2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

හැදුණම හංඟන බගන්දරා ලෙඩේට සැත්කම් නැති ප්‍රතිකාරය

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8364

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බගන්දරය ලෙසින් හඳුන්වන මෙය ගුදය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. මෙම රෝගය මුලින්ම හඳුනාගැනීමට හැකිවන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා කුඩා සැරව බිබිලක් වැනි අවස්ථාවකිනි. මෙම සැරව ගෙඩිය ගුද මාර්ගය දක්වා ගමන් කිරීමෙන් පසුව එය බගන්දරා තත්ත්වයට පත්විය හැක.

බොහෝ විට මෙවැනි රෝගීහු මේ පිළිබඳව තම පවුලේ කෙනකුට පමණක් නොව වෛද්‍යවරයකුට පවා පැවසීමට මැලිවී රහසේ හංඟා ගැනීමට උත්සාහ කරති. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අර්ශස් රෝග සඳහා මෙන්ම බගන්දරා රෝගය සඳහා ද ඉතා සාර්ථක ප්‍රතිකාර පවතී.

ආයුර්වේදයට අනුව ඈත අතීතයේදී මෙම රෝගයට වැඩිපුරම ගොදුරු වූයේ අශ්වයන් ඇතුන් ආදී සතුන්ගේ පිට මත ගමන් ගත් පුද්ගලයන්ටය. නමුත් වර්තමානයේදී මේ රෝගය වැඩිවශයෙන් වැළඳෙන්නේ රියදුරන්ටය. එමෙන්ම වැටීම්, පහර වැදීම් ආදියේදී ඇති වූ තැල්මකින් ද පසුකාලීනව මෙම ආබාධයට ගොදුරු විය හැක.

එපමණක් නොව. ආහාරමය හේතූන් ද මේ සඳහා බලපායි. විශේෂයෙන් අබ, අච්චාරු, විනාකිරි වැනි උෂ්ණාධික ආහාරවලින් මෙය ඇතිවිය හැක. මේ රෝග ඇති රෝගීන් මේ ආහාර පාන දිගින් දිගටම ගැනීමෙන් රෝගය සුව කරගැනීමට නොහැකි අවස්ථාවක් ඉක්මනින් උදාවිය හැක.

මෙය රෝගියාට දැඩි අපහසුතාවයක් ඇති කරන රෝගයක් වන අතර රෝගය සඟවා තබා ගැනීමෙන් රෝගය තවදුරටත් උත්සන්න විය හැක. මේ නිසා රෝගය සුවපත් කරගැනීමට රෝගියාගේ කැපවීම ඉතා වැදගත් වේ. රෝගය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පහසුවෙන් සුවකර ගත හැකි වුවත් ප්‍රතිකාර නොගෙන කල්ගත වුවහොත් සුවපත් කරගැනීමට එතරම් පහසු නොවේ. 

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව රෝගියකුට ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ ශල්‍යකර්මයක් මඟින් ගුද මාර්ගය ආශ්‍රිතව යම් කොටසක් කපා ඉවත් කිරීමෙනි. එසේත් නොමැතිනම් එම කොටස කැපුමක් හරහා මතුකොට එම කොටස පිරිසිදු කොට නැවත මැහුම් දැමීමය.

නමුත් මේ ක්‍රමය මඟින් රෝගියාට ඒ කාල සීමාව තුළ යම් සහනයක් ලැබුණ ද පසුකාලීනව නැවත මෙම රෝගය ඇතිවීමේ අවදානමක් පවතී. ආයුර්වේදයට අනුව ක්ෂර සූත්‍ර ප්‍රතිකාරය බගන්දරා රෝගය සඳහාම සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එම ක්‍රමය භාවිත කිරීමෙන් වාසි ගණනාවක්ම අත්විය හැක.

ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී කිසිදු ආකාරයක කැපීමක් සිදු නොකරන අතර මෙහිදී රෝගය නැවත මතුවන්නේ ඉතාමත්ම කලාතුරකිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කළ සියයට හතරකි.

ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී නේවාසිකව සිට ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය නොවන අතර මෙහිදී ක්ෂාර සූත්‍ර (බෙහෙත් කාවැද්දූ නූලක්) මාරු කිරීමක් සිදුවන්නේ සතියකට එක් වතාවකි. එම නිසා එම නූල දැමීමේ මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව බාහිරව සිට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. රෝගය සුවපත් වීමට යම් කාලයක් ගතවුවද එය නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව රෝගියාට පවතී.

මෙම ප්‍රතිකාරයේදී කිසිදු කැපීමක් සිදු නොවන අතර එයින් ගුද මාර්ගය අවට ඇති අනෙකුත් අවයවයන්වලට හානි සිදුවීමක් සිදු නොවේ. එමෙන්ම එවැනි ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට එදිනෙදා දින චර්යාව සාමාන්‍ය පරිදි ගතකිරීමේ හැකියාව පවතී. රැකියාවට යන අතරතුරේදී වුවද මෙම ප්‍රතිකාරය සිදුකළ හැක.

ආයුර්වේදයට අනුව විශේෂිත වූ නූලක් මඟින් මෙම ප්‍රතිකාරය සිදුකරන අතර පළමු අවස්ථාවේදී රෝගියාට යම් වේදනාවක් දැනුණ ද පසුව එම වේදනාව ඉතා ඉක්මනින් සමනය වේ. පළමුව ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල හරහා සාමාන්‍ය නූලක් ගෙන ගොස් පසුව විශේෂිත වූ ඖෂධ භාවිතා කිරීමෙන් සකස් කරගත් ක්ෂාර සූත්‍රය ඇතුළු කර ගැට ගැසීමක් සිදු කරයි.

ක්ෂාර සූත්‍ර සෑදීමේදී විවිධ ඖෂධ වර්ග භාවිතා කරන අතර විවිධ ශාකවල කිරි වර්ග ද මේ සඳහා භාවිතා කෙරේ. විශේෂයෙන් දළුක් ශාකයේ කිරි මේ සඳහා භාවිතා කරයි. ඊට අමතරව ඔළිඳ, කරල් හැබ, කෑල වැනි ශාක වර්ග ද මේ සඳහා යොදා ගැනේ. මෙය ඉතා ප්‍රවේසමෙන් සිදු කළ යුතු ප්‍රතිකාරයක් වන අතර ඒ සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසීම ඉතා වැදගත් වේ.

බගන්දරා රෝගීන්ට යතුරුපැදි, පාපැදි වැනි ඝනකමින් යුත් ආසනවල නිතර වාඩි වී සිටීම නුසුදුසු වන අතර වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් ගුදය ආශ්‍රිත සෛලවලට රැධිරය සැපයීම අඩුවීම නිසා රෝගය උත්සන්න විය හැක. එමෙන්ම මෙවැනි රෝගීන්ට ව්‍යායාම ද ඉතා අවශ්‍යය. එකතැන දිගු වේලාවක් වාඩි වී නොසිටි ශරීරයට හිතකර ව්‍යයාම අභ්‍යසවල දිනපතා නිරත වන්න. මෙවැනි රෝගීන් වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍යය. විශේෂයෙන් වැටකොළු, පතෝල, තෙබු, කෙහෙල් බඩ, දඹ, ගොටුකොළ, කොහිල අල, බෙලි වැඩිපුර ආහාරයට ගත යුතුය. මළබද්ධය වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් උදෑසනම කැඳ වීදුරුවක් පානය කළ යුතුය. මළබද්ධය බගන්දරා රෝගය සඳහා බලපාන බැවින් බළබද්ධය ඇති රෝගීන් එයින් මිදීමට වගබලා ගැනීම අවශ්‍යය.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය 
ඩී.එච්. තෙන්නකෝන්
හිටපු අධ්‍යක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල