩම් ගොඩ කිරීම, ගස් කැපීම, සතුන් දඩයම, ආක්‍රමණශීලි ශාක පැතිරීම මෙයට විශාල තර්ජනයකි. මේ ගැන දැන ගැනීමට අපි ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමයේ නදීක හපුආරච්චිට කතා කළෙමු.

කිරළ කැලෙත් ඇතුළුව දකුණේ කඩොලාන තෙත්බිම් අද මානව ක්‍රියාකාරකම් නිසා පරිසර විද්‍යාත්මකව වෙනස්වෙමින් පවතිනවා. කලමැටිය කලපුවටත් ඒක වුණා. දැන් ඒ කලපුවට මිරිදිය පැමිණීම නිසා කලපු පරිසරය වෙනස් වී තිබෙන්නේ. කිරළ කැලෙත් ඒක වෙනවා. මෙලෙස කරදිය නොපැමිණීම නිසා පවතින පරිසරය වෙනස් වෙනවා. හම්බුපන් පැතිරීම ඉහළ යනවා. ආක්‍රමණශීලි ශාක විශාල වශයෙන් පැතිරෙනවා. මේක පක්ෂින්ගේ වාසයට ගැටලුවක්. කලාතුරකින් ලංකාවට එන පර්යටනික පක්ෂීන්ගේ වාසස්ථානයක් වශයෙන් මේ භූමිය ඉතා වැදගත්.

තෙත්බිම් කසළ ගොඩකරන ස්ථාන නොවේ. ඒවායෙන් මිනිසාට වන සේවය ඉමහත්ය. ඒ වගේම එහි සොඳුරු පරිසරය සංචාරක කර්මාන්තයටත් යොදාගත හැකිය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල තෙත්බිම් රාශියක් නාගරික කලාප ආශ්‍රිතව පිහිටා තිබෙනවා. කිරළ කැලෙත් එවැනි තෙත් බිමක්. මේ නිසාම මේවා රැකගැනීමේ වැදගත්කමත් ඉහළයි. නමුත් සිදුවන්නේ නගරය ආසන්නව පිහිටීම නිසා භූමියට තිබෙන ඉල්ලුමත් සමඟ විවිධ සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් සඳහා මේවා යොදාගැනීමයි. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එලෙස පැවසුවේ පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකරය.

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ | අන්තර්ජාලයෙන් සහ www.sanchare.com වෙබ් අඩවියෙනි