2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මහනුවර නත්තරම්පොත අලුත්ම හෝටල් සගයා Royal Mansions

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

නුවර නත්තරම්පොත කියන්නේ සංචාරකයන් අතර ඒ තරම් ජනප්‍රිය ගමනාන්තයක් නම් නෙමෙයි. නමුත් මහවැලි ගඟත්, දෙගල්දොරුව පුරාණ විහාරයත් වගේම අපූරු පාරිසරික චමත්කාරයත් නිසා මේ ප්‍රදේශය බොහොම අලංකාර සුන්දර ස්ථානයක්. ඒ නිසාම සංචාරකයන්ටත් කියාපු කලාපයක්.

නත්තරම්පොත අරංගල පිහිටි ‘Royal Mansions තමයි මේ පරිසරයට එකතු වුණු අලුත්ම සාමාජිකයා. මහනුවර නගර මධ්‍යයේ ඉඳන් මෙතැනට තියෙන්නේ කිලෝමීටර හයක විතර කෙටි දුරක්. මධ්‍යම පළාතේ ඉන්න එදිරිසිංහ හෝම්ස් කියන සමාගම තමයි මේ හෝටලය පවත්වාගෙන යන්නෙ.

මේ හෝටලය කාමර 15ක් සහිත විශාල විලා පහකින් සමන්විතයි. ඒවා Royal Mansion Grand, London, Lawrance , Hampton සහ Eton ලෙස නම්කර තිබෙනවා. බොහොම නිදහස් සුවපහසු නිවාඩුවක් ගතකිරීම සඳහා හොඳ සුඛෝපභෝගීත්වයක් පිරිනමන්න Royal Mansions සමත් කිව්වොත් නිවැරදියි. සෑම විලා එකකම ජැකූසි සහිත ගොඩක් ඉඩ තිබෙන නාන කාමරයක් දකින්න පුළුවන්. ඒ වගේම සෑම විලා එකකටම පෞද්ගලික මුළුතැන්ගෙයක්, ටීවී කාමරයක්, විසිත්ත කාමරයක් සහ ලොකු පිහිනුම් තටාකයක් දකින්න ලැබෙනවා. ඒ වගේම හැම විලා එකකම වහලයේ විවෘත එළිමහන් පෙදෙසක් තියෙනවා.

මෙතැන ආහාරපාන අත්දැකීමත් හරිම සුවිශේෂීයි. පළපුරුදු කෝකියන්ගේ රසවත් ආහාර බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නම් මෙතැන කාමර වෙන්කරවා ගැනීම් අධිකයි. ඇසළ පෙරහර සමය වීම ඊට ලොකු හේතුවක්. කොහොම නමුත් මධුසමය ගතකිරීම සඳහා පැමිණෙන තරුණ ජෝඩු අතරත් මේ හෝටලය දැන් ජනප්‍රියයි.  ඉදිරියේදී මේ හෝටලයට තවත් කාමර 20ක් ඇතුළත් වීමට නියමිතයි. ඒවා ලබන වසරේ මාර්තු මාසයේදී පමණ විවෘත වේවි.

සනත් වීරසූරිය
සේයාරූ - සන්තුෂ් ප්‍රනාන්දු